Horrors of teenage pregnancy | මාතෘත්වයට හිමිකම් ඇති, ළමා හිමිකම් අහිමි ගැහැණු දරුවන්

by Yamini Perera
11-Jul-2019

ශ‍්‍රි ලංකාව තුළ සිදුවන ගැබ්ගැනීම් වලින් සියයට 6.5 පමණ අවුරුදු 15-19 වයස් කාණ්ඩයේ මව්වරුන් ලෙසයි සැලකෙන්නේ. එනම් බාලවයස්කාර ගැබ් ගැනීම්. වැවිලි ක්ෂේත‍්‍රය තුළ තමයි වැඩිම ළමා ගර්භනී භාවය පෙන්නුම් කරන්නේ වතු ආශ‍්‍රිත රොහල්වල. පසුගිය දශකය තුළ බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගණය සහ රිදීමාලියද්ද වැනි ප‍්‍රදේශ වලින් වර්තාවන  ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතිනවා. වයස අවුරුදු 12ත් 16ත් අතරගැහැණු දරුවන් මෙම තත්වයට පත්වීම නොවැලැක්විය හැකි කාරණයක් බවට පත්ව තිබෙනවා. දැනට වාර්තා වෙන සිද්ධීන් අනුව පමණක් සතියකට මෙවැනි ළමා මව්වරු 3ත් 5ත් අතර සංඛ්‍යාවක් දරුවන් බිහි කිරීමට රෝහල් ගතවන බව වාර්තාවනවා.

“කුඩා ගැහැණු දරුවන් කුඩා කාලයේම මව්වරු බවට පත්වෙන ප‍්‍රවණතාවයක් බදුල්ල රිදි මාලියද්ද මහියංගන ප‍්‍රදේශ අවට බහුලව දකින්නට ලැබෙනවා ඒකට මූලික හේතුව වන්නේ ආර්ථිකය, ආර්ථික දරිද්‍රතාවය මත තමයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ.  දරුවන්ගෙන් අහල බැලූවහම මේ තත්වයට පත්වීමට බලපා තියෙන්නේ මව ගෙදර නැතිකම, මව විදේශ ගතවීම  නැතිනම්,  පවුලේ ආසන්නම කෙනෙක්ගෙන් සිදුවූ බලපෑම ”

   තුෂාරි කොඩිතුවක්කු - සමාජ ක‍්‍රියාකාරිණි -මහියංගනය                                                                                    

 

 

 

 

මෙවැනි ගැබ් ගැනීම් හේතුවෙන් බාල වයස්කාර මව් වරුන්ගේ  ශාරීරික හා මානසික සෞඛ්‍ය පිරිහීමට ලක්වන අතර මන්ද පෝෂණ තත්වයට ගොදුරුවීම, නිසි සමාජ අවබෝධයක නොමැතිවීම මත ගැහැණු දරුවන් සිය දිවිනසා ගැනීම, දරු ප‍්‍රසුතියේදී මවගේ සහ  දරුවාගේ ජිවිත අවධානමට ලක්වීම වැනි ගැටළු රාෂියක් උද්ගත වනවා. විශේෂයෙන් ග‍්‍රාමිය ප‍්‍රදේශ ආශ‍්‍රිතව හා වතු අංශයේ  මේ තත්වය සැලකිව යුතු මට්ටමින් වර්ධනය වෙමින් පවතිනවා.

සතියකට එක් රෝහලක පමණක් වාර්තා වන ළමා මව්වරු සංඛ්‍යාව 4ක් පමණ වේ මාසයකට ළමුන් 16ක් වේ. එය වාර්ෂිකව 192 කි. මෙය ප‍්‍රබල සමාජීය ගැටළුවක් බවට වර්ධනය වෙමින් පවතිනවා. 

ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව  කාන්තාවකට විවාහ වීමට අවසර ලබා දී ඇත්තේ වයස අවුරැදු 18 සම්පූර්ණ වූ පසුවය. නමුත් මවක් වීමට සුදුසුම වයස් සීමාව ලෙස සැලකෙන්නේ අවුරුදු 20 න් පසුව කාලය වන අතර වයස අවුරුදු 35 ක් වනතෙක් සුදුසුම කාල වකවානුවයි. වයස අවුරුදු 10 සිට 19 දක්වා කාලසීමාව අප හඳුන්වන්නේ නව යොවුන්විය ලෙසයි.

