යාළු මාමා සමග එන ලක්මි නිලංකා

by Ajith
09-Jan-2018

ලක්මි නිලංකා ද සිල්වා මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සිසුවියක්. ඇගේ ගම ධර්ගා නගරයේ මීගමයි. ඇය පාසල් ගියේ බප/මතු/ වලගෙදර නවෝද්‍යා මහා විද්‍යාලයටයි. ඇගේ පියා නමුණුකුල වතු සමාගමේ සේවකයෙක්. මව ගෘහණියක්. ඇයට එක් බාල සොයුරියක් සිටිනවා. ඇය දැනට උසස් පෙළ සිසුවියක්. 

iVoice නැවුම් අදහස් තරගයට ඇය ඉදිරිපත් කළේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් අන්තර්කරණය කිරීම පිළිබඳ වීඩියෝ කතා මාලාවක් නිර්මානය කිරීමේ අදහසකුයි. සියයකට අධික අදහස් අතරින් හොඳම අදහස් 20 අතරට තේරුණු ඇය සිය අදහස අවසන් තරගයේදී සාර්ථකව ඉදිරිපත් කර හොඳම අදහස් 10 අතරට තේරුණා.‍එම අදහස ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය හරහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ඇයට රු. ලක්ෂයක ප්‍රදානයක් කළා. 

ඇගේ වීඩියෝ කතා මාලාව කෙටි වීඩියෝ චිත්‍ර‍පට හතරකින් සමන්විතයි. යාළු මාමා නම් ප්‍ර‍බන්ධ චරිතයක් විසින් විවිධ වයස් කාණ්ඩවල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරු දැරියන් සෙසු දරු දැරියන් සමග එක් කර ඉගැන්වීම සිදු කරන ආකාරය පිළිබඳ මෙම වීඩියෝවේ පැහැදිලි කෙරෙනවා. එය විශේෂයෙන් ම ගුරුවර ගුරුවරියන්ටත්, මව්පියන්ටත් ප්‍රයෝජනවත්.

“විශේෂයෙන් මඅඩු මානසික වර්ධනයක් සහිත දරුවන් සෙසු දරුවන් සමග එක් කිරීමේදී එම දරුවන් මෙන් ම, සාමාන්‍ය දරුවන් ද ගැටලුවලට මුහුණ දෙනවා. ඇතැම් මව්පියන් ඒ දෙස බලන ආකාරයත් ගැටලු සහගතයි. මේ පිළිබඳව ගුරුවරුන්ටත් ගැටලු තිබෙනවා. විශේෂඥ දැනුමක් සහිත සම්පත් දායකයන් යොදාගෙන මෙම අභියෝගය ආමන්ත්‍ර‍ණය කරන ආකාරය සාකච්ඡා කිරීම තමයි මෙම වීඩියෝ කතා මාලාවේ අරමුණ," යි ලක්මි පවසනවා.

පාසලෙන් පිට වීමෙන් අනතුරුව සුනෙර පදනමේ ක්‍රියාකාරකම්වලට සහභාගි වීම නිසා ලක්මි මේ ක්ෂේත්‍ර‍ය ගැන උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. පසුව යාළුවෝ සමූහය සමග එක්ව වැඩ කළ ඇය මෙම වීඩියෝ කතා මාලාව නිර්මානය කරන්නේ ඔවුන් සමගයි. 

ඇගේ සමාජ විද්‍යා උපාධි නිබන්ධනය සඳහා පර්යේෂණය සඳහාත් ඇය තෝරාගෙන තිබෙන්නේ මෙම මාතෘකාවයි. 

iVoice නැවුම් අදහස් තරගය හරහා ලක්මි නිලංකා ද සිල්වා සිදු කළ මෙම සත්කාර්යය සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාගේ, සමාජ විද්‍යා අංශයේ ආචාර්ය මණ්ඩලයේ හා වෘත්තීය මාර්ගෝපදේශ ඒකකයේ සහයෝගය ලැබුණා. ඒ පිළිබඳ අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පැවසුවේ ශිෂ්‍ය විෂය බාහිර ක්‍රියාකාරකම් හා නිර්මානශීලිත්වය අගයමින් මෙවැනි ක්‍රියාකාරකම්වලට මහත් සතුටින් දිරි දෙන බවයි. 

පහත පළ වන්නේ ඇගේ වීඩියෝ කතා මාලාවයි. . 

 

Views:
1427