විකසිත වීමට මඟ සොයන දරුවෝ

by MarlenePerera
24-Dec-2020

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් සෙම්බුවත්ත ගම විශාල තේ වතු වලින් වට වූ මනරම් ග්‍රාමයකි. විශේෂයෙන්ම මෙමෙ ගමෙහි පිහිටා ඇති “ සෙම්බුවත්ත වැව ” හේතුවෙන් මෙම ප්‍රදේශය විශාල වශයෙන් සංචාරක ආකර්ශනයට නතු වී ඇති ප්‍රදේශයකි. ප්‍රදේශය පුරා ඇති තේ වතු හේතුවෙන් හා සෙම්බුවත්ත වැව හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ක්‍රමයන් බවට පත්ව ඇත්තේ තේ දළු නෙළීම සහ සංචාරකයන් සඳහා විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීමයි. මෙම ප්‍රදේශයේ දේශීය මෙන්ම විදේශීය සංචරකයන් ද දැකගත හැකිය.

මේ අතරින් සංචාරක ව්‍යාපාරය ගත් කළ මේ ප්‍රදේශයේ පවුල් විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රිත විවිධ රැකියාවන්හි නිරත වෙති. එහිදී දේශීය හෝ විදේශීය සංචාරකයන්ට ප්‍රවාහන පහසුකම් ලබා දීම, විවිධ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිම යනාධිය ප්‍රමුඛ වේ. මේ අතරින් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිම ගත් කල්හී විවිධාකාරයේ පිසූ ආහාර මෙන්ම ප්‍රදේශයේම ජනතාව විසින් වගා කරන්නට යෙදෙන ගස්ලබු, අලිපේර, පේර, චවුචවූ, ජම්බු යනාධි පලතුරු වර්ගත් ගොටුකොළ වැනි පළා වර්ගත් අලෙවිය සිදු කරනු ලබයි. මේ ප්‍රදේශයේ බහුල වශයෙන් දමිළ ජාතිකයන් ජිවත් වන අතර ඉතා සුළු වශයෙන් සිංහල ජාතිකයන් ද ජිවත් වනු දැකගත හැකිය.

මෙහිදී මෙම ප්‍රදේශය තුළ ජිවත් වීමේදී හඳුනාගත් සුවිශේෂී තත්වයක් වූයේ දරුවන් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව විවිධ ව්‍යාපාරයන්හි නිරත වීමයි.

UNICEF සංවිධානය “ළමයා” යන්න හඳුන්වා තිබෙන්නේ “වයස අවුරුදු දහඅටට අඩු සෑම අයෙක්ම දරුවෙක් වේ” ලෙසයි. එසේම ශ්‍රී ලංකාව තුළද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වයස අවුරුදු දහඅටට අඩු සෑම අයෙක්ම දරුවෙක් ලෙස පිළිගැනෙයි. එමෙන්ම 2015 වසරේ පත් වූ ලංකාවේ රජය විසින් සෑම දරුවෙක්ටම අවුරුදු දහතුනක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන්නට යෙදුණි.

සෙම්බුවත්ත වැව නැරඹීමට දිනකට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් රාශියක් පැමිණෙයි. මෙහිදී ඇතැම් දරුවන් මාර්ගය අසළ සිට සංචාරකයන්ට විවිධ පළතුරු වර්ග  අළෙවි කරනු දැක ගත හැකිය. ඇතැම් අවස්ථා වල දරුවන් තම වැඩිහිටියන් සමඟ මෙන්ම ඇතැම් අවස්ථා වල තනිවම ද මෙලෙස විවිධ දේ අලෙවි කරනු දැකගත හැකිය. මීට අමතරව මාර්ගය අසළ ආසන කිහිපයක් තබා ඉඳි කරගත් කුඩා “තේ කඩ” තුළ වැඩිහිටියන් විසින් සකස් කර දුන් වඩේ, පරාටා, එළවලු රොටි, තේ, කිරි ආධිය අලෙවි කිරීමත් ගොටුකොළ,නිවිති වැනි පළා වර්ග අලෙවි කිරීමත් දැකගත හැකිය. විදේශිකයන් ද දරුවන් දැකීමෙන් ඇතිවන අනුකම්පාවට විශේෂයෙන් දරුවන්ගෙන් යම් යම් දේ මිලදී ගනිති.

බොහෝවිට දරුවන් පාසල් යන අතරතුර මේ ක්‍රියාව සිදුකරන අතර බොහෝවිට සෙනසුරාදා හා ඉරිදා වැනි සතිඅන්ත දින වලත්, සතියේ දින වල පාසල් වේලාවෙන් පසුවත් මෙලෙස වෙළදාමේ යෙදෙනු දැකගත හැකිය. ඇතැම් දරුවන් පාසල් පැවැත්වෙන දින තුළද පාසල් නොගොස් මෙලෙස වෙළද කටයුතු වල නිරත වන ආකාරය දැකගත හැකිය.

