ජයන්ති කුරුඋතුම්පලට ශ්‍රී ලංකාවේ හිමි වන උතුම් ස්ථානය කුමක් ද?

by iVoice Staff
23-Jun-2016

කාන්තාවන් ක්‍රීඩාවෙන් කැපී පෙනෙන විට, ස්ත්‍රී පුරුෂ සමාජ ඒකාකෘති පොඩිපට්ටම් වනු ඇත. – එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය

ජයන්ති කුරුඋතුම්පල ගැන බොහෝ සටහන් පසුගිය දිනවල ලියැවිණි. ඇය එවරස්ට් කඳු මුදුනට ගිය පළමු ශ්‍රී ලාංකික කාන්තාවයි.

අප මෙම සටහනින් උත්සාහ කරන්නේ ඇගේ ජයග්‍ර‍හණය සමාජයීය වශයෙන් වැදගත් වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

37 හැවිරිදි ජයන්ති 1979දී දෙහිවලදී උපත ලැබුවා ය. ඇය උපදින්නට සිව් වසරකට පෙර 1975දී ජපන් ජාතික කඳු නගින්නියක වන ජුන්කෝ තාබෙයි (Junko Tabei) එවරස්ට් තරණය කළ ලොව පළමු කාන්තාව වූවා ය. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝගේ පළමු වරට එවරස්ට් කඳු මුදුන තරණය කළේ 1953දී ය. 2015 වනවිට කාන්තාවන් 400කට වඩා එවරස්ට් තරණය කර ඇත. 2014 මැයි මස එහි ගිය මලවත් පූර්ණා නම් අවුරුදු 13යි මාස 11ක් වයස ඉන්දියානු දැරිය මේ හපන්කම කළ ළාබාලම කාන්තාවයි. එවරස්ට් නැගීමට සමත් වූ වයස්ගතම කාන්තාව වන්නේ ජපන් ජාතික තමායි වතනාබේ ය. 2012දී වයස 73ක්ව සිටියදී ඇය දෙවන වරට එවරස්ට් නැංගා ය.

කොළඹ බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ජයන්ති කුරුඋතුම්පල දිල්ලි සරසවියෙන් පළමු උපාධිය ලබා ගත්තා ය. පසු කලෙක කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ සේවය කළ ඇය සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් සමාජ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ශාස්ත්‍ර‍පති උපාධියක් ලබා ගත්තා ය.

ඇය සමාජ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අධ්‍යාපනය ලද එසේම කාන්තා ක්‍රියාකාරිනියක ලෙස සේවය කර අත්දැකීම් ලැබූ අයෙකු වීම සුවිශේෂ තත්වයකි.

කුඩා කල සිට ම ක්‍රීඩාවෙහි දස්කම් දැක්වූ ඇය ඉන්දියාවේදී ඩාජිලිංහි හිමාලයානු කඳුනැගීමේ ආයතනයේ කඳු නැගීමේ මූලික හා උසස් පුහුණු පාඨමාලා හදාරා ඉන් පසු රට රටවල විවිධ කඳු නගිමින් කුඩා කල සිට ඇගේ සිතෙහි තිබූ සිහිනය සැබෑ කර ගන්නට අවශ්‍ය පසුබිම සකස් කර ගත් කාන්තාවකි.

ඒ වෙනුවෙන් ඇය අධ්‍යයනය කළ ආකාරය, පුහුණුවීම් සිදු කළ ආකාරය, අත්දැකීම් ලබා ගත් ආකාරය, පුද්ගලයන් සමග ජාලගත වූ ආකාරය, අරමුදල් සම්පාදනය කර ගත් ආකාරය ආදිය පසුපස දැවැන්ත කාන්තා ව්‍යවසායකත්වයක් ද තිබේ. ඇගේ ගමනේ වැදගත් මං සලකුණු කීපයක් මෙසේ ය:

2003, 2004 – ඩාජිලිංහි හිමාලයානු කඳුනැගීමේ ආයතනයේ කඳු නැගීමේ පුහුණු පාඨමාලා හැදෑරීම

2003 – ශ්‍රී ලංකාවේ බෝඩර්ලෑන්ඩ් නම් ත්‍රාසජනක ක්‍රීඩා ආයතනය සමග එක්ව වැඩ කරමින් අත්දැකීම් ලබා ගැනීම

2005 – කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සමග එක් වීම

2008 – බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේදී සමාජ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ශාස්ත්‍ර‍පති උපාධිය හදාරන අතරතුර සතියට තුන් දිනක් බැගින් පර්වත නැගීම පුහුණු වීම

