ආදරය කරන කෙනෙක් එක්ක නැවත ජීවිතය ගොඩනගාගන්න වික්ටර් රත්නායක උත්සාහ දරපු එක වැරදි ද?

by iVoice Staff
10-Apr-2017

වැඩිහිටියන්ට ද සෙසු අයට මෙන් ම ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් ඇති බව අප මීට කලින් ද ලිපියකින් පෙන්වා දුන්නෙමු.

එම ලිපිය ලිවීමට මුල් වූ ප්‍රසිද්ධ ගායක හා සංගීතඥ වික්ටර් රත්නායක මේ පිළිබඳ වඩා විවෘත ලෙස කතා කිරීමට ඉදිරිපත් වීම අගය කළ යුතු කරුණකි.

වික්ටර් රත්නායක වයස අවුරුදු 75දී විවාහ වූයේ ය. ඒ ඔහුගේ මුල් බිරිඳ මිය ගොස් වසර 13කට පසුවයි. ඔහුට මුල් විවාහයෙන් දරුවන් සිව්දෙනෙක් සිටිති.

පුතුන් දෙදෙනෙකුගෙන් හා දියණියන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම දරු පිරිවර මෙම විවාහයට විරුද්ධ වූ අතර,  ඇතැමෙක් මාධ්‍ය මගින් ප්‍ර‍සිද්ධියේ ම අදහස් දැක්වූ හ.

එහිදී දක්නට ලැබුණු සුවිශේෂ තත්වය වන්නේ මෙම පුද්ගලයන් විසින් වික්ටර් රත්නායක සතු දේපල පිළිබඳ කතා කිරීමත්, ඔහු සමග විවාපත් වූ තරුණ කාන්තාව එසේ කළේ දේපල නිසා ය යන තර්කය ඉදිරිපත් කිරීමත් ය.  මේ පිළිබඳ පැහැදිලි කරමින් වික්ටර් රත්නායක ලක්බිම පුවත්පතට පැවසුවේ මෙසේ ය:

“මගේ සංගීත දැනුම, ජනප්‍රියත්වය විතරක් ‍නෙවෙයි මම ඔවුන්ට දුන්නේ. නුගේගොඩ සුපිරි වෙළෙඳසලක තිබුණු ව්‍යාපාරයක් මම ලොකු පුතා ජයන්තට බාර දුන්නා. මගේ මව සහ පියා පදිංචිව සිටි නිවස පිහිටා තිබූ ඉඩම විකුණා ලැබුණු මුදලුත් ඔහුට දුන්නා. දියණියන් දෙදෙනාට ජීවත්වෙන්න ගෙවල් දෙකක් දුන්නා. මහගෙදර අයිතිය ලියාදුන්නේ බාල පුතා ලෙලුම්ට. ඊට අමතරව ඔවුන්ගේ හැම ගැටලුවකදීම සහ අවශ්‍යතාවකදීම මම මුදලින් උදවු උපකාර කළා.”

ආදරය, සෙනෙහස, ලිංගිකත්වය වැනි කාරණාවලට වයස් භේදයක් නොමැත. වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයකුට ඕනෑම වයසක් දක්වා විවාහ වීමේ අයිතිය ඇත. ව්‍යභිචාරය නො වන සම්බන්ධකම්වලට සංස්කෘතිකමය හෝ ජීව විද්‍යාත්මක බාධක ද නැත.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනතාව ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 60ට වැඩි අයයි. ජනගහණයේ මෙම අනුපාතිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර 2021 වන විට එය 16.7%ක් වනු ඇත. 2041 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනගහණ ප්‍ර‍තිශතය 24.8%ක් වනු ඇතැයි ගණන් බලා තිබේ.

වසර 2012දී නිකුත් කරන ලද ජනගහණ සංඛ්‍යාති අනුව, වැඩිහිටි ජනගහණයෙන් 20.9%ක් හෙවත් ආසන්න වශයෙන් සෑම වැඩිහිටියන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් වැන්දඹු වූ හ.  (20.4 Million, UNFPA)

වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙහි පිරිමින් අතර වැන්දඹු සංඛ්‍යාව 6.5%ක් වෙද්දී කාන්තාවන් අතර වැන්දඹු ප්‍ර‍තිශතය එමෙන් පස්ගුණයක් වන 32.4%ක් විය. වයස අවුරුදු 80ට වැඩි කාන්තාවන්ගෙන් 50%ක් පමණ ම වැන්දඹු ය.

ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 78 මාස 6කි. පිරිමියකුගේ නම් අවුරුදු 72ක් වේ (2011 – 2013 කාල පරිච්ඡේදය සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම අනුව). කාන්තාවක් ජීවත් වන සාමාන්‍ය ආයු කාලය පිරිමියකු ජීවත් වන සාමාන්‍ය ආයු කාලයට වඩා වැඩි වීමත්, පිරිමින් විවාහ වන්නේ තමන්ට වඩා අවුරුදු කීපයක් වයසින් අඩු කාන්තාවන් සමග වීමත් මෙම තත්වයට හේතු වේ.

විවාහක තත්වය වැඩිහිටියන්ගේ ජීවත් වීමේ පිළිවෙලට, ආර්ථික තත්වයට, සමාජ සම්බන්ධතාවලට පමණක් නොව, භාවමය ජීවිතයටත් බලපාන බව පර්යේෂණවලින් සොයාගෙන තිබේ. විවාහක පුද්ගලයන් අවිවාහක පුද්ගලයන්ට වඩා අවපීඩන ලක්ෂණ පෙන්නුම් කිරීම අඩු බවත්, පාළුවෙන් සිටීම අඩු බවත්, තමන් සතුටින් සිටින බව වැඩියෙන් වාර්තා කරන බවත් හෙළි වී තිබේ (Kiriella and Wan, 2008).

වික්ටර් රත්නායකයන් විසින් ලක්බිම පුවත්පත සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේදී පළ කරන ලද පහත සඳහන් අදහස් කෙරෙහි මෙම මූලික අවබෝධය සමග අප ඔබේ අවධානය යොමු කරමු. මේ ඔහුගේ පමණක් නොව, තව බොහෝ වැඩිහිටි පුද්ගලයන්ගේ හඬයි.

“පළමු විවාහයේ බිරිඳ නැතිවෙලා ගතවුණු පසුගිය අවුරුදු 13 පුරාම මම කන්නේ, බොන්නේ කොහොමද මගේ වෙනත් අවශ්‍යතා ඉටුකරගන්නේ කොහොමද කියලා කවුරුවත් මගෙන් ප්‍රශ්න කරලා නැහැ. මම හිටියේ තනිවෙලයි. කවුරුත් මගේ අවශ්‍යතා ගැන හෙව්වේ නැහැ. ඒත් අද ඔවුන් මට මඩගහනවා. මට ආදරය කරන සහ මමත් ආදරය කරන කෙනෙක් එක්ක නැවත ජීවිතය ගොඩනගාගන්න මා උත්සාහ දරපු එකේ වරදක් මම දකින්නේ නැහැ.”

(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)

Views:
1571