ලෝකයේ හඬ අසන්නට වෙර දරන තවත් දරු පිරිසක්

by chathurangiayesha88@gmail.com
13-Dec-2017

මිනිසුන් ලෙසින් මෙලොව උපදින අප සියල්ලන්ම සමාන අයිතීන් හා ආශාවන් සමඟ ජීවිතය විඳින්නට උත්සාහ දරන පිරිසක්. ජීවිතේ සුන්දරත්වය අත්විඳින්නට හා ඥානනය වඩන්නට උරුම වූ නේක විධ ලැබීම් අතර ලොකයේ සුන්දරත්වය දකින්නට සහ අසන්නට  හිමි වූ නෙත් දෙක සහ දෙකන් මිල කළ නොහැකි සම්පතකි. මිනිස් ආත්මයක් ලබා ගන්නට තරම් වාසනාවක් ලැබුවද දෙකන්  අහිමිව මෙලොව සුන්දරත්වය අසන්නට හැකියාවක් නොලබන දරුවන් බහුතරයක් අප සමඟ ජීවත්වන බව නොදන්නා කාරණයක් නොවේ. සමාජයේ මිනිසුන් ඔවුන් හදුනාගන්නේ බිහිරි දරුවන් ලෙසිනි.

හුදෙක් ඇතැම් ඌණතාවයක් හේතුවෙන් ඔවුන් උපතින් හෝ පසුකාලීනව බිහිරි තත්වයට පත් වුවද ඔවුනොවුන්ද සාමාන්‍ය දරුවන් මෙන්ම ළමා ලෝකය සුන්දර කරවන හා ජිවිතයේ සුන්දරත්වය දකින්නට හෙට දවස වෙනුවෙන් අපූර්ව වූ සිහින දකින පිරිසකි.

සැබෑ අර්ථයෙන්ම ඒ සියල්ලන්ම අප හා සමානවම සම අයිතිවාසිකම් දරන ශ‍්‍රී ලාංකිකයෝ වෙති. යථාර්ථය විය යුතු වන්නේ සාමාන්‍ය දරුවන් අභිබවමින් වැඩි වරප‍්‍රසාද ඔවුනට හිමි වීමට ඉඩකඩ සැපයීමයි. එහෙත් අද පවතින තත්වය ඊට හාත්පසින්ම වෙනස්වන ඇතැම් අවස්ථාවන් සහ ඔවුනොවුන් වෙනුවෙන් අප වැයකරන කාලය සහ සේවාවන් ප‍්‍රමාණවත් වේද යන තැන ප‍්‍රශ්න කළහොත් එක් වරම එය පිළිගැනීමට නොහැකි වන කාරණයකි.

අපි මේ කථා කරන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අතරින් බිහිරි දරුවන් ලෙසින් හදුනාගැනෙන දරුවන්ගේ අධ්‍යාපනික ක‍්‍රමවේදයන් තුළ හිතන්නට යමක් එකතු කළ  කාරණයක් පිළිබඳ කෙරෙන කෙටි විවරණයකි මේ.

සමාන අයිතිවාසිකම් අතර අධ්‍යාපනය ලබා ගැනීම කියන කාරණය තුළ ලංකාවේ සෙසු සාමාන්‍ය පාසල් පද්ධතියේ ඉගෙනුම ලබන  සාමාන්‍ය දරුවන් මෙන්ම බිහිරි දරුවන් ද සම අයිතීන් හා වරප‍්‍රසාද සහිත පිරිසක් බව අවිවාදිතය. එනමුත් ලකාවේ දැනට බිහිරි දරුවන් ඉගෙනුම ලබන පාසැල් සංඛ්‍යාව පිළිබඳ  විශ්ලේෂණාත්මක අවබෝධයක් සහිත පිරිස අතළොස්සක් බව ද පැහැදිලි කාරණයයි.

ලංකාවේ විධිමත් විශේෂ අධ්‍යාපයේ ආරම්භය ලෙස සනිටුහන් වන්නේ 1912 වසරයි. එනම් එක් අන්ධ සිසුවෙක් සහ බිහිරි දරුවන් තිදෙනෙකුගෙන් සමන්විතව ආරම්භ කරන ලද රත්මලාන අඳ බිහිරි විදුහල 1912. නොවැම්බර් 01 ආරම්භ කිරීමත් සමඟයි.

