පොදු ප්‍ර‍වාහනයේ කාන්තා හිංසනය වැළැක්වීමට වැඩ කරන දමිත්

by Ajith
11-Dec-2017

දමිත් චන්දන මහනුවර මැද බෝවල පදිංචි 21 හැවිරිදි තරුණ සිසුවෙක්. අ.පො.ස. උසස් පෙළ වානිජ විෂයයන් හැදෑරූ ඔහු දැන් උසස් අධ්‍යාපනය ලබනවා. ඒ අතරතුර විශේෂයෙන් ම මහනුවර ඇමරිකන් මධ්‍යස්ථානය සමග එක් වී සමාජ සේවා කටයුතුවලත් යෙදෙනවා. 

ඔහු නිතර ම ගමනාගමනය සඳහා පොදු ප්‍ර‍වාහනය භාවිතා කරන කෙනෙක්. ඔහුගේ පියා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. මව ගෘහනියක්. නැගනිය ද උසස් පෙළ විභාගය සඳහා ඉගෙන ගනිමින් ඉන්නවා. ගෙදර වාහනයක් තිබුණත්, මේ කවුරුත් පොදු ප්‍ර‍වාහනය භාවිතා කරන බවයි දමිත් පවසන්නේ. 

2015 වසරේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වූ පරිදි, ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් හා ගැහැනු ළමයින් 100දෙනෙකුගෙන් ම 90දෙනෙක් ජීවිතයේ කිසියම් අවස්ථාවකදී  පොදු ප්‍ර‍වාහනයේදී ලිංගික හිංසනයට ලක් වීී තිබෙනවා. 

පොදු ප්‍ර‍වාහනයේදී කාන්තාවන්ට සිදු වන හිංසනය පිළිබඳ දමිත් සංවේදීයි. “මම දැකලා තිබෙනවා යම් යම් හිංසාවන් සිදු වෙනවා. ඒත්, එවැනි අවස්ථාවලදී හිංසනයට ලක් වන අය ඇතැම් විට බිය හා ලජ්ජාව නිසා නිහඬ වෙනවා. නැතිනම්, පෞද්ගලික මට්ටමෙන් විතරක් ප්‍ර‍තිචාර දක්වනවා. සමාජයේ හා නීතියේ රැකවරණය ඉල්ලා සිටින පිරිස අඩුයි. ඔවුන් ඒ පිළිබඳ දැනුවත් නැහැ," යි දමිත් පවසනවා. 

සම වයස් තරුණ තරුණියන් සමග සමාජ ක්‍රියාකාරකම්වල යෙදෙන දමිත්ට iVoice නැවුම් අදහස් තරගය පිළිබඳ දැන ගන්නට ලැබුණේ ෆේස්බුක් හරහායි. එමගින් තමන් ජීවත් වන ප්‍ර‍ජාව මුහුණ දෙන සමාජ ගැටලුවක් විසඳීම සඳහා නිර්මානාත්මක අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණා. iVoice මගින් මහනුවරදී පවත්වන ලද වැඩමුළුවකට ද සහභාගි වූ දමිත් සිය අදහස ඉදිරිපත් කළේ පොදු ප්‍ර‍වාහනයේදී කාන්තාවන් මුහුණ දෙන හිංසනය වළක්වා ගැනීම පිළිබඳවයි. 

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමටත්, ප්‍ර‍ජාවගේ අදහස් මත පදනම්ව වීඩියෝවක් නිර්මානය කිරීමටත් දමිත් යෝජනා කළා. එම අදහස තරගයට ඉදිරිපත් කරන ලද සියයකට වැඩි අදහස් ගණනක් අතරින් හොඳම අදහස් 20 අතරට තේරුණා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේත්, ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේත් අනුග්‍ර‍හයෙන් කොළඹදී පවත්වන ලද නේවාසික වැඩමුළුවකදී ඔවුන්ට සිය අදහස ප්‍රායෝගික ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දුන්නා. අවසානයේදී තරගයේ හොඳම අදහස් 10 අතරට දමිත්ගේ අදහසත් තේරුණා. එය ක්‍රියාත්මක කිරීමට ඔහුට එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල විසින් රු. 100,000/=ක මූලික ප්‍රාග්ධනයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දුන්නා. 

දමිත් මහනුවර ප්‍රදේශයෙන් තෝරා ගත්, වයස අවුරුදු 14-25 අතර වියේ නව යොවුන් වියේ හා තුරුණු වියේ, විවිධ ජාති, ආගම්වලට අයත් ප්‍ර‍ජාවක් පොදු ප්‍ර‍වාහනයේ සිදු වන කාන්තා හිංසනය පිළිබඳ දැනුවත් කළා. ඔහුට ඒ සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය විජය ජයතිලකගේ හා මහනුවර ඇමරිකන් කෝනර් සහයෝගය ලැබුණා. 2017 නොවැම්බර් 26දා පවත්වන ලද මෙම වැඩවුළුවේ ප්‍රායෝගික සැසියේදී සහභාගිකයන් මෙම ප්‍ර‍ශ්නය ආමන්ත්‍ර‍ණය කළ හැකි ආකාරයන් පිළිබඳ යෝජනා ද ඉදිරිපත් කළා. 

“මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම මට අතිශය වටිනා අත්දැකීමක් වුණා. මේ මා එවැන්නක් සංවිධානය කිරීමට මූලිකත්වය ගත් පළමු අවස්ථාවයි. අප වැනි තරුණයන්ට මෙවැනි ජීවන අත්දැකීම් ඉතා වැදගත්." දමිත් පවසනවා. 

දමිත්ගේ වීඩියෝ චිත්‍ර‍පටය නිර්මානය වෙමින් තිබෙන්නේ මෙම අදහස් පාදක කරගෙනයි. දැන් එය අවසන් නිෂ්පාදන කටයුතුවලයි තිබෙන්නේ. අමුතු ක්‍රියේෂන්ස් ආයතනය ඔහුට ඒ සඳහා උපකාර කළ බව දමිත් පැවසුවා.  

එය නොබෝ දිනකින් නිකුත් වේවි. . 

 

Views:
727