වියපත් වීම සංවර්ධනයේ ජයග්‍ර‍හණයකි

by Ajith
09-Oct-2017

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන රිට්සු නැකෙන් විසින් ඔක්තෝබර් 1 දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් ලියන ලද මතවාද කතුවැකිය 

වියපත් වීම මගේ හදවතට සමීප ප්‍ර‍ශ්නයකි. මා පැමිණෙන්නේ ලොව ඉහළම වැඩිහිටි ප්‍ර‍තිශතය ඇති රටෙනි. වසර 2050 වන විට ජපානයේ ජනගහනයෙන් අඩක් පමණ වයස අවුරුදු 60ට වඩා වැඩි වනු ඇත. අප රටක් ලෙස මෙයින් ඉගෙන ගෙන තිබෙන පාඩම් අති මහත් ය. අපි ඒ පාඩම් තවදුරටත් උගනිමින් සිටිමු.

ජපානයේ සම්ප්‍ර‍දාය අනුව වැඩිහිටි මාපියන් රැක බලා ගැනීමේ වගකීම පැවරෙන්නේ වැඩිමල් ම පුත්‍ර‍යාගේ බිරිඳටයි. මගේ මව එවැනි බිරියක් වූවා ය. වැඩ කරන කාන්තාවක් වූ ඇයට පැය අටකට වැඩි කාලයක් ගමන් කරමින් මගේ පියාගේ ආඝාතයට ලක් වුණ මවට සත්කාර කිරීමට සිදු විය. මෙයින් අපගේ පවුලේ දැඩි පීඩනයක් ඇති විය. පවුලේ දියණිය ලෙස මට වයස අවුරුදු 15ක් වෙද්දී මට ගෙදරදොර වැඩ කටයුතු බලා කියා ගැනීමට සිදු විය. මෙය ජපානයේ බොහෝ පවුල්වල සුලබ ප්‍ර‍වණතාවකි. මෙවැනි තත්වයන් හේතුවෙන් බොහෝ විට දූෂණ, නොතකා හැරීම්, සියදිවි නසා ගැනීම් මෙන් ම ඇතැම් විට වැඩිහිටියන් ඝාතනය කිරීම් පවා සිදු වේ. සම්ප්‍ර‍දායන් හා චාරිත්‍ර පවත්වා ගැනීමට සිදු වීමත්, පහසුවෙන් ලබා ගත හැකි වැඩිහිටි සත්කාරක සේවා දුලබ වීමත් එයට හේතුවයි. මේ හේතුවෙන් බොහෝ විට කාන්තාවන්ට ශ්‍ර‍ම බලකාය සමග ක්‍රියාකාරීව සම්බන්ධ වීමේ හා සිය හැකියාවන් සපුරා ගැනීම පිණිස සම අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාව අහිමි වේ.

එහෙත් වියපත් වීම නිසා එසේ විය යුතු නැත. වියපත් වීම බරක් ලෙස නො සැලකිය යුතු ය. එය සංවර්ධනයේ ජයග්‍ර‍හණයකි. එය වනාහි මිනිසුන් වඩා හොඳ පෝෂණයක් හා සෞඛ්‍යාරක්ෂාවක් සහිතව දිගු කලක් ජීවත් වන බවට සලකුණකි. එසේම, එය වනාහි වඩා හොඳ අධ්‍යාපනයක හා ආර්ථික යහපැවැත්මක ද දර්ශකයකි.

වසර 2030 වන විට, සෑම ශ්‍රී ලාංකිකයකුගෙන් ම එක් අයෙකු  වයස අවුරුදු 60ට වඩා වැඩි වන බවට ප්‍ර‍ක්ෂේපණය කර තිබේ. මෙම පිරිස ජනගහනයෙන් 20%ක් වන අතර ඔවුන්ට සමාජයේ වැදගත් භූමිකාවක් තිබේ. වැඩිහිටියන්ට, අධ්‍යාපනඥයන්, සේවකයන්, ස්වේච්ඡා සේවකයන්, සත්කාර සපයන්නන් සහ දැනුමේ හා ඓතිහාසික මතකයේ මූලාශ්‍ර‍ ලෙස සිය දායකත්වය සමාජයට සැපයිය හැකි ය. එසේම, විශේෂයෙන් ම, පවුල් හා ප්‍ර‍ජාවන් තුළ ගැටුම් නිරාකරණයේදී සහ හදිසි අවස්ථාවන්වලදී ඔවුන්ට වැදගත් නායකයන් ලෙස කටයුතු කළ හැකි ය.

