ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉහළට

by Ajith
17-Oct-2017

 ඒමන්ති මාරඹේ විසින් දිවයින පුවත්පතෙහි පළ කරන ලද ලිපියකි

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනය වසර 2037 වනවිට විසි ලක්‍ෂයකින් පමණ එනම් සියයට 7.5 කින් වැඩිවන බව එක්‌සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් පසුගියදා එළිදැක්‌වූ නවතම වාර්තාවක දැක්‌වේ.
 
 ඒ අනුව වසර 2037 වනවිට දැනට ලක්‍ෂ 25 ක්‌ වන වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ජනගහනයෙන් 1/5 ක්‌ දක්‌වා වර්ධනය වනු ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.
 
 ශ්‍රී ලංකාවේ දියුණු සෞඛ්‍ය පහසුකම් ආයු අපේක්‌ෂාව ඉහළ යැම මාතෘ මරණ, ළදරු මරණ අනුපාතිකයන් අඩුවීම වැනි හේතූන් මත දකුණු ආසියාවේ සෙසු රටවලට වඩා වේගයෙන් ජනගහණය වියපත් වන බව අනාවරණය වී තිබේ.
 
 වසර 2012 දී පවත්වනු ලැබූ ජන හා නිවාස සංගණනයකට අනුව මෙරට පිරිමින්ගේ ආයු අපේක්‌ෂාව වයස අවුරුදු 72 ක්‌ද, ගැහැනුන්ගේ ආයු අපේක්‌ෂාව 79 ක්‌ ද වන අතර මෙරට වැඩිහිටි ජනගහනයෙන් බහුතරය බවට මේ වනවිට පත්ව ඇත්තේ කාන්තාවන් බවද මේ අනුව හෙළිවී තිබේ.
 
 එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කළ සංගණනයකට අනුව මෙම වසර වනවිට රටේ වැඩිහිටි ජනගහනය තිස්‌එක්‌ ලක්‌ෂ තිස්‌දහස්‌ හත්සිය හතළිහකි. මොවුන් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ය. එය මෙරට මුළු ජනගහනයෙන් සියයට 14.6 කි. එම ජනගහනය වසර 2037 වනවිට පනස්‌ එක්‌ලක්‌ෂ දහ අට දහස්‌ අනූහතරක්‌ දක්‌වා එනම් මුළු ජනගහනයෙන් සියයට 22.1 ක්‌ දක්‌වා ද වසර 2050 වන විට මෙම ප්‍රතිශතය සියයට 29.4කින් ද වර්ධනය වීමට නියමිතය. 
 
 එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රිට්‌සු නැකෙන් මහත්මියට අනුව වඩා හොඳ පෝෂණය, සනීපාරක්‌ෂාව, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය හා යහපැවැත්ම යන කරුණු මත ජනතාව වැඩි කලක්‌ ජීවත්වෙති. ශ්‍රී ලංකාවේ මෙම පහසුකම් කෙතරම්ද යන්න මෙරට වැඩිහිටි ජනගහනය වර්ධනය වන අයුරින් පෙනී යන අතර වසර 2037 වන විට මෙරට අවුරුදු 60 ට වැඩි වැඩිහටි ජනගහනයෙහි සිදුවන වැඩිවීම වසර 25 ක කාලයක්‌ තුළ මෙරට වැඩිහිටි ජනගහනය සියයට 103 කින් වැඩි වීමක්‌ වීම මෙය සනාථ කරවයි. සංඛ්‍යාලේඛනවලට අනුව වයස අවුරුදු 15 ට අඩු මෙරට ළමා ජනගහනය මින් ඉදිරියට ක්‍රමයෙන් අඩුවී ගොස්‌ වසර 2032 න් පසු වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයට වඩා අඩුවීමේ ප්‍රවණතාවයක්‌ පවති. මේ අනුව වසර 2032 න් පසු අප රටේ ජනගහනයෙන් වැඩි කොටසක්‌ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් සමන්විත වනු ඇත.
 
 මෙරට රජයේ රෝහල්වලින් හා මාතෘ සායනවලින් නොමිලයේ ප්‍රතිකාර හා බෙහෙත් ලබා ගැනීමේ පහසුකම් ලබාදීම හරහා මෙන්ම දියුණු සෞඛ්‍ය පහසුකම් මෙරට ජනගහන වර්ධනය අඩු මට්‌ටමකින් පවත්වා ගැනීම මගින් නිරෝගී වැඩිහිටි ජනගහනයක්‌ මෙරට බිහි වෙමින් පවතිනුයේ සුපිරි ආසියාතික හා බටහිර රටවලට නොදෙවෙනි අයුරිනි.
 
