අනුන් ලෙස පෙනී සිටීම පිළිබඳ නීතිය හා සංක්‍රාන්ති ලිංගිකයෝ

by Ajith
06-Aug-2018

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට අනූව, යම් පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රි පුරුෂභාවය මත වෙනස් ලෙස සැලකීම, පුද්ගලයකු සතු සමානාත්මතාවට ඇති මුලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි. 

ලෙස්බියානු, ගේ, ද්විත්ව ලිංගික,  සංක්‍රාන්ති ලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයා යනු වරදකරුවන් පිරිසක් නො වේ. එය ඔවුන් මෙලොවට ජනිත වූ ආකාරය වන අතර ඔවුන් රෝගීන් නොව සාමාන්‍ය ජනයා ය. ඔවුන් ආදරය කරන හා සමාජ සම්බන්ධකම් පවත්වන ආකාරය ඔවුන්ගේ අයිතියකි.

එහෙත්, මේ ජනයා තවමත් ලොව පුරා ම විවිධ අඩන්තේට්ටම්වලට ලක් වෙති. ඒ ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ය. 

අයාල ආඥා පනත, ගනිකා නිවාස පනත, සමලිංගිකත්වය හා සම්බන්ධ දණ්ඩ නීති සංග්‍ර‍හයේ අංක 365 අ වගන්තිය ආදිය මගින් නීත්‍යානුකූල නො වන ක්‍රියා ලෙස හඳුන්වා තිබෙන ලිංගික කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරනු ලබනවා. පුද්ගලයකු කොන්ඩමයක් ළඟ තබාගත් විට එය එම පුද්ගලයාට එරෙහිව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ අවස්ථාත් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ කොන්ඩම් ලබා ගැනීමේ කිසිදු තහංචියක් නැහැ. ඒවා රජය මගින් නො මිළේත් ලබා දෙනවා. එය 2015 අංක 5 ජාතික වෛද්‍ය නියාමන අධිකාරි පනත යටතේ අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස නම් කර තිබෙනවා. පවුල් සැලසුම් කිරීම වෙනුවෙන් කොන්ඩම් භාවිතය ශ්‍රී ලංකාවේ මුළුමනින් ම නීත්‍යානුකූලයි.

ප්‍ර‍ධාන ධාරාවන්ට අයත් නොවන ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවන් ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යොදා ගනු ලබන දණ්ඩ නීති සංග්‍ර‍හයේ වගන්තියක් පිළිබඳ පසුගිය දිනවල දේදුනු සංවාද ෆේස්බුක් පිටුව විසින් අවධානය යොමු කළා. ඒ වනාහි ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තියයි.

399 - අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම.

යමෙකු වෙනත් තැනැත්තකු ලෙස බොරුවට හඟවමින් හෝ වෙනත් තැනැත්තකු වෙනුවට තවත් තැනැත්තකු දැනුවත් ව පෙනී සිටුවමින්, හෝ එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තකු නියම වශයෙන්ම එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තකු නොව, අන් තැනැත්තෙක් යයි නිරූපණය කරමින් රවටතොත්, එම තැනැත්තා '' අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කළ ලෙස'' සලකනු ලැබේ.

දේදුනු සංවාද විසින් මතු කර දක්වන ලද අදහස මෙසේයි: 

''අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම.'' වික්ටෝරියානු උරුමයක් ලෙස ලැබෙන දණ්ඩ නීති සංග්‍රහයේ එක් ගැටලුකාරී වගන්තියකි.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් - පිරිමි යැයි සම්මත ඇඳුම් හඳින කාන්තාවන් ද, ගැහැණු යැයි සම්මත පිරිමි අඳින පිරිමින්ද මේ නීතිය යටතේ අත්අඩංගුවට ගත් අවස්ථා තිබේ. .

එසේම මෙම නීති වගන්තිය යටතේ ‘ආදේශනය කළ පුද්ගලයා සත්‍ය හෝ මවා ගත් පුද්ගලයකු වුවද වරද සිදු කර ඇත’ යනුවෙන් ද සඳහන් වේ. එම කොටස වැරදි ලෙස අර්ථ දක්වමින් කෙරෙන සාවද්‍ය අත්අඩංගුවට ගැනීම්වලට වැරැදිකරුවන් වන්නේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ය.

තමන්ට කැමැති විලාසිතාවක් කිරීමට, තමන්ට කැමැති ඇඳුමක් ඇඳීමට සියලු මිනිසුන්ට අයිතියක් තිබිය යුතු අතර, කිසිසේත්ම මේවා රාජ්‍යය විසින් නීති යොදා පාලනය කළ යුතු නොවේ

පහත දැක්වෙන පුවත සැලකිල්ලෙන් කියවන්න. උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතෙනි.

කුලී රථ නැවතුමේ මළ සිරුරක්

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගර මධ්‍යයේ කුලී රථ  නැවතුම්පොළේ තිබී ඝාතනය කරන ලද තරුණයකුගේ මළසිරුරක් අද (05) අලුයම සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි.

මෙම තරුණයා පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයා නිතර නිතර දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලීසිය කියයි. ඝාතනය සිදුවන අවස්ථාවේ දී මෙම තරුණයා කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි බව ද පොලිසිය කියයි.

ඝාතනය සිදු වූ ස්ථානයේ පුද්ගලයාට පහර දුන් බවට සැකකෙරෙන ලී දඬු මෙන්ම මෙම පුද්ගලයාගේ බවට සැකකරන කුඩයක් සහ අත් ඔරලෝසුවක් ද සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඇතැම් දිනවල රාත්‍රී කාලයේ එම තරුණයා මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කර තිබුණු අයකු බවයි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම පුවත වාර්තා කර තිබෙන ආකාරය අනුව, මෙම ඝාතනය අනියමින් සාධාරණීකරණය කර තිබේ ද යන සාධාරණ සැකයක් ඇති වෙනවා. 

මෙම විස්තරයේ දැක්වෙන ආකාරයට මෙම තරුණයා සංක්‍රාන්ති ලිංගික සමාජභාවයට අයත් වන අයෙකු ලෙස සැලකිය හැකියි. 

Views:
1143