වැඩිහිටියන් ගැන අවධානය ප්‍ර‍මාණවත් ද?

by iVoice Staff
23-Feb-2017

වර්තමාන ශ්‍රී ලංකාවේ වයස 60ට වැඩි ජනගහණය ලක්ෂ 17ක් වේ. 2012 ජන හා නිවාස සංගණනය අනුව,  ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය සමස්ත ජනගහණයෙන් 12.7%ක් පමණ වෙනවා.

වයස අවුරුදු 60ට වැඩි ජනගහණය 2025 වන විට දෙගුණයක් වනු ඇත.  ඒ අනුව, සමස්ත ජනගහණයෙන් හතරෙන් පංගුවක් හෙවත් සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙකු වැඩිහිටියෙකු වනු ඇත.

වඩාත් ම සුවිශේෂ කාරණය වන්නේ, ‘වැඩිහිටියන් අතරත් වැඩිහිටියන්’ ලෙස සැලකෙන වයස අවුරුදු 80ට වැඩි ජනගහණය 2025 වන විට වර්තමානයේ සිටින සංඛ්‍යාව මෙන් පස්ගුණයක් වීමයි.

වර්තමානයේදී උපතේදී  සාමාන්‍ය ආයු අපේක්ෂාව කාන්තාවකට නම් අවුරුදු 78 මාස 6යි. පිරිමියෙකුට එය අවුරුදු 72ක් වෙනවා.

ඒ අතරවාරයේ සිදු වන තවත් දෙයක් තමයි, ශ්‍රී ලංකාවේ ඵලදායී වියේ සිටින ජනගහණය අඩු වෙමින් තිබීම.

සාමාන්‍යයෙන් තරුණයන් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 15-29 අතර ජනගහණයටයි.  වර්තමාන ශ්‍රී ලංකාවේ එම වයසේ ජීවත් වන ජනගහණය රටේ සමස්ත ජනගහණයෙන් 23.4%ත් ලෙස සැලකෙනවා.  මෙම ප්‍ර‍තිශතය අඩු වෙමින් පවතින බවත් වාර්තා වෙනවා.

කොහොම වුණත්, රටේ ජනගහණයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වන විට අලුත් අභියග රැසක් අප ඉදිරියේ නිර්මානය වෙනවා.

පර්යේෂිකා නිශා අරුණතිලක පෙන්වා දෙන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් කුමන හෝ ආකාරයක විශ්‍රාම වැටුපක් ලබන්නේ 30%ක් පමණයි. තවත් 18%කට දිළිඳු සහනාධාරය ලැබෙනවා. වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප ලබන 20% පමණයි දරිද්‍ර‍තා රේඛාවෙන් ඉහළ මට්ටමේ ආදායමක් ලබන්නේ.

ආර්ථික ගැටලු සමාජ, සෞඛ්‍ය ආදී ප්‍ර‍ශ්න රැසකට මුල වෙන්නත් පුළුවන්.

සරළව කිව්වොත්, වැඩිහිටියන්ගේ ප්‍ර‍ශ්නය සරළ ප්‍ර‍ශ්නයක් නෙමෙයි. එහෙත්, අපේ ප්‍ර‍තිපත්ති සම්පාදකයන්ගේ අවධානය ප්‍රමාණවත් ලෙස එයට යොමු වී තිබෙනවා ද?

(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)

Views:
1237