එතැන් පටන් මේ වන විට ලංකාවේ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් පැසැල් 25 ව්‍යවස්ථාපිත කොට ඇත. මූලික වශයෙන් අඳ බිහිරි ශිෂ්‍ය වර්ග දෙක මත පමණක්  ආරම්භ කරන දල  විශේෂ අධ්‍යාපනික රටාව තුළ මේ වන විට තුන් දහසකට ආසන්න ශිෂ්‍ය පිරිසක් ඉගෙනුම ලබයි.

බිහිරි දරුවන් අධ්‍යාපනය ලබන ප‍්‍රධාන භාෂා මාධ්‍ය සංඥා භාෂාවයි. ඔවුන්ගේ ප‍්‍රධාන භාෂා මාධ්‍යය වන සංඥා භාෂාව ජීව භාෂාවක් ලෙසින් යාවත්කාලීන නොවීම හා ලේඛණගතකරණයතුළ ඔවුන් මුහුණ දෙන අරබුධකාරී තත්වයන් කැපී පෙණෙන කාරණා වෙයි.  අදහස් සන්නිවේදනය කිරීමෙහිළා පවතින සංඥාවන්ගේ ඌණතාවය බිහිරි දරුවන්ට පමණක් මුහුණ නොව අධ්‍යාපනික කාරණ ඉගැන්වීමෙහි නියැළී සිටින ගුරුවරුන් මුහුණ දෙන ප‍්‍රබල ගැටලූවක් බව ඔවුන් සම`ග සාකච්ජාකිරීමේදී වැටහුණ කාරණයයි. මෙවැනි තත්වයන් හමුවේ ඔවුන්ගේ තාවකාලික විසඳුම වන්නේ බහුතරයක් වූ විෂයනුගත වචන සඳහා තවමත් ක‍්‍රමානුකූල සංඥා පද්ධතියක් නොමැති වීම හේතුවෙන්  හුදෙක් අවිධිමත් සංඥා භාවිතා කරමින් විෂය කාරණා ඉගන්වීමට යාම තරමක් සංකීර්ණ කාර්යයක් බව මෙහිදී අපටද පසක් වූ කාරණයයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්විම මත පාසැල් දරුවන්ට ලබා දෙන්නා වූ පෙළ පොත් නිළ ඇදුම් සහ ගුරුවරුන්ට නියමිත වැටුප් ගෙවීම් වලට අමතරව මෙම දරුවන්ගේ හෙට දවස යහපත් කරන්නට අවැසි වඩාත්ම යෝග්‍ය අධ්‍යාපන ක‍්‍රමවේදයන් සකසා දීම සහ එවායේ පවත්නා ඌණතාවයන් පිළිබඳ වගකීම් සහගත අයුරින් විධිවිධාන ක‍්‍රියාත්මක කරලීම වඩා අවශ්‍ය කාරණයකි.

සාමාන්‍ය දරුවන් හදාරන විෂය නිර්දේශයන් ඒ අයුරින්ම විශේෂ අධ්‍යාපනය තුළ බිහිරි දරුවන් වෙනුවෙන් අනුමත කරලීම කොයි තරම් දුරට යුක්ති සහගත වන්නේද සහ අනෙකුත් භාෂා ව්‍යවහාරයන් මෙන් සංඥා භාෂාව ජීව භාෂාවක් ලෙසින් යාවත්කාලීන නොවීම  යන ගැටලූ සඳහා ස්ථීරසාර විසඳුම ඔවුන්ගේ අහිංසක හෙට දවසේ අභිලාෂයයි.

හුදෙක් ජීව භාෂාවක් ලෙසින් යාවත්කාලීන නොවීම මෙන්ම සංඥාවන් ලෙසින් උගත් දේ ලේඛණගත කිරීමේදී ඇති වන අපහසුතාව හමුවේ එකම කාල සීමාවකට සීමා වන විෂය නිර්දේශයන් හා ඒ මත ක‍්‍රියාත්මක කරවන විභාග ක‍්‍රමවේදයන් තුළ යම් වෙනසක් ඇති වීමට මුල පිරීමක් හෝ ඇති වේ නම් එය ඔවුන්ගේ හෙට දවසේ යහපත් කරයි.  එමෙන්ම අබාධිත බව ජයගත් මනා පෞර්ෂයකින් හෙබි ආත්ම විශ්වාසයක් සහිත සමාජයට වැඩදායක යහ පුරවැසියකු බිහිකිරීමට අදාළ අධ්‍යාපනික පසුබිම සකසා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

 

 

Views:
1364