කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග යාම වැඩි වුණේ ඇයි?

by Ajith
11-Jan-2019

2017 වර්ෂයට සාපේක්ෂව කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීම 2018 වර්ෂයේදී අඩු විය. එහෙත්, ගෘහ සේවිකා රැකියා සඳහා මැද පෙරදිග යන කාන්තාවන් සංඛ්‍යාව 2017ට සාපේක්ෂව 2018දී 13%කින් වර්ධනය වී තිබේ. 

2017දී කාන්තාවන් 68,319ක් විදේශගත වූ හ. 2018දී විදේශගත වූයේ කාන්තාවන් 66,971ක් පමණි. 

එහෙත්, 2017දී ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වූ කාන්තාවන් සංඛ්‍යාව 55,884ක් වෙද්දී, 2018දී එම සංඛ්‍යාව 64,695ක් දක්වා වැඩි වී තිබේ. 

2018දී රැකියා සඳහා විදේශගත වූ ලාංකිකයන් අතරින් 31.7%ක් කාන්තාවෝ ය. විදේශ රැකියා සඳහා පිටත් වන කාන්තාවන්ගෙන් 95%ක් පමණ යන්නේ ගෘහ සේවිකා රැකියා සඳහා ය. 2017දී රැකියා සඳහා විදේශගත වූ කාන්තාවන් අතර ගෘහ සේවිකාවන් සිටියේ 82%ක් පමණි.

විශේෂයෙන් ම ගෘහ සේවිකා රැකියා සඳහා කාන්තාවන් විදේශගත වීම අධෛර්ය කරන්නට පසුගිය කාලයේ රජය විසින් බැරෑරුම් පියවර ගන්නා ලදී. එහෙත්, පුහුණු ශ්‍ර‍මිකයන් ලෙස කාන්තාවන් විදේශ රැකියා සඳහා යාම දිරිගැන්වීමේ උවමනාවක් රජයට තිබිණි. එය සිදු වී නැත. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ අඩු වැටුප් ලැබෙන නුපුහුණු ශ්‍ර‍මය සඳහා කාන්තාවන් සංක්‍ර‍මණය වීම වැඩි වීම පමණි. 

2013දී විදේශ රැකියා ප්‍ර‍වර්ධන හා සුබසාධන අමාත්‍යාංශය විසින් වැදගත් චක්‍රලේඛ දෙකක් නිකුත් කරන ලදී. පළමුවැන්න ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතනවලට වන අතර දෙවැන්න නිකුත් කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ය. 2014 ජනවාරි සිට ක්‍රියාත්මක කරන ලද මෙම චක්‍රලේඛ මගින් ගෘහ සේවා ක්ෂේත්‍රයේ විදේශ රැකියා අපේක්ෂා කරන සියලු කාන්තාවන් විසින් පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන ලදී.

කාන්තා විදේශ ගෘහ ශ්‍ර‍මිකයන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හා සත්කාරකත්වය ගැන වැඩි අවධානයක් යොමු කරමින් තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව තහවුරු කිරීම මෙම පවුල් පසුබිම් වාර්තාවේ ඉලක්කය විය. එමගින් වයස අවුරුදු පහට අඩු කාන්තාවන් විදේශ ගෘහ සේවිකාවන් ලෙස සංක්‍ර‍මණය වීම වළක්වන ලදී. වයස අවුරුදු පහට වැඩි දරුවන් සිටින කාන්තාවන්ට ද විදේශ ගෘහ සේවක රැකියා සඳහා සංක්‍ර‍මණය වීමට අවසර ලැබෙන්නේ දරුවන් රැක බලා ගැනීමට සෑහීමට පත් විය හැකි වැඩපිළිවෙලක් යොදන්නේ නම් පමණි.