එහෙත්, ඔවුන්ට බොහෝ විට සත්කාර අවශ්‍ය වන අතර එය බොහෝ විට පැවරෙන්නේ පවුලටයි. විශේෂයෙන් ම කාන්තාවන්ට මෙම වගකීම පැවරේ. එහෙත්, අඩු වී යමින් තිබෙන සාඵල්‍යතාව හා වැඩි වෙමින් තිබෙන නාගරීකරණය තුළ සම්ප්‍ර‍දායික පවුල් ජාලයන්හි සහයෝගය ඉතාම හොඳ විසඳුම වන්නේ නැත. මෙය මගේ රට වන ජපානයේ ද තත්වයයි. රාජ්‍ය, පෞද්ගලික සහ ප්‍ර‍ජා සහභාගිත්වයෙන් විකල්ප සමාජ ආරක්ෂණ පද්ධති සංවර්ධනය කිරීම වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි. මෙවැනි පද්ධති එක රැයින් පිහිටුවිය නො හැකි ය. එබැවින් ශ්‍රී ලංකාව 2030 වන විට ලක්ෂ 47ක් වන වැඩිහිටි ජනගහණයට අවශ්‍ය සමාජ ආරක්ෂණය සැපයීම සඳහා අවශ්‍ය පද්ධති ඇති කිරීම පිණිස ඉවහල් වන ප්‍ර‍තිපත්ති දැන් සිට ම සංවර්ධනය කළ යුතු ය.

මෙම ජනවිකාස විපර්යාසයේ වාසි නෙළා ගැනීමට සූදානම් වී සිටීම වැදගත් ය. එසේ කිරීමට නම් පළමුව වියපත් වන ජනතාව සම්බන්ධයෙන් සාධනීය ප්‍රවේශයක් අවශ්‍ය ය. වියපත් වීම යනු සමාජයකට අලුත් යථාර්ථයන් හා අලුත් චින්තනයන් ගොඩනගා ගැනීමට අවස්ථාවකි. එහිදී වේගවත් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී දැක්මක් වන්නේ නැත. හේතුව, සමාජ වියපත් වීමත් සමග ම සාඵල්‍යතාවේ අඩුවීමක් හා ජනගහණ වර්ධනයේ අඩු වීමක් සිදු වීමයි. එහෙත්, වඩා ධරණීය, සියල්ලන් ඇතුළත් කර ගන්නා සහ සමානාත්මතා සමාජයක් වෙත අවධානය යොමු වීමට අපට පුළුවන.

ශ්‍රී ලංකාව තරුණයන් වෙනුවෙන් ආයෝජනය කිරීම ද වර්තමානයේදී වැදගත් ය. වත්මන් වැඩිහිටි ජනගහනය රැක බලා ගැනීම සඳහා නිරෝගී සහ ඵලදායී තරුණ ජනතාවක් අවශ්‍ය ය. තරුණ ජනයාට අධ්‍යාපනයට, රැකියා අවස්ථාවලට මෙන් ම, ගුණාත්මක ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය සේවාවන්ටත් තොරතුරුවලටත් ප්‍රවේශය අවශ්‍ය ය. ඔවුන්ගේ හැකියාවන් පූර්ණ කර ගැනීමට ලැබෙන්නේ එමගිනි. එමගින් ඔවුන්ට ආර්ථිකයට සක්‍රිය ලෙස දායක වීමට හැකි වන අතර එය යැපුම් ජනගහණයට කරන සේවයකි. ඊට අමතරව, වත්මන් තරුණ ජනගහනය වෙනුවෙන් කරනු ලබන ආයෝජන වනාහි අනාගත වැඩිහිටි ජනගහනය වෙනුවෙන් කරනු ලබන ආයෝජන වේ. තරුණ ජනයා සිය සෞඛ්‍යය ආරක්ෂා කරගෙන, විශ්‍රාමික වියට එළඹෙන විට අවශ්‍ය දැනුම, කුසලතා සහ අත්දැකීම් ලබාගෙන සූදානම් වී සිටින්නේ නම්, ඔවුන්ට සමාජයෙන් අවශ්‍ය වන්නේ අඩු සහයෝගයකි. සාමාන්‍යයෙන් වඩා දිගු කලක් ජීවත් වන, දරිද්‍ර‍තාවට ගොදුරු වීමේ අවදානමට ලක් වන කාන්තාවන් වෙනුවෙන් විශේෂ කර සලකමින්, තරුණ පරපුරේ පෞද්ගලික මුල්‍ය කළමනාකරණ කුසලතා සංවර්ධනය කිරීමට ඇතැම් රටවල් ආයෝජනය කරන්නේ එම නිසා ය.

