කොළඹ නගර සභා ශාලාව තැඹිලි පාට වුණේ ඇයි?

by Ajith
26-Nov-2018

මේ දිනවල රාත්‍රියේ ඔබ කොළඹ නගර ශාලාව අසලින් ගියොත් එය තැඹිලි පාටින් ආලෝකවත් කර තිබෙන ආකාරය දැකගත හැකියි. කොළඹ නගර ශාලාව තැඹිලි පාටින් ආලෝකවත් කර තිබෙන්නේ ඇයි ද කියා ඔබ දන්නවා ද?

තැඹිලි පාට හැදෙන්නේ රතු පාට සහ කහ පාට එක් වීමෙන්. රතු පාට ශක්තිය සංකේතවත් කරනවා. කහ පාට සතුට සංකේතවත් කරනවා. තැඹිලි පාට ශක්තියේත්, සතුටේත් පැහැය ලෙස සැලකිය හැකියි. ඒ නිසා තැඹිලි පාට කාන්තාවන් බලසතු කිරීමෙහිදී සංකේතාත්මක අරුත් දීම සඳහා භාවිතා වන පැහැයක්. කාන්තාවන්ට එරෙහි ප්‍ර‍චණ්ඩත්වය අවසන් කිරීමේ අරගලයේදී තැඹිලි පාට සංකේතාත්මකව භාවිතා වෙනවා. 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සෑම වසරකම ලොව පුරා සංකේතාත්මක වැදගත්කම් සහිත ගොඩනැගිලි තැඹිලි පැහැයෙන් වර්ණවත් කරනවා. මෙවර ශ්‍රී ලංකාව කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රහයෙන් මෙම දින 16 තුළ කොළඹ නගර ශාලාව තැඹිලි පැහැයෙන් ආලෝකවත් වෙනවා. එහි අරමුණ වන්නේ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමයි.

සෑම වසරකම නොවැම්බර් 25 දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ සිට දෙසැම්බර් 10දාට යෙදෙන මානව හිමිකම් දිනය දක්වා දින 16 ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය ලෙස සැලකෙනවා.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, සිවිල් සමාජය සහ ක්‍රියාධරයන් එක්ව මේ පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට මේ දින 16 විශේෂයෙන් භාවිතා කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. “කුමන දේශපාලන වාතාවරණයකදී වුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය දිගට ම සිදු වේ. එය නතර කළ යුතු ය. ශ්‍රී ලංකාව තුළත්, ලොව පුරාමත් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය නොඉවසීමේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි වැඩ කරන්නෙමු. කිසිවකු නොසලකා හැරීමට ලක් නොවන බව තහවුරු කිරීම අපගේ අරමුණයි,” යි එක්සත්ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකේන් මහත්මිය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ප්‍රකාශ කළා ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය යනු සමාජ, ආර්ථික, ජාතික සීමා මායිම් නැති පුළුල්ව පැතිරුණු ප්‍රශ්නයක්. ලොව පුරා කාන්තාවන්ගෙන් තුනෙන් එකක් ම තම ජීවිත කාලය තුළදී ශාරීරික හෝ ලිංගික වශයෙන් කිසියම් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් අත්විඳ තිබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය ආරම්භ කරනු ලැබුවේ 1991දී ය. එයට මුලපුරනු ලැබුවේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ ගෝලීය නායකත්වය සඳහා කාන්තා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද කාන්තාවන්ගේ ගෝලීය නායකත්වය සඳහා වන පළමු ආයතනයේදී ය.  

මෙම දින 16 අතරතුරදී කාන්තාවන්ට වැදගත් වන තවත් දින කීපයක් යෙදේ. 

නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දින

නොවැම්බර් 29 – ජාත්‍යන්තර කාන්තා මානව හිමිකම් ආරක්ෂකයන්ගේ දිනය 

දෙසැම්බර් 1 – ලෝක AIDS දිනය

දෙසැම්බර් 5 – ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර ස්වේච්ඡා සේවක දිනය

දෙසැම්බර් 6 – කැනඩාවේ කාන්තාවන්ට එරෙහි ක්‍රියා අනුස්මරණය කරන ජාතික දිනය හෙවත් මොන්ට්‍රියල් සමූලඝාතනයේ සංවත්සරය

දෙසැම්බර් 10 – ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සහ විශ්ව මානව හිමිකම් ප්‍ර‍කාශයේ සංවත්සරය 

Views:
925