ඉරාජ්ගේ ක්ලියෝපැට්‍රා, දූෂණය හා කාන්තා හිංසනය

by Ajith
19-Jul-2017

ඉරාජ්ගේ ක්ලියෝපැට්‍රා සංගීත වීඩියෝ චිත්‍ර‍පටය පිළිබඳ සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වී තිබේ. සංගීත වීඩියෝ සහ යූටියුබ් චිත්‍රපට යනු දැන් තවත් එක් කලා ෂානරයක් හෙවත් චිත්‍රපට, ටෙලිනාට්‍ය වැනි තවත් කලා නිර්මාන විශේෂයකි. ඒවා විචාරයට ලක් කිරීම සඳහා වෙනම මිනුම් දඬු අවශ්‍ය වන්නට පුළුවන.  

ඉරාජ්ගේ වීඩියෝවෙහි, එහි නිර්මානශීලිත්වයෙහි, එයින් ඉදිරිපත් කරන කතාවෙහි හා සාකච්ඡා කරන තේමාවෙහි කිසිදු විශේෂත්වයක් හෝ සුවිශේෂ නිර්මානශීලිත්වයක් හෝ නැත. 

එම සංගීත වීඩියෝවෙහි රාත්‍රී සමාජශාලා රැකියාවක් හෝ ලිංගික ශ්‍ර‍මික වෘත්තියක හෝ යෙදී සිටින බව පෙනෙන කාන්තාව ක්ලියෝපැට්‍රා ලෙස නම් කිරීම ක්‍රි.පූ. පළමු සියවසේ ඊජිප්තුවේ ජීවත් වූ රැජිනක වන ක්ලියෝපැට්‍රාගේ චරිතය සමග කිසිදු සම්බන්ධයක් නැත. 

ක්ලියෝපැට්‍රා නම රැගෙන තිබෙන්නේ ඉතිහාසයෙන් නම්, එසේ කර තිබෙන්නේ ක්ලියෝපැට්‍රා චරිතය සම්බන්ධයෙන් ඇති ඓතිහාසික කියවීම් පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව ය. 

ඉතිහාසයේ සඳහන් ක්ලියෝපැට්‍රා වනාහි බලය, දේශපාලනය, උපායශීලිත්වය, අවිශ්වසනීයත්වය, කෘරත්වය, ආධිපත්‍යය, ආකර්ශනීයත්වය සමග සම්බන්ධ වන චරිතයකි. 

එහෙත්, ඉරාජ්ගේ සංගීත වීඩියෝවේ ක්ලියෝපැට්‍රා ලෙස හැඳින්වෙන්නේ අසරණ, පීඩිත ලිංගික ශ්‍ර‍මික කාන්තාවකි. ඇය කෘර දූෂණයක වින්දිතයකු ද වන්නී ය. ක්ලියෝපැට්‍රා හුදු නමක් පමණි.

මෙවර ඉරාජ්ගේ වීඩියෝව කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබෙන්නේ එහි තිබෙන පරපීඩාකාමුක දර්ශන හා ඒ මත පදනම් වන සීමාන්තික ප්‍ර‍චණ්ඩත්වය නිසා ය. 

එපමණක් නොව, එවැනි කටයුතු වෙනුවෙන් භාවිතා කරන ගැග් බෝල්ස් හා කස වැනි ලිංගික ක්‍රීඩා භාණ්ඩ ද එහි ප්‍රදර්ශනය වේ.

එම වීඩියෝවේ දර්ශන කිසිදු ආකාරයකට ගීතය සමග ද සම්බන්ධ බවක් නො පෙනේ. පදමාලාවේදී ලිංගික ශ්‍ර‍මිකයන් කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියකින් බලන ඉරාජ්, වීඩියෝවෙහිදී ගොඩනගන්නේ පරපීඩාකාමුකත්වය නිසා සිදු වන විනාශයක් පිළිබඳ කතාවකි. 

මේ කතා දෙක අතර නිර්මානාත්මක සමෝධානයක් හෙවත් පෑහීමක් නැත. 

පරපීඩා හා ස්වපීඩා කාමුකත්වයන් ඇති පුද්ගලයන් අතර අවබෝධාත්මක සම්බන්ධකම් පැවතිය හැකි මුත්, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ පරපීඩා කාමුකයකුගේ ස්ත්‍රී දූෂණයකි. 

වඩා කතාබහට ලක් විය යුතු කරුණු වන්නේ මෙම වීඩියෝවෙන් කාන්තා හිංසනය ප්‍ර‍වර්ධනය වීමයි.   ඊට අමතරව එහි කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි වෙනත් ප්‍ර‍චණ්ඩ ක්‍රියා ද අඩංගු වේ. මූලික ගැටලුව වන්නේ මේ කිසිවක් නිර්මානාත්මක ප්‍රකාශනයක් වෙනුවෙන් යොදා ගත් බවක් වීඩියෝවෙන් ප්‍රකාශ නො වීමයි. එබැවින් මෙතැන කලාත්මක ප්‍රකාශනයක් නැත.

මෙහි ඇත්තේ නිර්මානශීලිත්වය හිඳී යාමෙන් ඇති වී තිබෙන හිස් තැන ආන්දෝලනාත්මක රූප රාමු ටිකකින් වසා ගැනීමකි.

මෙය හුදු වානිජ අරමුණු මත ම ප්‍රදර්ශනය කරනු ලබන කාමුකත්වයක්, කාන්තාව ලිංගික භාණ්ඩයක් ලෙස ප්‍රවර්ධනය කිරීමක් හා කාන්තා හිංසනයක් නම්, ඒ පිළිබඳ සමාජය වඩා ගැඹුරින් සිතා බැලිය යුතුව තිබේ.

Views:
1602