මින් ඇතිවන අහිතකර ප්‍රථිපලය වන්නේ දරුවන් අධ්‍යාපනය හැදෑරිය යුතු වයසේ අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු නොකිරීමයි. දරුවන් පාසල් වේලාවෙන් පසුවද අධ්‍යාපන කටයුතු වල නිරත නොවී මෙවැනි වෙළදාම් කටයුතු වල නිරත වීම හේතුවෙන් අමතර අධ්‍යන කටයුතු වල නිරත වීම ඇණහිට තිබේ. එසේම ඇතැම් දරුවන් වෙළදාමට හුරුවීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අතහැර වෙළදාමට පමණක්ම යොමුවීමද ඇතැම්විට දැකගත හැකිය. විශේෂයෙන් මුදල් ගණුදෙනු කිරීමට ඇති ආශාවත්, එමගින් තම අවශ්‍යතා සපුරා ගත හැකිවීමත් යන හේතු දරුවන් අධ්‍යාපනයෙන් ඈත්කර වෙළදාමට යොමු කරවයි.

අනෙක් අතට දරුවන් අධ්‍යාපනය ලබන පාසල් ඉතා දුරබැහැර පිහිට තිබීමත්, දරුවන් අධ්‍යාපන කටයුතු වලින් දුරස් කරන බවට පෙනී යන කරුණකි. දිනකට තෙවරක් පමණක් මාර්ගයේ ගමන් කරන බස් රථය දරුවන්ට පාසල් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයුවද, එය මගහැරුණු විට දරුවන්ට පාසැල සඳහා ඉතා විශාල දුරක් පයින් ගමන් කිරීමට සිදුවේ. වර්ෂා කාලයේදී මේ ප්‍රදේශයේ නිරන්තර ඇදහැළෙන වර්ෂාව දරුවන්ගේ මේ ගමන තවත් අපහසු කරවයි.

අනෙක් අතට විශේෂයෙන් වයස අවුරුදු දහහත - දහඅට යන වයස් කාණ්ඩ වල දරුවන් දේශීය හා විදේශීය සංචාරකයන්ට සෙම්බුවත්ත වැව සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමද දැකගත හැකිය. නිවසේ වැඩිහිටියන් සතුව තිබෙන ත්‍රීරෝද රථය ඔවුන් මේ සඳහා යොදා ගනියි. මෙම දරුවන්ද බොහෝවිට සතිඅන්තයේ සහ සතියේ දින වල පාසල් වේලාවෙන් පසුව මෙලෙස සංචාරක ප්‍රවාහනයේ යෙදෙයි. මෙහෙදී ද විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන කටයුතු වලින් දුරස් වී “කල්ලි ගැසෙමින්” කාලය ගත කිරීමට යොමුවීම දැකගත හැකි ගැටළුවකි.

ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සේවා සභාව, ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, වැනි ආයතන වල විවිධ වූ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා මෙමෙ දරුවන් යොමු නොවීම, මෙම දරුවන් ලබන අධ්‍යාපන මට්ටමත් රටේ සම්පත් බෙදීයාමේ විෂමතාවයත් මනාව විෂද කොට පෙන්වයි.

දරුවන් මෙලෙස අධ්‍යාපනයෙන් බැහැරවීම සුළුකොට තැකිය හැකි කරුණක් නොවන්නේය. මෙය දිගින් දිගටම සිදුවන විට මෙම දරුවන් රටේ ඉහළ ස්ථරය සමඟ ගණුදෙනු කිරීමට හෝ එම කටයුතු වලට දායකවීම සිදුනොවේ. දරුවන් මෙලෙස අධ්‍යාපනයෙන් බැහැරවීම රටට දීර්ඝකලීනව ආර්ථික, සමාජ, දේශපාලන ගැටළු රැසක් ඇතිකරවයි.

මෙහි අධ්‍යාපනය යනු හුදෙක් පොත පතින් පමණක් ලබාගන්නා දැනුම නොවන්නේය. විධිමත් අධ්‍යාපනය ලබන දරුවා තුළ නිරුත්සාහකවම සමාජ, ආර්ථික, දේශපාලන දැනුම වර්ධනය වේ. එලෙස විධිමත් අධ්‍යාපනය සමඟ ආර්ථික, සමාජ, දේශපාලන දැනුමින් සන්නද්ධ වන දරුවා රටක සමාජ ප්‍රගමනයට මනාව දායක වේ. මේ නිසා දරුවන් අනිවාර්ය අධ්‍යාපනයට යොමු කිරිම අනාගතයේ ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික යන අංශ සියල්ලන්ගෙන් වඩා හොද රටක්, සමාජයක් බිහිකිරීමට හේතුවනු  ඇත.

 

 

 

 

Views:
1210