තුෂාර දංකැටිය විසිනි
ලංකාවේ ක්‍රිකට් වැටුනේ ඇයි? මා ක්‍රිකට් විශාරදයකු නොවේ. එහෙත්, අතිශය අනුරාගී ක්‍රිකට් ලෝලියෙක්මි. පහත පළ වන්නේ මා වැනි ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු සිතන සිතුවිලි ය.
ලංකාවේ ක්‍රිකට් නැරඹිමේ ප්‍රවණතාව සීඝ්‍රයෙන් අඩු වෙමින් තිබේ. වෙනදාට මැච් එකක් ටෙලිවිෂන් එකේ යනකොට ඇතැමුන් නිවාඩු දමා මැච් බලන සිරිතක් තිබුණි. නගරවල ටෙලිවිෂන් විකුණන කඩ ඉදිරිපිට රංචු ගැසී මැච් නරඹනු දැකිය හැකි අවස්ථා මීට වසර තුන හතරකට කලින් තිබුණි. මැච් දවසට කට්ටිය සෙට් වී එය නරඹන්නට උත්සාහ කළ යුගයක් විය. ඇතැමුන් එය නැරඹිමට ගම්වල සිට ක්‍රීඩාංගන කරා ඇදෙනුද දැකිය හැකි විය. එහෙත් දැන් එහෙම නැත්තේ ඇයි?
ඊට මූලිකම හේතුව මැච් දිගට හරහට පරාද වීමයි. මැච් පැරදීම සාමාන්‍ය දෙයකි. එහෙත් ලංකාව මැච් පරදින්නේ තරගයක් දී නොවේ. පිටියේ පන්දු රැකීම පාසැල් ක්‍රිකට් කණ්ඩායමකටත් වැඩිය අන්තය.
ලංකාවට පන්දු රැකීමෙහිලා අනන්‍ය කරගත් කීර්තිමත් ඉතිහාසයක් තිබුණි. මහානාම, හෂාන්, මුරලි, රුවන් කල්පගේ, උපුල් චන්දන, ඩිල්ෂාන්, කුමාර් ධර්මසේන වැන්නන් පන්දු රැකිමෙ අති දක්ෂයෝ වුහ.
මේ යුගයේ වෙනත් රටවල්වල මෙතරම් ප්‍රමාණයයක දක්ෂ පන්දු රකින්නන් හිටියේ නැත. ඒ වෙනම ෆීල්ඩින් කෝච් ලා හිටි යුගයක නොවේ. එහෙත් දැන් පුහුණුකරුවෝ හිසේ කෙස් ගණනට සිටිති. එහෙත් පන්දු රැකීම අති දුර්වලය. ත්‍රෝ එකක් පිටිටනියේ කෙළවර සිට කඩුලු රකින්නා සිටින විකට්ටුව ආසන්නයට එවීමට පණ කඳක් ඇති කෙනෙක් නැති තරම් ය. එහෙත් පුහුණු කිරීම් නම් සිදුවේ.
ලංකාවේ ටෙස්ට් මැච් පරදින්නේ ඇයි? ඊට මූලිකම හේතුව ටෙස්ට් සඳහා සුදුසු පිතිකරුවන් ලංකාවෙන් නොසැකසීමයි. පාසැල්වල සිටන්ම පුරුදු කරන්නේ සහ අගය කරන්නේ වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රිඩකයන්වය. එහි ප්‍රතිඵලය දැන් දැකගත හැකිය. ලෝක ක්‍රිකට් සම්ප්‍රදාය වන්නේ වෙනම ටෙස්ට් කණ්ඩායමක්, වෙනම එක්දින කණ්ඩායමක්, වෙනම 20 -20 කණ්ඩායමක් සැකසීමය. ඉන්දියාව මෙහි පිකාසෝලා වේ. ඉන්දියාවේ විශේෂඥ ටෙස්ට් පිතිකරුවන් රාශියක් සිටිති. මුරලි විජේ, පූජාරා, කේ එල් රාහුල් එම පිති කරුවන්ය. ඔවුන් ටෙස්ට් වලට නිපුනයේයෙ. ඔවුන්ව එක්දින හෝ 20-20 සඳහා යොදාගන්නේ නැත. සුරේෂ් රෙයිනා ටෙස්ට්වලට ගන්නෙද නැත. දකුණු අප්‍රිකාවෙද ඕස්ටේලියාවේ තත්වයද එසේමය. එහෙත් ලංකාවේ දැන් ටෙස්ට්වලට නම් දරපු පිතිකරුවන් සිටින්නේද? හෂාන්, තිලාන්, මහේල, වැනි ටෙස්ට් නිපුනයන් දැන් ලංකාවේ සිටීද?