2012 – ජෙහාන් පෙරේරා හඳුනා ගැනීම හා නේපාලයේ අයිලන්ඩ් පීක් කඳු මුදුන තරණය කිරීම

2014 – ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කන්ද නැගීම

2015 – එවරස්ට් නැගීම සඳහා අරමුදල් සෙවීම ආරම්භ කිරීම

2016 මැයි 21 පෙ.ව. 5ට – එවරස්ට් කඳු මුදුන තරණය කිරීම

එවරස්ට් තරණය අති භයානක, අති දුෂ්කර කාර්යයකි. ඒ සඳහා දැවැන්ත කායික හා මානසික ශක්තියක් අවශ්‍ය ය. 2015 වසර අවසන් වන විට එවරස්ට් තරණයට උත්සාහ කළ 6958ක් අතරින් 275ක් මිය ගොස් තිබේ. 2015දී කඳු නගින්නන් 22ක් ගිරිහිම නිපාතයක් හෙවත් ඇවලන්ච් තත්වයක් හේතුවෙන් මූල කඳවුරේදී වැළලී ගිය හ. (ඩේලි මේල්)

එවරස්ට් තරණය සඳහා දැවැන්ත වියදමක් ද දරන්නට සිදු වේ. එක් අයෙකුට වියදම ඩොලර් 44,000ක් පමණ වන අතර ඔක්සිජන්, හෙලිකොප්ටර් ආදී වියදම් ඇතුළුව කඳු නැගීමේ වියදම පමණක් ඩොලර් 11,000කි. ඇය සමග එවරස්ට් නැගීමට එක් වූ ‍කණ්ඩායම් සාමාජික ජොහාන් පීරිස් ඒ සඳහා පහසුකම් සපයා ගත්තේ කඳු තරණයෙහි හසළ International Mountain Guides (IMG) සමාගමෙනි. එවරස්ට් මුදුන වෙත ඇය රැගෙන ගියේ ඇං කර්ම නම් ෂර්පාවරයා ය. ඔහු මේ එවරස්ට් තරණය කළේ සිව්වන වරටයි.

එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පල සමාජ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ගැඹුරින් හැදෑරූ ස්ත්‍රියක වීම වැදගත් කාරණයකි.

පීතෘ මූලිකත්වයේ නැගීම හා ස්ත්‍රිය සමාජයීය වශයෙන් දුබලභාවයට පත් කිරීම පිළිබඳව ද, ස්ත්‍රී ශරීරය දුර්වලත්වයට පත් කිරීම පිළිබඳව ද මාරියා මීස් වැනි ස්ත්‍රීවාදී දාර්ශනිකයන් සවිස්තරව විග්‍ර‍හ කර තිබේ. පීතෘමූලිකත්වය සමග සාමය ස්ත්‍රියට එරෙහි යුද්ධයකැයි මාරියා මීස් සඳහන් කළා ය.

ජයන්ති කුරුඋතුම්පල ඉතිහාසය තුළ ස්ථානගත වන්නේ ස්ත්‍රියගේ ශාරීරික හා මානසික ශක්‍යතාවන් ගැන ගතානුගතික පීතෘමූලික සංකල්ප වැරදි බව ඔප්පු කිරීමට දායක වූ කාන්තාවක ලෙස ය.

කාන්තාවන්ටත්, ගැහැනු ළමයින්ටත් ඇගේ පණිවුඩය ඇය එවරස්ට් තරණයට පෙර සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ තෙපළා ය: “ඔබ උත්සාහ කර, ඔබ විසින් ම තීරණය කරන තෙක්, ඔබට  යම් දෙයක් කළ නො හැකි යයි කියන්නට කිසිවෙකුට ඉඩ දෙන්න එපා. ඔබ ගැන විශ්වාස තබන්න. ඔබේ සිහින හඹා යන්න.” 

අජිත් පැරකුම් ජයසිංහ

(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)

Views:
3262

2017

1 votes
Training prigramme about hiking
The problem
As sri lankans we have to do incentive scheme to hiking.most of young people are like to do such adventure things.but most of them dont have a training for that type of things.they ara affraid of it.if we can do such a training programme we can make lots of well talanted hikers.we have to get support from a instructor and we have to do an adventure camp..then we can make a hiking series after that and after sometimes they will do it as they can..
The solution
As sri lankans we have to do incentive scheme to hiking.most of young people are like to do such adventure things.but most of them dont have a training for that type of things.they ara affraid of it.if we can do such a training programme we can make lots of well talanted hikers.we have to get support from a instructor and we have to do an adventure camp..then we can make a hiking series after that and after sometimes they will do it as they can..
Budget

100000

by Ravindu