“ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය උතුරු පළාත පුරා පැතිරී තිබෙනවා. අපි කරන්නේ පීඩාවට පත්, රැකවරණය හා උපකාර අවශ්‍ය කාන්තාවන්ට ඒවා සැපයීමයි. අපේ ආරක්ෂිත නිවහන 2015 වසරේදී පමණක් එවැනි කාන්තාවන් 112දෙනෙකුට සේවා සැපයුවා.” අප සමග මෙසේ පැවසුවේ යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිනී සින්දුකා ය.
බොහෝ දෙනා විසින් කාන්තා හිංසනයට හේතු ලෙස හඳුනා ගත්තේ මත්පැන් හා ආර්ථික දුෂ්කරතායි. එසේම, පවුල්වල භාර්යාවන් බොහෝ දුරට ආර්ථික වශයෙන් ස්වාධීන නො වීමත් කාන්තාවන් පීඩාවට පත් වන්නට හේතුවක් ලෙස හඳුනා ගනු ලැබේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන කාන්තාවන් හා ගැහැනු දරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ රැකවරණයයි. නිදසුනක් ලෙස, සැමියා විසින් දැඩි ලෙස හිංසාවට ලක් කරනු ලබන බිරියකට තව දුරටත් එම නිවසේ රැඳී සිටින්නට නො හැකි වන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවලදී රැකවරණයක් නොමැතිව අසරණ වන කාන්තාවන්ට තාවකාලිකව නවාතැන් ලබා දී ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම සඳහා මධ්‍යස්ථාන පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩිපුර වාර්තා වන, දරිද්‍රතාව පැතිරී පවත්නා, සංවර්ධනය පැත්තෙන් අඩු මට්ටමේ දිස්ත්‍රික්කවල එවැනි මධ්‍යස්ථාන පිහිටුවීම ඉතා වැදගත් වේ. එහිදී යුද්ධයෙන් පසු ප්‍රතිසංවර්ධනය වෙමින් පවතින දිස්ත්‍රික් අයත් වන උතුරු පළාත සුවිශේෂ ය.
කාන්තා කාර්යාංශය විසින් මේ වන විට යාපනයේ හා මුලතිව් දිස්ත්‍රික්කයේ ආරක්ෂිත නිවාස දෙකක් ඉදි කර තිබේ. එහෙත්, සම්පත් හා නිලධාරි හිඟය නිසා ඒවා තවමත් ක්‍රියාත්මක වන්නේ නැත. මේ වන විට එම නිවාස සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් ඇති බව කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ආර්. චූලානන්දා මහත්මිය අපගේ විමසීමකට පිළිතුරු දෙමින් පැවසුවා ය.
තවත් ආරක්ෂක නිවහනක් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ කිලිනොච්චියේ පිහිටුවා තිබේ. එය ද නිලධාරි හිඟය නිසා ක්‍රියාත්මක වන්නේ නැත.
ඒ හැරුණු විට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් ආරක්ෂිත නිවහනක් ක්‍රියාත්මක වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණි. කුට්ටනය හේතුවෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් ආරක්ෂිත නිවහනක් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබේ.
මේ වන විට උතුරු පළාතේ සත්‍ය වශයෙන් ම ක්‍රියාත්මක වෙමින් ඇත්තේ යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානය (JSAC) විසින් යාපනයේ පවත්වාගෙන යන ආරක්ෂිත නිවාසය පමණි. එය පවත්වාගෙන යන්නේ සිවිල් සමාජ සංවිධානවල ආධාරයෙනි.
යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානය (JSAC) විසින් යාපනයේ පවත්වාගෙන යන ආරක්ෂිත නිවාසය බලන්නට අපි ගියෙමු. සංගමයේ ක්‍රියාකාරිනී සින්දුකා එය ක්‍රියාත්මක වන ආකාරය ඇයට පැහැදිලි කර දුන්නා ය. “මේ තමයි දැනට පළාතේ ක්‍රියාත්මක වන එක ම ආරක්ෂිත නිවහන. අපි මෙය ආරම්භ කළේ 2003 අවුරුද්දේයි. එය පවත්වාගෙන යන්නේ සිවිල් සමාජ සංවිධානවලින් ලැබෙන ආධාරවලිනුයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවට පත් වී සිටින කාන්තාවන්ට හා කුඩා දරුවන්ට අපි මෙම නිවසේ තාවකාලිකව නවාතැන් සපයනවා. මේ වන විටත් එවැනි කාන්තාවන් 20ක් මෙහි නවාතැන් ගෙන සිටිනවා. අපි ඔවුන්ට මූලික අවශ්‍යතා, ආරක්ෂාව, තාවකාලික නවාතැන්, වෛද්‍යාධාර හා නීති ආධාර ආදිය සපයනවා.”
මෙම ආරක්ෂිත නිවහන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීමේ හා වැළැක්වීම සඳහා වන යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානයේ වැඩසටහනේ මූලික කොටසයි. අනෙක් කොටස් මෙසේයි:
ප්‍රජාව තුළ අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන්
ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් කාන්තාවන්ට සහන පතා පැමිණිය හැකි ගම් මට්ටමේ මධ්‍යස්ථාන පිහිටුවීම
රැකවරණය හා ජීවනෝපාය ආධාර සැපයීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධි වාර්තා කිරීමේ හා ඒ හා සම්බන්ධව ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයන් සම්බන්ධීකරණය කිරීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ කාරණාවලදී වගකිව යුතු අංශවලට බලපෑම් කිරීම
සිය ආයතනය පවත්වාගෙන යාමේදී විවිධ දුෂ්කරතා හා බාධකවලට මුහුණ දුන් බව JSAC ක්‍රියාකාරික සුගී පෙන්වා දුන්නේ ය. සමාජයේ ඇතැම් කොටස්වල වෛරයට ද තමන් පාත්‍ර වූ අවස්ථා ඇති බව ඔහු පැවසී ය.
(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)
මේ වන විට මෙම ආරක්ෂිත නිවහන දිගට ම පවත්වාගෙන යාම සඳහා අලුත් ආධාරකරුවන් සොයා ගැනීමට යාපනය සමාජ ක්‍රියාකාරිත්ව මධ්‍යස්ථානය වෙහෙසෙමින් සිටියි.
යාපනයේ, මුලතිව් හා කිලිනොච්චියේ පිහිටුවා තිබෙන ආරක්ෂිත නිවාස ක්‍රියාත්මක තත්වයට ගෙන ඒමටත්, මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවලත් එවැනි නිවාස පිහිටුවීමටත් කටයුතු කළ යුතුව ඇති බව උතුරේ කාන්තා සංවිධාන විසින් පෙන්වා දෙන ලදී.