වැඩියෙන් ම අවදානමට ලක් වී සිටින වියපත් පුද්ගලයන්ගේ අවශ්‍යතා සම්බන්ධ ප්‍ර‍තිපත්ති සහ වැඩසටහන් සංවර්ධනය කිරීම ද ඉතා වැදගත් ය. වැඩියෙන් ම අවදානමට ලක් වී සිටින ප්‍ර‍වර්ගයට ආබාධ සහිත වැඩිහිටියන්, මානසික අභියෝග ඇති අය, තනිව ජීවත් වන අය හා ගෘහ මූලිකාවන් වන වැඩිහිටි කාන්තාවන් අයත් වේ. වැඩිහිටියන් අතරින් මෙම කොටස් බොහෝ විට විෂමතාවලට හා පීඩාවන්ට ලක් වෙති.  

වෙනත් රටවල අත්දැකීම්වලින් පෙන්නුම් කරන්නේ, අවදානමට ලක් වන වැඩිහිටි ප්‍ර‍ජාවට පහසුවෙන් ලබා ගත හැකි ප්‍ර‍ජා-පාදක සත්කාර හා වැඩිහිටි නිවාස වැනි විකල්ප සත්කාරක සේවා සුලබ වාතාවරණයක් ඇති කිරීම ඉතා වැදගත් බවයි. ආයතන විසින් සපයනු ලබන වැඩිහිටි සත්කාරක සේවා පිළිබඳ සමාජයේ පසුගාමී ආකල්ප දුරලිය යුතු ය. හේතුව, ඇතැම් විට වැඩිහිටියන්ට හා පවුල්වලට තිබෙන එකම හා හොඳම විසඳුම එය වන බැවිනි. වැඩිහිටි නිවාසවලදී සිදු විය හැකි පීඩා සහ නො තකා හැරීම් වළක්වා ගැනීම පිණිස, සත්කාරක සේවාවන්ගේ ගුණාත්මක ප්‍ර‍මිති පවත්වාගෙන යාමට කාර්යක්ෂම නියාමන ක්‍ර‍මවේදයක් අවශ්‍ය බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.  

වසර 2030දී සපුරා ගැනීමට නියමිත ධරණීය සංවර්ධන ඉලක්ක පිළිබඳ සලකා බැලීමේදී, 2030 වන විට ශ්‍රී ලංකාවේ සිටින්නේ වියපත් වෙමින් සිටින ජනගහණයක් බව සැලකිල්ලට ගැනීම වැළැක්විය නො හැකි ය. එසේම, රජය වියපත් සමාජයක් වෙනුවෙන් සූදානම් වීම සඳහා ප්‍ර‍තිපත්ති සහ වැඩසටහන් සැකසීම ද ඉතා වැදගත් ය. ජනගහනය වියපත් වීම රටට බරක් නොව, සංවර්ධනයේ ජයග්‍ර‍හණයක් බව අවබෝධ කර ගැනීම ද අත්‍යවශ්‍ය ය.  

Views:
95