දිගන ගිය ගමන

by Ajith
10-Aug-2018

ලෝක තරුණ දිනයේ අප සිටියෙ දිගන. දිගන කිව්වාම එකපාරට ම මතක් වෙන්නෙ පසුගිය මාර්තුවේදී ඇති වූ වාර්ගික කලබල. මේ ජාතිවාදී කලබලවලින් තරුණයන් දෙදෙනෙකුගේ ජීවිත විනාශ වුණා. එපමණක් නෙමෙයි, මේ වාර්ගික කලබල ඇතිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරත් බහුතරයක් දෙනා තරුණයන්. 

2018 අගෝස්තු 12දා දිගනදී පැවැත්වුණු Youth4Youth තරුණ වැඩසටහනේදී අප කතා කළේ තරුණයන්ට සුරක්ෂිත අවකාශ පිළිබඳවයි. මෙම වසරේ ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව වුණේ ප්‍ර‍කාශනයේ නිදහසට, අන්‍යෝන්‍ය ගරුත්වයට සහ සාධනීය සංවාදයට ඉවහල් වන පරිදි තරුණයන් වෙනුවෙන් සුරක්ෂිත අවකාශ නිර්මාණය කිරීමේ වැදගත්කමයි. 

තරුණ ජනයාට එක්සත්ව තම අදහස් නිදහසේ ප්‍ර‍කාශ කිරීමටත්, ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සහ රුචිකත්වයන් හා සම්බන්ධ කටයුතුවල නිමග්න වීමට සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිවලට සහභාගි වීමටත් තරුණ ජනයාට සුරක්ෂිත අවකාශ අවශ්‍යයි. තරුණ ප්‍ර‍ජාවට සමාජ කටයුතුවල අරුත්බර ලෙස සහභාගි වීමට තිබෙන හැකියාව සමාජාර්ථික සහ දේශපාලන පරිසරය මත රඳා පවතියි. සුරක්ෂිත අවකාශ නොමැති වුවහොත්, විවිධ පසුබිම්වලින් පැවත එන තරුණ පුද්ගලයන්ට තම ප්‍ර‍ජාව වෙනුවෙන් කළ යුතුව තිබෙන දායකත්වයන් නිදහස් ලෙස කිරීමට නොහැකි වීම නිසා කලකිරීම් ඇති විය හැකියි.

Youth4Youth මධ්‍යම පළාත් සම්භාෂණයට මධ්‍යම පළාතේ දිස්ත්‍රික් තුනෙන් ම 80කට වැඩි තරුණ තරුණියන් පිරිසක් සක්‍රිය ලෙස සහභාගි වුණා.  අදහස් යා කරමින්, ප්‍ර‍ජාවන් ගොඩනගමින් ශ්‍රී ලංකාවේ තිරසර සාමයක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී සාමය ගොඩනැගීමෙහිදී තරුණයන්ගේ සාධනීය භූමිකාව පිළිබඳ කතා කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකේන් මහත්මිය මෙසේ පැවසුවා: “තරුණයන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩා සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සහ සුරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක වීමේ වැදගත්කම ඉස්මතු කරන අවස්ථාවක් ලෙස මෙම වසරේ පැනනැගුණු වාර්ගික ප්‍ර‍චණ්ඩකාරිත්වය සැලකිය හැකියි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අප වෙහෙස වන්නේ සෑම තරුණයකුගේ ම හැකියාවන් පූර්ණත්වයට පත් කිරීම වෙනුවෙනි. මේ වනාහි Youth4Youth වැඩසටහනෙහි අරමුණයි. සාමකාමී ප්‍ර‍ජාවන් ගොඩනැගීමට නම් තරුණ ජනයා සාමයේ හවුල්කරුවන් ලෙස සැලකිය යුතුයි. වෙනස්කම් කිරීම පිළිබඳ බියකින් තොරව ක්‍රියාකාරී වීමට තරුණ ප්‍ර‍ජාව වෙනුවෙන් සුරක්ෂිත අවකාශ ඇති විට, ඔවුන්ට සාමය හා සමාජ ඒකාබද්ධතාව වෙනුවෙන් දායක වීමේ වඩා හොඳ අවස්ථාවක් ලැබෙනවා.”

මෙම සම්භාෂණය නිමිති කරගෙන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ හවුල්කාර සංවිධානයක් වන ක්‍රිසැලිස් සංවිධානය විසින් සමීක්ෂණයක් කරන ලදී. ක්‍රිසැලිස් යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා තරුණයන් බලසතු කිරීම සඳහා ක්‍රියා කරන සමාජ ව්‍යවසායක් වන අතර මෙම සමීක්ෂණයේ අරමුණ වූයේ සාමය ගොඩනැගීමට අදාළව මධ්‍යම පළාතේ තරුණ ප්‍ර‍ජාව මුහුණ දෙන ගැටලු හා ඔවුන්ට තිබෙන අවස්ථා හඳුනාගැනීමයි.

මෙම සමීක්ෂණයේදී තරුණයන් මුහුණ දෙන ප්‍ර‍ධාන ගැටලු 14ක් හඳුනාගනු ලැබුවා. තරුණයන් මේ ගැටලු තවදුරටත් විශ්ලේෂණය කරමින් ගැටලු ගසක් නිර්මාණය කළා. ඉන් අනතුරුව ඒ අතරින් වැදගත් ම කරුණු දෙකක් තෝරාගෙන ඒවාට කෙටිකාලීන හා දීර්ඝකාලීන විසඳුම් සාකච්ඡා කර ඒවා මධ්‍යම පළාතේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට ඉදිරිපත් කළා. මධ්‍යම පළාත් තරුණ ප්‍ර‍තිපත්තියක් වෙනුවෙන් උද්දේශනය කිරීම තමයි එහි අරමුණ. 

 

Views:
454