දකුණු පළාත් සභාවේ තරුණ කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ සහයෝගීතාවෙන් හා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ පහසුකාරකත්වයෙන් දකුණු පළාතේ තරුණයන් සඳහා තරුණ ප්‍රතිපත්තියක් සම්පාදනය කෙරෙමින් තිබෙන බව අපි වාර්තා කළා. තරුණයන් වෙනුවෙන් වැඩිහිටියන් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා වෙනුවට තරුණයන් විසින් ම මෙහෙයවනු ලබන තරුණ සාකච්ඡා ක්‍රියාවලියක් ඔස්සේ දැන් එම තරුණ ප්‍රතිපත්තිය ප්‍රජාතාන්ත්‍රික ලෙස සංවර්ධනය වෙමින් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ තරුණ විශ්ලේෂක තරිඳු ජයවර්ධන මේ ව්‍යායාමය පැහැදිලි කළේ මෙසේයි: “දකුණු පළාත් සභාවට අවශ්‍ය වුණා ජාතික තරුණ ප්‍රතිපත්තිය මත පදනම් ව පළාත සඳහා වැඩරාමුවක් සකසන්නට. පළාතේ විවිධ ප්‍රදේශ හා අංශ නියෝජනය කරන තරුණ තරුණියන් එක්රැස් කර උපදෙස් ලබා ගැනීමේ සැසි වාර දෙකක් පවත්වනු ලැබුවා. ඉන් පසු, සිසුන්, ගුරුවරුන්, රජයේ නිලධාරීන්, ගැමි හා නාගරික තරුණයන්, තරුණ ගොවීන්, ධීවර තරුණයන්, වැවිලි කර්මාන්තය ආශ්‍රිත තරුණයන් ආදී වූ විවිධ ඉලක්ක කණ්ඩායම් රැසක් සමගත් සාකච්ඡා වට ගණනාවක් ඔස්සේ අදහස් ලබා ගනිමින් දත්ත එක් රැස් කරගෙන තමයි අපි මෙම ප්‍රතිපත්තිය කෙටුම්පත් කරමින් ඉන්නේ. එය ක්‍රියාත්මක කරවීමේ හා ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කිරීමේ ක්‍රමෝපායකුත් ඒ සමග සම්බන්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.”
තරුණ ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේදී හා ඒ සඳහා තරුණ උපදේශන ලබා ගැනීමේ කාර්යභාරය මෙහෙයෙව්වේ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයයි. පහත පළ වන්නේ එම කාර්යයට මැදිහත් වූ කෞශල්‍යා තිලානිගේ අදහස්: “අපි ඉතා ම පුළුල් තරුණ නියෝජනයක අදහස් ලබා ගනිමින් ඉන්නවා. තවදුරටත්, ත්‍රිරෝද රථ රියදුරන් වැනි ඉලක්ක සමාජ කණ්ඩායම් සමග ද සාකච්ඡා කරන්නට නියමිතයි. තරුණ තරුණියන්ගේ මෙන් ම තරුණ කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය හා පෞද්ගලික අංශවල වගකිවයුත්තන්ගේත් අදහස් අපි ලබා ගනිමින් ඉන්නවා. ඒ අනුව සැකසූ පළමු වාර්තාව අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නවා. එයට එකඟතාව ලැබුණු පසු එය තවදුරටත් සංවර්ධනය කර ප්‍රතිපත්ති ලේඛනයක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම මෙම තරුණ ප්‍රතිපත්තිය පළාත තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් දකුණු පළාත් මානව සංවර්ධන අධිකාරියක් පිහිටුවන්නට අප යෝජනා කර තිබෙනවා.”
තරුණ ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමේදී පළාතේ තරුණයන් වෙතින් එක් රැස් කර ගන්නා ලද කරුණු පාදක කර ගත්තා.
දකුණු පළාත තුළ තිබෙන විභවයන් ඉතා වැදගත්. එයට බෙන්තොට සිට කිරින්ද දක්වා විහිදුණු දිගු වෙරළ තීරයක් තිබෙනවා. එහි දැනටත් ධීවර කර්මාන්තය හා සංචාරක ව්‍යාපාරය පුළුල් ලෙස සිදු වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 35%ක් දකුණු පළාත තුළ රැඳෙනවා. එහි හෝටල් කාමර සංඛ්‍යාව 2014 වන විට 6717ක්. ඒවායේ නැවතී සිටීමේ අනුපාතිකය 73.6%ක්.
සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවලට ස්ත්‍රී පාර්ශ්වයේ යොමු වීම අඩු බව අධ්‍යයනවලදී හඳුනාගෙන තිබෙනවා. සමාජ ආකල්ප එයට එක් හේතුවක්.
සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා පාරිසරික සංචාරක කර්මාන්තය, ත්‍රාසජනක ක්‍රීඩා සහිත සංචාරක කර්මාන්තය, පෞද්ගලික නිවාසවල සංචාරකයන්ට නවාතැන් දීම වැනි අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කෙටුම්පත පෙන්වා දෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයත් සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ඉවහල් වන සාධකයක්.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වානිජ වී ගොවිතැන දකින්නට ලැබුණත්, සෙසු දිස්ත්‍රික්කවල වී ගොවිතැන බොහෝ දුරට යැපුම් මට්ටමට සීමා වී තිබෙනවා.
තේ, කුරුඳු වැනි අපනයන බෝග වගාව ද දකුණු පළාතේ ව්‍යාප්ත වී තිබෙනවා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2012 වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කුඩා තේ වතු හිමියන්ගෙන් 40%ක් ම ඉන්නේ දකුණු පළාතේයි. .
කුරුඳු කර්මාන්තය ආශ්‍රිත සුවිශේෂ තත්වයක් ගැන ද මෙම කෙටුම්පතේ සඳහන් වුණා. කුරුඳු තැලීම සම්ප්‍රායිකව එක් කුලයක අය පමණක් කරන කාර්යයක් වීමයි ඒ සුවිශේෂ කාරණය.
ශ්‍රී ලංකාවේ ධීවර වරායන් 27න් 14ක් ම පිහිටා තිබෙන්නේ දකුණු පළාතේයි. සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන දෙකක් ගාල්ලේ හා තංගල්ලේ පිහිටා තිබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර හා නවුක විද්‍යා තාක්ෂණ පීඨයක් මාතර පිහිටුවා තිබෙනවා. කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස පළාතේ ජනගහණයෙන් 4%ක් පමණයි. එහෙත් ජාතික මට්ටමේදී ධීවරයන් සමස්ත ජනගහණයෙන් 15%ක් වෙනවා. ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස අතරින් බහුතරය තරුණයෝයි. පුහුණුව, ජීවිත රක්ෂණ ආදී ගැටලු රැසකට ඔවුන් මුහුණ දෙනවා.
ධීවර කර්මාන්තයේ නියුතු තරුණයන්ගේ වෘත්තිකභාවය නැංවීම පිළිබඳවත් තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ අවධානය යොමු කර තිබෙනවා.
දකුණු පළාත, වෙස් මුහුණු, බීරළු වැනි සම්ප්‍රදායික කර්මාන්ත රැසක් පැතිර පැවතුණු පළාතක්. එහෙත්, දැන් ඒවා බොහොමයක් අභාවයට යමින් තිබෙනවා. ප්‍රමාණවත් ආදායම් නොමැතිකම නිසා තරුණ පරපුර ඒ වෙත යොමු නො වීම එක් හේතුවක්.
එතරම් දුරට අධ්‍යාපනය නො ලද තරුණයන් අලුතින් යොමු වන රැකියා ක්ෂේත්‍ර අතර දකුණු කොරියාවේ රැකියා, ත්‍රිරෝද රථ පැදවීම ආදිය දකින්නට පුළුවන්. එහෙත්, දකුණු කොරියාවේ රැකියා කර ආපසු පැමිණෙන තරුණයන් තමන් රැගෙන එන මුදල් අනාගතය සාර්ථක කර ගැනීම සඳහා අවස්ථා සම්පාදනය කර දීමේ අවශ්‍යතාව ද මෙම කෙටුම්පතෙහි සාකච්ඡා කරනවා.
තරුණයන්ගේ ම මැදිහත් වීමෙන් මෙම කෙටුම්පත සම්පාදනය කරන ක්‍රියාවලියත්, ඒ ඔස්සේ බිහි වන පළාත් තරුණ ප්‍රතිපත්තියත් තරුණයන් සම්බන්ධයෙන් ලාංකීය දේශපාලන මැදිහත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.
මේ ලිපියත් කියවන්න: තරුණයන් අතින් දකුණු පළාතේ තරුණයන් වෙනුවෙන් තරුණ ප්‍රතිපත්තියක්