එසේම, පළමු වරට විදේශ ගෘහ සේවිකා රැකියාවක් සඳහා සංක්‍ර‍මණය විය හැක්කේ වයස අවුරුදු 55ට අඩු කාන්තාවන්ට පමණි. එසේම සවුදි අරාබියට යා හැක්කේ වයස අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට පමණි. අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවම වයස අවුරුදු 23කි. සෙසු රටවල් සඳහා 21කි.

පවුල් පසුබිම් වාර්තාව සඳහා ග්‍රාම නිලධාරිවරයාගේ, මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ, රැකියා නියෝජිතායතනයේ, ස්වාමි පුරුෂයාගේ, දරුවන්ගේ භාරකරුගේ (භාරකරු පියා නොවේ නම්) අවසර අවශ්‍ය ය. අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංක්‍ර‍මණය හා සම්බන්ධ සංවර්ධන නිලධාරිවරයා සතුව ය.

මෙම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස 2013 වසරට සාපේක්ෂව 2014 වසරේදී කාන්තා ශ්‍ර‍මිකයන් විදේශ රැකියා සඳහා යාම 6.4%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍ර‍කාශක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා 2015 මාර්තු මස මාධ්‍යවලට පැවසී ය. විදේශ රැකියාවලට පිටත් වීමට පෙර පැවැත්වෙන පුහුණුවීම්වලට කාන්තාවන් සහභාගි වීම ද 34%කින් අඩු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. (http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=121726)

පවුල් පසුබිම් වාර්තාව සම්බන්ධයෙන් විවේචනයක් ද ඇත. පිරිමියා විදේශ රැකියාවකට යද්දී ඒ පිළිබද තීරණය ගැනීමේ ක්‍රියාවලියට පවුල් පසුබිම් වාර්තාව හෝ වෙනත් එවැනි නීතිමය බාධක නොමැති සංදර්භයක් තුළ කාන්තාවට පමණක් එවැනි සම්බාධක පැනවීම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ විෂමතාවකි. එසේම කාන්තාවගේ භූමිකාව සම්ප්‍ර‍දායික ආකෘතියක් තුළ සිර කිරීමට ද, පවුල හා මාතෘත්වය පිළිබද පීතෘමූලික දැක්ම ස්ථාපිත කිරීමට ද මෙය ඉවහල් වේ.

මූතූර්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකික දිළිඳු ගැහැණු ළමයකු වූ රිසානා නෆීක් 2005දී ගෘහ සේවිකාවක ලෙස සවුදි අරාබිය වෙත යවනු ලැබුවේ ඇයට වයස අවුරුදු 17ක් වෙද්දී ය.  එසේ යවනු ලැබුවේ ඇගේ වයස අවුරුදු 21ක් ලෙස දක්වන ලද ව්‍යාජ ගමන් බලපත්‍ර‍යක් උපයෝගී කර ගනිමිනි.

එහිදී ඇය විසින් කිරි පොවමින් සිටි දැරියක කිරි හිර වී මිය යාම නිසා මිනීමැරුම් චෝදනාවට ලක් වූ රිසානා 2009දී හිස ගසා මරා දමන ලදී. ඒ වන විට ද ඇය 21 හැවිරිදි වූවා ය.

(කවරයේ ඡායාරූපය: වයස අවුරුදු 14ක් ව සිටියදී, ඇගේ වයස 25ක් ලෙස සඳහන් කරන ලද ව්‍යාජ ගමන් බලපත්‍ර‍යක් භාවිතා කරමින් කුවේටයේ ගෘහ සේවිකා රැකියාවකට යවන ලද මඩකලපුවේ ඔට්ටමාවඩිහි පදිංචි මොහොමඞ් අලියාර් කයිරුනිසා අවුරුදු ගණනාවක් ම වැටුප් රහිතව කුවේට්හි නීති විරෝධී අන්දමින් සේවයෙහි යෙදවීමෙන් අනතුරුව 2016දී ලංකාවට පැමිණියා ය. කුවේට් තානාපති කාර්යාලයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් ඇගේ හිඟ වැටුප් ලබා දුන් ආකාරය ඡායාරූපයේ දැක්වේ.)

Views:
3483