ඒ කියන්නේ ඔවුන් තවම සම්පූර්ණයෙන්ම වැඩිහිටියකු  ලෙසට සැලකෙන්නේ නැහැ. ළමා විවාහවලට හේතු කිහිපයක්ම බලපානවා. මවුපියන්ගේ දුප්පත්කම ප‍්‍රධාන කාරණයක්. දෙවැන්න  පාසල් යන කාලයේදීම ‍ ප්‍රේම සම්බන්ධතාවලට පැටලීම නමුත් මේ කිසිම හේතුවක් අඩු වයස් විවාහයක් නීත්‍යානුකූල විවාහයක් බවට පත්වෙන්න හේතු වෙන්නේ නෑ.  අඩු වයස් ගැබ් ගැනීමක් නිසා ඇතිවන සංකූලතා හා බිහිවන දරුවාටද ඇතිවිය හැකි ගැටළු බොහෝමයි.

1. මවගේ සහ දරුවාගේ පෝෂණ ගැටලූ.

2. ගබ්සාවක් සිදු කර ගැනීමට ඇති ඉඩ කඩ වැඩිවීම.

3. නියමිත කාලයට (සති 40 ට)පෙර දරුවා බිහි වීමට ඇති ප‍්‍රවණතාවය.

4. බිහිවන දරුවා වර්ධනය අඩු දරුවකු වීම.

5. ගර්භණීය සමයේ අධිරුධිර පීඩනය වැළඳීමේ අවදානම වැඩි වීම.

6. දරු ප‍්‍රසූතියේදී ඇතිවන වේදනාවන් විඳ දරා ගැනීමේ අපහසුතාවය.

7. දරු ප‍්‍රසුතියෙන් පසු මානසික රෝග වලට ගොදුරු වීමේ හැකියාව වැඩි වීම.

8. දරුවාට මවුකිරි දීමේ ගැටලූ ඇතිවීම.

9. අනාගතයේ දී ගැබ්ගෙල පිළිකා වැළඳීමේ අවධානම වැඩි වීම.   

 

මෙවැනි සිදුවීම් සදහා ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දෙමව්පියන්ගේ රුකවරණය අහිමි වීම හා රැකවරණය අහිමි වීම හා දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම මෙන්ම ගැහැණු දරුවන්ගේ  නොදැනුවත් භාවය බව අනාවණය වී තිබෙනවා.  වැඩි වශයෙන් ගැහැණු දරුවන් ලිංගික බලහත්කාරකම් හා අපයෝජනයට ලක් වන්නේ ළමා මව්වරු බවට පත් වන්නේත් පවුලේ ළගම ඥාතීන් වන තම පියා, සහෝදරයන් සහ සීයාගෙන් බව හඳුනාගෙන තිබෙනවා.

පාසැල් අධ්‍යාපනයට යෞවනෝදය පිළිබඳව හා ලිංගික අධ්‍යාපනය ලබා දෙන ආකාරයේ  විෂය මාලාවක් ඇතුලත් කර තිබුනද පසුකලෙක ඒ පිළිබදව සමාජ විරෝධයක් ගොඩනැගුණු නිසා එය විෂය නිර්දේශයෙන් බවත් කරන්නට සිදුවිය. කෙසේ නමුත් නව යෞවන වියේ පසුවන දරුවන් මේ පිළිබඳව දැනුම්වත් කිරරීම යුගයේ අවශ්‍යතාවයක් වෙමින් පවතිනවා.  බාලවයස්කාර ගැබ් ගැනීම් සමාජයේ ප‍්‍රබල ප‍්‍රශ්නයක් වන අතර මේ පිළිබදව නරුණු සොයා විසදුම් සෙවීමට අදාල පාර්ශවයන් වඩාත් උනන්දු විය යුතු වේ. මේ පිළිබදව තොරතුරු හෙළිදරව් කිරීම තුළින් සමාජ කතිකාවතකට ලක් කිරීම තුළින් සමාජය දැනුවත් කර විශේෂයෙන්ම එම ඉලක්ක ප‍්‍රජාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පවතී. ගැහැණු දරුවෙක් වීම නිසාම ඇතිවන හිංසනය, ප‍්‍රචණ්ඩත්වය හා ශාරීරිකව මෙන්ම මානසිකව ඇතිවන පීඩනයෙන් මුදවාගනිමින් ඔවුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම දරුවන්ගේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත.

Views:
1864