සුරක්ෂිතව සමාජ මාධ්‍ය පරිහරණය කිරීම වෙනුවෙන් තරුණයන්ට කතා කරන දිනිති

by Ajith
26-Dec-2017

දිනිති ප්‍ර‍තිභා කළුආරච්චි රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඇය සිය තිසීසය සඳහා මාතෘකාව ලෙස තෝරාගෙන ඇත්තේ ෆේස්බුක් තුළින් සමාජ අනන්‍යතාව ගොඩනැගීම පිළිබඳ අධ්‍යයනයක් කිරීමයි. 

නිසි අවබෝධයකින් තොරව සමාජ මාධ්‍ය මෙවලම් යොදා ගන්නා තරුණ පරපුරට මුහුණු පොතෙන් සිදු වන බලපෑම පිළිබඳ කතා අසා ඇති ඇය iVoice නැවුම් අදහස් තරගය හරහා ලබා ගත් ප්‍ර‍තිපාදන භාවිතා කරමින් සුරක්ෂිතව සමාජ මාධ්‍ය පරිහරණය කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කර පොත් පිංචක් පළ කළා. එය මෙතැනින් බාගත කර ගන්නට පුළුවන්.

එම පොත විශ්වවිද්‍යාලයේ සම වයස් සිසු සිසුවියන් අතර බෙදා දුන් ඇය සිසු සිසුවියන් 100ක් වෙනුවෙන් සමාජ මාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ තරුණයන් මැයෙන් එක් දින පුහුණු වැඩ මුළුවක් ද පැවැත්වූවා.

මේ වැඩමුළුව සංවිධානය කිරීමට මූලිකත්වය ගැනීම ද ඇයට විශාල අත්දැකීමක් වුණා. ඒ සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක, පීඨාධිපති මහාචාර්ය උපාලි පන්නිලගේ, සෙසු ආචාර්යවරුන් හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මග පෙන්වූවා. ඇගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් ඇය සමග සංවිධාන වගකීම් බෙදා ගත්තා. රුහුණු පරපුර නාට්‍ය කණ්ඩායම සමාජ මාධ්‍ය පිළිබඳ අගනා නාට්‍යයක් ද ඉදිරිපත් කළා. 

පුහුණු වැඩමුළුව අමතමින් රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය දුෂ්මන්ති සිල්වා මහත්මිය මෙසේ කිව්වා. “පොතක් මිළ දී ගන්න කිව්වාම සමහරවිට සිසුන් මැලිකමක් දක්වනවා. ඒත්, ස්මාට් දුරකථනයකට, ඩේටාවලට ඔවුන් මහපොළ ශිෂ්‍යත්ව දීමනාවෙන් මුදල් ඉතිරි කර ගන්නවා. ඒ තමයි සමාජ අවශ්‍යතාව. ඒ නිසා සමාජ මාධ්‍ය ආරක්ෂිතව පරිහරණය කිරීම පුහුණු වීම ඉතා වැදගත්.“

සාරගර්භ දෙසුමක් කළ රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය සමිත උදයංග මහතා ජාලගත පෞදිගලිකභාවය, අතථ්‍ය යථාර්ථය තුළ තථ්‍ය යථාර්ථය, ප්‍ර‍තිසාරාත්මක නූතනත්වය වැනි නවීන සංකල්ප පිළිබඳ සාකච්ඡා කරමින් ඔහු පැවසුවේ පැවසුවේ, “ෆේස්බුක් යනු ආයතනයක්. එහි හොඳ නරක කතා කරන්නට බැහැ. එය හරියට භාවිතා කිරීම තිබෙන්නේ අපේ අතේ,“ බවයි. 

මාතර පොලිස් අධිකාරි කාර්යාලයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍ර‍ධානී වරුණි බෝගහවත්ත මහත්මිය ප්‍රායෝගික අත්දැකීම් පාදක කර ගනිමින් සිසුන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයෙන් ආරක්ෂා වන ආකාරය පැහැදිලි කර දුන්නා ය. 

මෙම වැඩමුළුව පිළිබඳ අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පැවසුවේ ශිෂ්‍ය විෂය බාහිර ක්‍රියාකාරකම් හා නිර්මානශීලිත්වය අගයමින් මෙවැනි ක්‍රියාකාරකම්වලට මහත් සතුටින් දිරි දෙන බවයි. 

ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ සභාපති මහාචාර්ය ඒ. බාලසූරිය මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් වැඩමුළුවට සහභාගි වූ සිසුන්ට සහතිකපත් ද පිරිනැමුණා. 

වයස අවුරුදු 23ක් වන දිනිති ප්‍ර‍තිභා කළුආරච්චි රුහුණු සරසවියට පැමිණියේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩිනුයි. ඇය රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ඇගේ පියා මෙන් ම මව ද පොලිස් නිලධාරීන්. ඇගේ වැඩිමල් සොයුරිය ඉංග්‍රීසි ගුරුවරියක්. ඇයට සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන බාල සොයුරෙකු ද සිටිනවා. ඔවුන් සියලු දෙනා ඇගේ කටයුතුවලට දිරි දෙනවා. 

Views:
2089