ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් ප්‍ර‍තිපත්තියක්

by Ajith
13-Nov-2017

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ ජාතික ප්‍ර‍තිපත්තියක් සකස් කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් තිබෙන බව වාර්තා වේ. 

අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන පරිදි මේ වන විට ඒ සඳහා පත් කරන ලද කමිටුවක් විසින් දැනට පවත්නා දේශීය හා ජාත්‍යන්තර ප්‍ර‍තිපත්ති හඳුනා ගනිමින් තිබේ. 

ප්‍ර‍තිපත්තිය කෙටුම්පත් කිරීමට පෙර මහජන අදහස් ද ලබා ගනු ඇති බව අමාත්‍යාංශය පවසයි.  

පුල්ලෙ මඩුව යන නම ව්‍යවහාර වුණේ ඉස්සර තේ වතුවල දළු නෙළීම වැනි කටයුතුවල යෙදුණු කාන්තාවන්ගේ දරුවන් දිවා කාලයේ රැක බලා ගැනීම සඳහා වතු පාලනාධිකාරිය විසින් ඉදි කරන ලද ගොඩනැගිල්ලකි. වතු කම්කරු නිවාස ආසන්නයේ පිහිටුවා තිබුණු මෙම ප්‍රාථමික ළමා සුරැකුම් මධ්‍යස්ථානවල විවිධ වයස් කාණ්ඩවල දරුවෝ දිවා කාලය ගත කළ හ. මැදි වියේ දෙමළ කාන්තාවක් හෝ දෙදෙනෙක් එහි පාලිකාවන්සේ ලෙස වය කළ හ. ඔවුන්ට වැටුප් ගෙව්වේ වතු සමාගම විසිනි.

ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ආරම්භය ලංකාවේ කම්කරු පංතියේ ආරම්භය හා සම්බන්ධ වේ. දරුවන් සහිත කාන්තාවන්ගේ ශ්‍ර‍මය ඵලදායී ලෙස ලබා ගැනීමට නම් දරුවන් රැක බලා ගන්නා සේවාවන් අවශ්‍ය බව යටත් විජිත යුගයේ සේවායෝජකයෝ තේරුම් ගෙන සිටිය හ.

වර්තමානයේදී ද කාන්තාව ආර්ථිකයේ සුවිශේෂ දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2015දී නිකුත් කරන ලද ශ්‍ර‍ම බලක සමීක්ෂණ වාර්තාව අනුව, වර්තමානය වන විට වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී ලංකික කාන්තාවන්ගෙන් ශ්‍රම බලකායෙහි සිටින්නේ 38.5%ක් පමණි. 

ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 24.2%ක ම ගෘහමූලිකත්වය හොබවන්නේ කාන්තාවෝ ය. කාන්තාවන් ගෘහ මූලිකයන් වන පවුල්වල බොහෝ විට සැමියා මිය ගොස් හෝ ආබාධිත තත්වයට පත් වී හෝ තිබේ. පවුලේ ජීවනෝපාය පිළිබඳ වගකීම ඇත්තේ ඔවුන්ට ය.

කාන්තාවන්ගේ රැකියා නියුක්තිය සංවර්ධනයෙහිදී ඉතා වැදගත් බව පිළිගත් කාරණයකි. එහෙත්, කාන්තාවන්ගේ උපරිම දායකත්වය රැකියා සඳහා ලබා දෙන්නට නම් දරුවන් සම්බන්ධ ඔවුන්ගේ වගකීම් පිළිබඳ ද සැලකිලිමත් වන්නට සිදු වේ. දරුවන් සම්බන්ධ වගකීම ඇත්තේ මවට පමණක් නො වේ. පියාට ද දරුවා සම්බන්ධයෙන් මව තරම් ම වගකීමක් තිබේ. එහෙත්, ඇතැම් සංස්කෘතික හා වෙනත් සාධක හේතුවෙන් මවගේ වගකීම වැඩිපුර අවධාරණය කරනු දක්නට ලැබේ.

කෙසේ වෙතත්, දරුවන් සම්බන්ධ මව්වරුන්ගේ වගකීම් හේතුවෙන් කාන්තාවන්ට සමාජය වෙනුවෙන් වන සිය පූර්ණ දායකත්වය සැපයීම කළ නො හැකි වන්නේ නම් එය ගැටලුවකි. එය වළක්වා කාන්තාව උපරිම ඵලදායී පුරවැසියකු බවට පත් වීමට සැලැස්වීම සමාජ වගකීමකි. රැකියාවල නියුතු මව්වරුන්ගේ දරුවන් රැක බලා ගැනීම සඳහා ගුණාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන අවශ්‍ය වන්නේ ඒ නිසා ය.

එහෙත්, ශ්‍රී ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු රැසක් තිබේ. ඉහළ ගුණාත්මකභාවයක් පොරොන්දු වෙන ඇතැම් නාගරික දිවා සුරැකුම් මධ්‍යස්ථාන විසින් අධික මිළක් අය කරනු ලැබේ. සාමාන්‍ය වැඩ කරන මව්වරුන්ට ඒ මිළ දරා ගත නො හැකි ය.

Views:
955