වැඩිහිටි කාන්තාවන්ට දරුවන් බිහි කරන්නට පුළුවන් ද?

by Ajith
24-Jan-2019

වැඩිහිටි පිරිමින්ට දරුවන් බිහි කරන්නට තියෙන ශක්තිය පිළිබඳ යම් අදහසක් පූජක පක්ෂය වෙතින් පළ වීම නිසා පසුගිය දිනවල ලංකාවේ සමාජ මාධ්‍යවල කතිකාවක් ඇති වුණා. වැඩිහිටි පිරිමින්ට දරුවන් හදන්නට බැරිකමක් නැති වුණාට, ඔවුන්ගේ වැඩිහිටි සහකාරියන් කැමති වුණත් ඔවුන්ට දරුවන් බිහි කරන්නට බැරිකම තමයි සාමාන්‍ය තත්වය.

අප මේ උත්සාහ කරන්නේ මේ කාරණය හා සම්බන්ධ විද්‍යාත්මක හා සමාජමය වශයෙන් වැදගත් කාරණාවක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්නටයි. ආර්තවහරණය යනු කුමක්දැයි ඔබ දන්නවා ද? 

ආර්තවය යනු කාන්තාවන් වැඩිවිය පැමිණීමෙන් පසු ඔවුන්ගේ ප්‍ර‍ජනන පද්ධතිය ආශ්‍රිතව සිදු වන ක්‍රියාවලියක් බව ඔබ දන්නවා. මෙය නතර වීම තමයි ආර්තවය කියන්නේ. එයට ඉංග්‍රීසියෙන් මෙනපෝස් යයි කියනවා. 

කාන්තාවක් ආර්තවහරණයට පත් වන සාමාන්‍ය වයස හතළිස් ගණන්වල අග හරියේ සිට පනස් ගණන්වල මුල අවධිය දක්වා වෙන්නට පුළුවන්. හැබැයි, කලාතුරකින් මෙය ඕනෑම වයසකදී වෙන්නට පුළුවන්. අවම ලෙස අවුරුද්දක් මාසික ඔසප් වීම සිදු නොවේ නම් එය ආර්තවහරණය විය හැකියි. 

ආර්තවහරණයත් සමග ප්‍ර‍ජනන පද්ධතියේ ඩිම්බ කෝෂ අක්‍රිය වෙනවා. ඒ සමග සිදු වන හෝමෝන වෙනස්කම් හේතුවෙන් ශරීරයට බලපෑම් රැසක් සිදු වෙනවා. උදාහරණයක් ලෙස ඊස්ට්‍ර‍ජන් හෝමෝනය අඩු වීම නිසා ශරීරයේ අස්ථි දිරා යාම වේගවත් කරනවා. මෙය ඔස්ටියොපොරෝසිස් ලෙස හැඳින්වෙනවා. ඒ නිසා පහසුවෙන් අස්ථි බිඳෙන්නටත්, කුදු වීම, කොන්දෙ කැක්කුම, අතපය වේදනා ආදිය ඇති වන්නටත් පුළුවන්.  

යම් හේතුවක් නිසා ගර්භාෂය ඉවත් කරන්නට සිදු වුණොත් මාසික ඔසප් වීම නතර වෙනවා. ඒ වුණත්, හෝමෝනවල වෙනසක් ඇති වන්නේ නැහැ.  

ආර්තවහරණය ආසන්න වන විට කාන්තාවක තුළ පහත දැක්වෙන ලක්ෂණ ඇති වන්නට පුළුවන්. වරින් වර ඇඟ උණුසුම් වී දහදිය දැමීම, අධික හෘද ස්ඵන්දනය, ඔසප් වීමේදී අධික හෝ අඩු රුධිර වහනය, අතපය වේදනා, මානසික ගැටලු, නින්ද යාමේ ගැටලු, මුත්‍රා ආසාදන හා ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි උදාසීනත්වය එ් අතර තිබෙනවා. 

පිරිමින් ද වියපත් වන විට මෙවැනි තත්වයකට මුහුණ දෙනවා. එය මේල් මෙනපෝස් හෙවත් ඇන්ඩ්‍රොපෝස් ලෙස හැඳින්වෙනවා. එහෙත් එය කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ අක්‍රිය වීම වැනි දෙයක් නෙමෙයි. එහිදී සිදු වන්නේ ප්‍ර‍ධාන පිරිමි හෝමෝනය වන ටෙස්ටස්ටරෝන් නිෂ්පාදනය ක්‍ර‍මානුකූලව අඩු වීමයි. එය නිෂ්පාදනය වන්නේ වෘෂණ කෝෂවලයි. පිරිමි ලක්ෂණ, ලිංගික ආශාවන්, කායික හා මානසික ශක්තිය, ශරීරයේ මස්පිඬුවල හැඩය, සටන්කාමිත්වය වැනි දේ හැසිරවීමේදී මේ හෝමෝනය ඉතා වැදගත් වෙනවා.

කාන්තාවන්ගේ ආර්තවහරණය තරම් වේගවත් පරිවර්තනයක් නොවුණත්, මේල් මෙනපෝස් වීමත් පිරිමි සිරුරේ ක්‍ර‍මික පරිවර්තනයක් සිදු කරනවා. 

කාන්තාවන්ගේ ආර්තවහරණයේදී මෙන් ම පිරිමින්ගේ වියපත් වීම සමග සිදු වන පුරුෂ ශක්තිය දුබල වීම නිසා ද දරුවන් හැදීමේ හැකියාව අඩු වී යයි. එහෙත්, එය කාන්තාවන්ගේ තරම් වේගයෙන් සිදු වන්නේ නැත. 

ආර්තවහරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පළ කරන ලද සරල රූපමය ප්‍ර‍කාශනයක් මෙතනින් 

මෙම ලිපිය හා සම්බන්ධ තවත් අදහස් දැක්වීමක් සඳහා මෙම ලිපිය කියවන්න

 

Views:
990