එකම නලුවා වෙස් මාරුකොට චරිත හතක් රගපානවා සේ එකම ක්‍රිඩකයා රතු නිල් සුදු වර්ණයෙන් සැරසි ටෙස්ට්වලට, එක්දිනවලට 20-20වලට පැමිණෙයි.
දික්වැල්ල. ධනුෂ්ක ගුණතිලක, අසේල, තරංග, චන්දිමාල් සෑම තරග වර්ගයකටම යොදාගනු ලැබේ. මොවුන් හුරුවී ඇත්තේ වෙගයෙන් පන්දුවට පහරදීමටය. ඔවුන් ටෙස්ට්වලට යොදා ගැනීමෙන් ඔවුනට ටෙස්ට්ද බැරීවේ. ටෙස්ට්වලට හුරු වූ පසු එක්දින අසාර්ථක වේ. සර්ව සම්පුර්ණයෙන් ටෙස්ට් වලටම හුරුවු කණ්ඩායමක් සැකසිය යුතුයැයි මෙහිදී යෝජනා කෙරෙන්නේ නැත. එය කරන්නටද බැරිය. එහෙත් ටෙස්ට් සදහාම වෙන්වු නිපුනයන් කිහිප දෙනෙක් හෝ බිහිකරගතයුතුය. තිලාන් සමරවිර එක්දින තරගවලට යොදා ගත්තෙම නැති තරම්ය. යොදාගත්තානම් ඒ කලාතුරකිනි. හෂාන්වද එසේමය. ටෙස්ට් නිපුනයන් දෙතුන් දෙනෙකු කණ්ඩායමක සිටිනවිට කණ්ඩායම සමබර වේ. තිලාන්, හෂාන් පිටිටනි මැද දමනලද නැංගුරම් වැනි විය. මැච් දිනන්නට බැරිනම් දවසක් හෝ විකට්ටුවේ රැඳෙමින් මැච් එක ඩ්‍රෝ කිරීමට උත්සාහ කිරීමට හෝ හැකියාවක් ඔවුන්ට තිබිණ. දැන් මැච් දිනවීමට නොව පැයක් දෙකක් විකට්ටුවේ ඉන්නට හැකි කෙනෙක් සිටීද?
සියල්ලන්ම හුරුවන්නේ වේගයෙන් පන්දුවට පහරදෙන්නන් බවට පත්වී, ජයසූරිය කෙනෙක්, ගේල් කෙනෙක් බවට පත්වීමටය. එසේවීමට හැමෝටම බැරිය. මීටර් 100 වෙගයෙන් දුවන්න පුලුවන් වූ පලියට හුසෙන් බෝල්ට් මීටර 400 දුවන්නේ නැත. මැරතන් දුවන්නේද නැත. එහෙත් ලංකාවේ අය එය පිළි ගන්නේ නැත. අවසානයේ බිහි වී ඇත්තේ ටෙස්ට් ද බැරි, එක් දිනද බැරි, 20-20 ද බැරි පිරිසක් බිහිවීමය.
මේ තත්ත්වය මග හෑරීමටනම් ටෙස්ට් වලටම හුරු පිරිසත් එක්දිනවලට හා 20-20වලට නිපුන පිරිසක් බිහි කළ යුතුමය. ඔවුන් එක්දිනවලට යොදා ගතයුතු නොවේ. එවිට වැඩි ක්‍රීඩයන් ප්‍රමාණයකට කණ්ඩායමේ අවස්ථාවද දිය හැක. එක ක්‍රීඩකයෙකු වර්ග තුනේම ක්‍රිකට්වලට පැමීණෙන විට තව ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඇති අවස්ථාව ඇහිරී යනු ඇත. දක්ෂතාව ඇති බොහෝ දෙනෙක් අවස්ථාවක් එනතුරු පුල පුලා බලා සිටිති. එකම ක්‍රිඩකයන් පිරිස ක්‍රිකට් ඉසව් තුනේම සිටින විට තව බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව නොමැති වී යයි.
ලංකා ක්‍රිකට් ගොඩගැනීමට තාක්ෂණික උපක්‍රම වෙනස් කිරිම, කලමණාකරණ උපායන් සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන බව කිව යුතුමය. විනය රැකීමද ප්‍රධාන කරුණක් වන බවද කිව යුතුය.
ක්‍රිකට්වල පරිහාණිය අපට දුකකි. කවුරු මොනවා කීවත් එය මේ රටේ පමණක් නොව, මේ කලාපයේ ම ජනප්‍රිය ක්‍රීඩාවයි.
(කවරයේ ඡායාරූපය ESPN Cricinfo)