 මෙහිදී වැඩිහිටි ජනගහනය වර්ධනය වීමත් සමඟ පැනනගින ප්‍රධානතම අභියෝගයන් වනුයේ ඔවුන්ගේ කායික හා මානසික නිරෝගී බව සුරැකීම, ඔවුනට රැකවරණය ලබාදීම, ආර්ථික හා සමාජයීය වශයෙන් ඔවුන් සවිමත් කිරීම මෙන්ම ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට යම් ඵලදායී බවක්‌ ලබා ගැනීම යනාදියයි.
 
 රටේ ළමා ජනගහනය අඩුවී වැඩිහිටි ජනගහනය ඉහළයැම යනු රටේ ආර්ථිකයටද ආර්ථික ඵලදායීතාවයෙන් යුත් ශ්‍රම පිරිsසක්‌ අහිමි කරලීමේ තත්ත්වයක්‌ වුවද වැඩිහිටි ජනගහනය රටේ සම්පතක්‌ ලෙස ඵලදායී අයුරින් කළමනාකරණය කිරීම හරහා එය රටේ යහපත සඳහා යොදාගත හැකිවනු ඇත.
 
 වර්තමානයේ බොහෝ විට රැකියා ස්‌ථානවල වයස්‌ සීමාව මත රාජකාරි කටයුතු පැවරීම, විශ්‍රාමයැම වැනි කාරණා තීරණය කිරීම හරහා වයස්‌ගත වුවද කාර්යක්‌ෂම රාජකාරි කළ හැකි විශාල ශ්‍රම බළකායක්‌ වාර්ෂිකව රාජ්‍ය කළ හා පෞද්ගලික අංශයන්ට අහිමි වේ. බටහිර රටවල මෙම තත්ත්වය කළමනාකරණය කර තිබීම මත මෙවැනි ගැටලු ඔවුන් සතුව පවතිනුයේ අවම මට්‌ටමකිනි.
 
 එහෙත් වැඩිහිටි ජනගහනය රටේ ප්‍රධාන කොටසක්‌ බවට පත්වෙමින් පවතින වාතාවරණය තුළ එම තත්ත්වය පිළිගෙන දැනට පවතින ශ්‍රම බළකාය ආශ්‍රිත නීති රීති සංශෝධනය කර මෙම වැඩිහිටියන්ද ආර්ථික ඵලදායී තාවකින් යුත් පිරිසක්‌ බවට පත්කරලීමට මෙරට බලධාරීන් උත්සුක නොවන්නේ නම් එම වැඩිහිටි ජනගහනය රජයේ වියදමින් නඩත්තුකරලීමට සිදුවන කොටසක්‌ පමණක්‌ බවට පත්වනු ඒකාන්තය.
 
 දැනටමත් දේශීය හා ජාත්‍යන්තර සමීක්‍ෂණ වාර්තා හුදෙක්‌ කියවීම සඳහා පමණක්‌ වෙන්කරලීමේ සංස්‌කෘතියක්‌ අපගේ නිලධාරී පැලැන්තිය තුළ පවතී. බොහෝ වාර්තාවන්හී නිර්දේශයන් පවා බැලීමට ඇතැමුන් පෙළඹෙනුයේ කිසියම් තත්ත්වයක්‌ ජාතික ව්‍යසනයක්‌ වූ පසුය.
 
 එහෙත් දැන් හෝ මෙම තත්ත්වය වෙනස්‌ කරලීමට කාලය එළඹ තිබේ. ජාත්‍යන්තර සංවිධානයක්‌ම මෙරට වැඩිහිටි ජනගහනය රටේ බහුතර කොටසක්‌ බවට පත්වනු ඇති බවට හා ඔවුන් රටට වැඩදායී පිsරිසක්‌ කරලීමට නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවට සඳහන් වාර්තාවක්‌ නිකුත් කර ඇත. එම වාර්තාවේ නිර්දේශයන් පිළිගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස්‌ කරලීම වැදගත්ය. මෙය රාජ්‍ය තන්ත්‍රයේ පූර්ණ මැදිහත්වීම මත සිදු කළ යුතු කර්තව්‍යයක්‌ ලෙස දැක්‌විය හැකිය.
 
 බටහිර රටවලින් හෝ ආදර්ශයට ගෙන රටේ වැඩිවෙමින් පවතින වැඩිහිටි ජනගහනය ජාතික සම්පතක්‌ බවට පත්කරලීමට කටයුතු කිරීමේ අභියෝගය මෙරට බලධාරීන් කුමන ආකාරයෙන් පිළිගනීද යන්න ඉදිරියේදීa අපට දැකගත හැකි වනු ඇත. මෙය හුදෙක්‌ වචනවලට පමණක්‌ සීමා නොවූ ක්‍රියාත්මක ප්‍රතිපත්තියක්‌ සකස්‌ කරලීමේ ක්‍රියාදාමයක්‌ විය යුතු බව අවධාරණය කර සිටිමු.

Views:
3742