වැඩිහිටියන්ටත් ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් ඇත

by iVoice Staff
06-Mar-2017

ප්‍ර‍සිද්ධ කලාකරුවකු වයස අවුරුදු 75දී  වයස අවුරුදු තිස් ගණන්වල සිටින යුවතියක සමග විවාපත් වීමත්, ඔහුගේ ඇතැම් දරුවන් එම විවාහය සම්බන්ධයෙන් දක්වන ලද විරෝධාකල්පත් හේතුවෙන් පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සිංහල සමාජ මාධ්‍ය උණුසුම් වී තිබිණි.

මෙහිදී වැදගත්  කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු විය.  ඒවා මෙසේයි:

  • වියපත් පුද්ගලයන් මෙවැනි විවාහයන්ට එළඹීම සිංහල සංස්කෘතියට කෙතරම් අනුකූල ද යන්න
  • එවැනි විවාහ නිසා දේපල හිමිකම සම්බන්ධයෙන් ඇති වන ගැටලු

කෙසේ වෙතත්, මෙම ගැටලුවෙහි ඉතා වැදගත් පාර්ශ්වයක් කෙරෙහි ප්‍ර‍මාණවත් අවධානයක් යොමු වූයේ නැත.  ඒ වනාහි වියපත් පුද්ගලයන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් ය.  එනම්, ලිංගිකත්වය හා ප්‍ර‍ජනනය සම්බන්ධයෙන් වියපත් පුද්ගලයන්ට ද ඇති හිමිකම් ය.

2001දී 9.2%ක් වූ වයස අවුරුදු 60ට වැඩි ජනගහණ ප්‍ර‍තිශතය 2011 වන විට 12.5% දක්වා ඉහළ ගියේ ය. 2021 වන විට එය 16.7%ක් වනු ඇත. 2041 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනගහණ ප්‍ර‍තිශතය 24.8%ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. ජනගහණයේ සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන සංදර්භයක් තුළ වැඩිහිටියන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා වැදගත් ය.

ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 78 මාස 6කි. පිරිමියකුගේ නම් අවුරුදු 72ක් වේ (2011 – 2013 කාල පරිච්ඡේදය සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම අනුව).  කාන්තාවන් සිය සැමියාට වඩා වසර කීපයකින් වයසින් අඩු වීම නිසා වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනගහණය අතර වැන්දඹු කාන්තාවන් ප්‍ර‍තිශතය 32%කට අධික ය. වයස අවුරුදු 60ට වැඩි පිරිමින් අතර වැන්දඹු පුරුෂයන් සිටින්නේ 6.5%ක් පමණි. වයස අවුරුදු 80ට වැඩි කාන්තාවන්ගෙන් 50%ක් පමණ වැන්දඹුවෝ ය.

මේ අතර,  ලංකාවේ වැඩිහිටියන්ගෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන්නේ තනිව හෝ වැඩිහිටි නිවාස වැනි විකල්ප වැඩිහිටියන් බලා ගැනීමේ ක්‍ර‍ම තුළ බව ද 2008දී ලෝක බැංකු අධ්‍යයනයකින් හෙළි විය.

වැඩිහිටියන්ගේ ජීවන ගැටලු තේරුම් ගැනීමට මෙවැනි සංඛ්‍යාලේඛන බොහොමයක් තිබේ. හුදකලාව හා ආදරය ලැබීමේ අවශ්‍යතාව බොහෝ වැඩිහිටියන් මුහුණ දෙන සුලබ ප්‍ර‍ශ්නයකි. ඊට අමතරව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය, අනාරක්ෂිතබව, දිළිඳුකම, අයහපත් සෞඛ්‍යය වැනි තවත් ප්‍ර‍ශ්න රාශියක් තිබේ.

වැඩිහිටි කාන්තාවන් මුහුණ දෙන සෞඛ්‍ය ප්‍ර‍ශ්න බොහොමයක් ප්‍ර‍ජනක අවධියේදී දරුවන් ජනිත කිරීම හා සම්බන්ධ වන බව ද අප අමතක නො කළ යුතු ය.

මේ අතර, වැඩිහිටියන් අතර දකින්නට ලැබෙන තවත් සුලබ තත්වයක් වන්නේ සියදිවි නසා ගැනීම් ය.  වයස් කාණ්ඩ වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ වැඩි ම සිය දිවි නසා ගැනීමේ අනුපාතිකයක් දකින්නට ලැබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පිරිමින් අතර බව ඔබ දන්නවා ද?

වැඩිහිටියන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් සම්බන්ධ ගැටලු යනු ඉතා අඩුවෙන් ස්පර්ශ කරන ලද අඳුරු කලාපයකි. එහි පවතින තත්වයන් විධිමත් අන්දමින් අධ්‍යයනය කළ යුතු ය.

එහි මූලික ගැටලු තිබෙන්නේ නීතිවල නො වේ.  වියපත් වීම හේතුවෙන් ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම්වලට බාධාකාරී වන කිසිදු නීතියක් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ නැත.  එහෙත්, ගැටලු මතු වන්නේ සංස්කෘතික හා සමාජමය හේතු මත ය.

කෙසේ වෙතත්, වැඩිහිටියන්ට ප්‍රීතිමත්, යහපත් ජීවිතයක් සම්බන්ධයෙන් තිබෙන අයිතිය කෙරෙහි අවධානය යොමු කරමින් අප මේ පිළිබඳ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය ය.

(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)

Views:
2573