Sexual harassment on public transport unabated

by Yamini Perera
12-Jul-2019

ශ‍්‍රි ලංකාවේ ගැහැණි අනාරක්ෂිතම තැන පොදු ප‍්‍රවාහනය පද්ධතියයි

ශ‍්‍රී ලාංකිය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ලාභ දායි ගමනාගමන විකල්පය පොදු ප‍්‍රවාහනසේවයයි.  එමෙන්ම කාන්තාවන් පිරිමින්ට වඩා පොදු ප‍්‍රවාහන සේවා මත යැපෙන බව පෙනෙන්ට ඇති සත්‍යයක්. 2015 දෙසැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කාන්තාවන්ට පොදු ප‍්‍රවාහන බස්රථ හා දුම්රියවලදී මුහුණ දෙන්නට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ ජාතික සමීක්ෂණයක් පැවැත්වූ අතර එම සමීක්ෂනයේදී බස්රථ හා  දුම්රියවලදී කාන්තාවන්ගෙන් 90%ක් ක්ම ලිංගික හිංසනයට ලක්වන බව හෙළිවී තිබෙනවා. 

ලොව පුරාම කාන්තාවෝ පොදු ප‍්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙති. මූලික  වශයෙන් ශාරීරික  හා වාචික හිංසනයන් සිදුවනවා. ඇතැම් විට එය ස්ත‍්‍රී දූෂණය දක්වා පත්වූ අවස්ථා ජනමාධ්‍ය තුළ වාර්තා වනවා. මෙය  කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ මූලික හිමිකම් හා නිදහස අහිමි කරනවාට අමතරව අනාරක්ෂිත වතාවරණයක් නිර්මාණය කිරීමටත් සමත් ව තිබෙනවා. 

 

ශ‍්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ආර්ථික වශයෙන් සක‍්‍රීය සියයට 34 පමණ වන අතර කාන්තාවන් ආර්ථික කටයුතු වලින් බැහැරවන ප‍්‍රතිශතය මේතරම් අවම වීමට බලපාන ප‍්‍රධාන සාධක අතර පොදු ප‍්‍රවාහනයේ දී සිදුවන කාන්තා හිංසනයත් ප‍්‍රධාන තැනක් ගෙන තිබෙනවා. පොදු ප‍්‍රවාහන සේවාව තුළ මෙවන් ක‍්‍රියාවන් වැඩිපුරම සිදුවන්නේ වැඩි පිරිසක් පොදු ප‍්‍රවාහනය භාවිත කරනු ලබන උදෑසන හා සවස කාලය තුළ වන අතර මේ සඳහා පොදු ප‍්‍රවාහනයේ ඇති අධික තදබදය සුවිශාල දායකත්වයක් සම්පාදනය කරයි. එමෙන්ම ගමනාන්තය දක්වා ඇති දුර මෙන් ම ඒ සඳහා ගතවන කාලය ද මේ සඳහා සුළු බලපෑමක් ඇති කරයි. 

 “අපේ දුවා දරුවෝ අපිට තනියම බස් එකක යවන්න විදිහක් නෑ, නමුත් යවන්නත්  ඕන අවශ්‍යතා තියෙනවා. කාන්තාව ගොඩාක් තැන් වලදි අසරණ වෙනවා. ඒක කියා ගන්න කෙනෙක් අපට නැති වෙනවා කිව්වොත් එතනක් ප‍්‍රශ්න ඇතිවෙනවා. කාන්තාව ගොඩාක් අසරණයි”  

බදුල්ලේ මාලනී තම අද්දැකීම විස්තර කළේ එහෙමයි නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (2* වගන්තිය අනුව“කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වු හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවීය යුත්තේය” යනුවෙන් සඳහන් වන අතර වසර 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග‍්‍රහ සංශෝධන පනතේ 345 කොටස අනුව ද ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි.  

 හිංසනයට ලක්වු ලාංකික කාන්තාවන් අතරින්  52%ක් ලිංගික හිංසනය අපරාධයක් ලෙස සැලකෙන නීතියක් බව දන්නාමුත් 60%ක් දෙනා ලිංගික හිංසන වරදට දඬුවමක් තිබෙන බව දැනුවත්ව නොසිටිබව  සමික්ෂනවලදී අනාවරණය වුණා. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් අවස්ථාව තිබෙනවා. හදිසි අවස්ථාවකදී පොලිස් ක්ෂණික දුරකථන අංක 119, කාන්තා උපකාරක දුරකථන අංක 1938 හෝ ජාතික ගමනාගමන මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංක 1955 වෙත මෙවන් හිංසනයක් දැනුම් දිය හැකිය. එහිදී බස් රථය ධාවන වන මාර්ගය හා බස් රථයේ අංකය නිවැරදිව දැනුම් දීමෙන් පොලිසියට පහසුවෙන් ක‍්‍රියාත්මක විය හැකි බව ද ඇය පවසනවා. කෙසේ නමුත් පසුගිය වසර 2ක් තුළ ඔවුන්ගේ ක්ෂණික දුරකථන අංක 1955 වෙත කාන්තා හිංසනයට අදාළව එකඳු පැමිණිල්ලක් හෝ ලැබි නොමැති බවයි පැවසෙන්නේ.

ලංකාවේ පොදු ප‍්‍රවාහන සේවය ගත්තහම කාන්තාවන් අතවරයට ලක්වනවා එමටයි, එහෙම අතවරවලට ලක්වන අවස්ථා තිබ්බට ඒවාට විරුද්ධවෙන්නෙ නැත්තේ අපේ කාන්තාවන් ඉතා ලැජ්ජාශීලි නිසයි

තුෂාරි කොඩිතුවක්කු

සමාජ ක‍්‍රියාකාරිණි

මහියංගනය 

 

එමෙන්ම පොදු ප‍්‍රවාහනය තුළ කාන්තාවන් අසුනක වාඩි වී සිටියද හිටගෙන සිටියද හිංසනය විවිධාකාර ලෙස සිදු වෙනවා. මෙවැනි අවස්ථා වලදී කාන්තාව ඊට විරුද්ධ වුවද ඇයගේ සහයෝගයට ඉදිරිපත් වන්නන් ඉතා අල්පයි. බසයේ රියදුරු මහතා හෝ කොන්දොස්තර ද මෙවැනි අවස්ථාවල මැදිහත්වීම ඉතා පහළ මට්ටමකයි පවතින්නේ.  ශ‍්‍රි ලංකාව තුළ මේ තත්වය අවම කිරීම වෙනුවෙන් කොතරම් නීති , අණ පනත් සකස් කර තිබුනත් මේ පිළිබඳව ක‍්‍රියාකාරිත්වය ඉතා පහළ මට්ටමක ඇති නිසා වරද කරුවන්ට එය අවස්ථාව වී තිබෙනවා. 

Views:
275