ලිංගික හිංසනයට එ‍රෙහි #MeToo හා ලිංගික නිදහස අතර සංවාදය

by Ajith
10-Jan-2018

(2018 ජනවාරි 23දා රැස පුවත්පතෙනි)

#MeToo කියන්නෙ පසුගිය වසරේ අග හරියේදී ට්විටර් සමාජ මාධ්‍ය අඩවිය ඔස්සේ විශාල අවධානයක් දිනා ගත් හෑෂ්ටැගයකි. එය දශකයකටත් වඩා පරණ එකක් මුත්, හොලිවුඩ් සිනමාවේ ලිංගික හිංසනයට එරෙහිව, සිනමා කර්මාන්තයේ රැකියාවේ නියුතු කාන්තාවන් විසින් විශේෂයෙන් ම චිත්‍ර‍පට නිෂ්පාදක හාවි වෙයින්ස්ටීන්ට එරෙහිව මතු කරන ලද විරෝධයත් සමග ම මෙම හෑෂ්ටැගය ලොව පුරා ප්‍ර‍චලිත වුණා. එය ලිංගික හිංසනයන්ට එරෙහි කාන්තාවන්ගේ ගෝලීය මට්ටමේ සහයෝගිතාවක් බවට පත් වුණා. බොහෝ කාන්තාවන් තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ කතා කිරීම සඳහා මෙම හෑෂ්ටැගය භාවිතා කරන්නට පටන් ගත්තා.

උත්කර්ෂවත් කාන්තාවන් විසින් ප්‍ර‍වර්ධනය කරනු ලැබීම නිසා මෙම හෑෂ්ටැගය පැය 48ක් ඇතුළත පන්ලක්ෂයක් දෙනා විසින් භාවිතා කරන ලද බව ට්විටර් සමාජ මාධ්‍ය අඩවිය වාර්තා කළා. ෆේස්බුක්හි පැය 24ක් තුළ මිලියන 12ක් පමණ වාර ගණනක් එය භාවිතා වුණා. හොලිවුඩයේ සිට ගමේ පැල්පත දක්වා හැම තැනක ම ලිංගික පීඩාවන්ට එරෙහිව හඬ නැගීම සඳහා එය පොදු හෑෂ්ටැගයක් බවට පත් වුණා. ඒ සමග ම, 2018 වසර මුලදී පවත්වන ලද ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ඔෆ්රා වින්ෆ්‍රී ඇතුළු උත්කර්ෂවත් කාන්තාවන් කළු ඇඳුමින් සැරසෙමින් කාන්තා හිමිකම් මෙම උළෙලේ විරෝධතා තේමාවක් බවට පත් කළා. 

එහෙත්, ප්‍ර‍ංශයේ ප්‍ර‍කට නිළි කැතරින් ඩෙනූව් ඇතුළු නවකතාකාරියන්, ශාස්ත්‍ර‍ඥවරියන් ඇතුළු කාන්තාවන් 100කගේ අත්සනින් ගිය සතියේ නිකුත් කරන ලද නිවේදනයකින් අසභ්‍ය යයි කියන දේ දැඩි ලෙස පිළිකුල් කරන #MeToo ව්‍යාපාරයේ ආකල්පයට විරෝධය පළ කළා. ලෙ මොන්ඩ් පුවත්පතේ පළ වූ එම නිවේදනයෙන් කියැවුණේ අධි සංවේදී චෝදනා ලිංගික නිදහසට හානිකර බවයි. ඌරන්ව මස්මඩුවට යැවීමේ තදියම කාන්තාවන් බලසතු කිරීමට ඉවහල් නො වන බව හා එය සේවය කරන්නේ ලිංගික නිදහසේ සතුරන්ගේ උවමනාවන්ට බවත් මෙම නිවේදනයෙන් තර්ක කරනු ලැබුවා. 

මෙම ප්‍ර‍කාශයට ප්‍ර‍ංශයේ ස්ත්‍රීවාදීන්ගෙන් විරෝධය එල්ල වුණා. ස්ත්‍රීවාදීන් 30දෙනෙකු විසින් දක්වන ලද ප්‍ර‍තිචාරාත්මක නිවේදනයක කියැවුණේ ඌරන් හා ඌරන්ගේ පැත්ත ගන්නන් කෝප වීම සාමාන්‍ය දෙයක් වන මුත් ඔවුන්ගේ කාලය අවසන් බවයි. එහෙත්, කැතරින් ඩෙනූව් යනු ප්‍ර‍ංශයේ කාන්තාවන් බලසතු කිරීම නියෝජනය කරන සංකේතාත්මක චරිතයක් ලෙස සැලකෙන කෙනෙක්. 

මෙම සුචරිතවාදී රැල්ල සිය කටයුතුවලට බලපාන බවත්, එමගින් ලේඛකයන්ට තම චරිත අඩුවෙන් ලිංගවාදී ලෙස නිරූපණය කිරීමට හෝ කාන්තා චරිතවලට මුහුණ දෙන්නට සිදු වන ක්ෂතිමය අත්දැකීම් පිළිබඳ වැඩියෙන් අවධානය යොමු කිරීමට බලපෑමක් සිදු විය හැකි බව ඔවුන් පෙන්වා දුන්නා. 

ඔවුන් ඉදිරිපත් කළ තවත් තර්කයක් වූයේ ලිංගිකත්වය සම්බන්ධයෙන් අසභ්‍යත්වය දැඩි ලෙස පිළිකුල් කිරීමේ ආකල්පය හේතුවෙන් කාන්තාවන් වින්දිතයන් ලෙස පෙන්නුම් කිරීම සදහට ම වැළකිය හැකි බවයි. පිරිමින් ප්‍ර‍සිද්ධ පාපොච්චාරණ කිරීමට බල කිරීම හරහා ඒකාධිපති සමාජයක වටපිටාවක් නිර්මානය කළ හැකි බව ද එහි සඳහන් වුණා.  

“කාන්තාවන් ලෙස අප මෙම ස්ත්‍රීවාදී ප්‍ර‍වණතාව වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. එහි බලය යොදා කරනු ලබන හිංසනයන් හෙළා දැකීමෙන් ඔබ්බට ගොස් පිරිමින් හා ලිංගිකත්වය කෙරෙහි වෛරයකුත් අඩංගු වෙනවා," යි එහි දැක්වෙනවා.

කාන්තාවන් ශ්‍ර‍ම බලකායේ නියෝජනය වීම පැත්තෙන් ගත් විට ප්‍ර‍ංශය එක්සත් ජනපදයට වඩා ඉදිරියෙන් සිටින රටක්. එසේම, වාචික ලිංගික හිංසනයට එරෙහිව පවා නීති පැනවීම සඳහා ප්‍ර‍ංශය මේ වන විට කටයුතු කරමින් සිටිනවා.   

මෙම සංවාදය ලිංගික හිංසනය පිළිබඳ දැඩි විරෝධය හා ලිංගික නිදහස අතර විවාදයක් බවට පත් වීමට අලුත් තත්වය ඉවහල් වී තිබෙන බවක් පෙනෙනවා. ඒ ඔස්සේ ආදරය හා හිංසනය පිළිබඳ ගැඹුරු සාකච්ඡා අවකාශයක් විවෘත කළ හැකියි.

Views:
684