කාන්තා ඇඳුම් ඇඳ රෑ සැරිසරමින් සිටියදී පහර දී මරා දමන ලද දඹුල්ලේ තරුණයා හඳුනා ගනිමු

by Ajith
06-Sep-2017

පහත දැක්වෙන පුවත සැලකිල්ලෙන් කියවන්න. උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතෙනි.

කුලී රථ නැවතුමේ මළ සිරුරක්

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගර මධ්‍යයේ කුලී රථ  නැවතුම්පොළේ තිබී ඝාතනය කරන ලද තරුණයකුගේ මළසිරුරක් අද (05) අලුයම සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි.

මෙම තරුණයා පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයා නිතර නිතර දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලීසිය කියයි. ඝාතනය සිදුවන අවස්ථාවේ දී මෙම තරුණයා කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි බව ද පොලිසිය කියයි.

ඝාතනය සිදු වූ ස්ථානයේ පුද්ගලයාට පහර දුන් බවට සැකකෙරෙන ලී දඬු මෙන්ම මෙම පුද්ගලයාගේ බවට සැකකරන කුඩයක් සහ අත් ඔරලෝසුවක් ද සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඇතැම් දිනවල රාත්‍රී කාලයේ එම තරුණයා මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කර තිබුණු අයකු බවයි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

 

මෙම පුවත වාර්තා කර තිබෙන ආකාරය අනුව, මෙම ඝාතනය අනියමින් සාධාරණීකරණය කර තිබේ ද යන සාධාරණ සැකයක් ඇති වෙනවා. 

මෙම විස්තරයේ දැක්වෙන ආකාරයට මෙම තරුණයා ට්‍රාන්ස්ජෙන්ඩර් යනුවෙන් හඳුන්වනු ලබන ලිංගික සමාජභාවයට අයත් වන අයෙකු ලෙස සැලකිය හැකියි. 

ට්‍රාන්ස්ජෙන්ඩර් යනු කුමක් ද? හඳුනාගන්න. එය මානසික රෝගයක් ලෙස සැලකෙන්නේ නැත. එහෙත්, ට්‍රාන්ස්ජෙන්ඩර් ජනයාට අනියත ලෙස බිය වීම නම් ඉහත පුවතේ දැක්වෙන ආකාරයේ අපරාධවලට හේතු විය හැකි භයානක මානසික තත්වයකි. 

මැයි 17 දිනය සැලකෙන්නේ සමරිසි භීතිකාවට, සංක්‍රාන්ති ලිංගික භීතිකාවට හා ද්විලිංගික භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය ලෙසයි (International Day Against Homophobia, Transphobia and Biphobia).

මෙම භීතිකාවන් මොනවා ද යන්න අප බොහෝ දෙනෙක් දන්නේ ද නැත.

සමරිසි භීතිකාව

සමරිසි භීතිකාව යනු සමලිංගික හෙවත් සමරිසි ජනයා කෙරෙහි දක්වන අකැමැත්ත හා  අගතිගාමී හැඟීමයි.

සමරිසි ජනයා කොටස් දෙකකට වෙන් කළ හැකි ය. ඒ ලෙස්බියානු (lesbian) හා ගේ (gay) ලෙසයි. ලෙස්බියානු යනු සමරිසි කාන්තාවන් වන අතර ගේ යනු සමරිසි පිරිමි ය.

සංක්‍ර‍ාන්ති ලිංගික භීතිකාව

පංක්‍රාන්ති ලිංගික භීතිකාව යනු පාරලිංගික (transgender) ජනයාට අකැමැත්ත හා අගතිගාමිත්වයයි.

සංක්‍රාන්ති ලිංගික ජනයා යනු ගැහැනු හා පිරිමි පිළිබඳ සමාජ සම්මත ආකෘති අනුව තම අනන්‍යතාව පැහැදිලි කළ නො හැකි අයයි.

ද්විලිංගික භීතිකාව

ද්විලිංගික භීතිකාව යනු ද්විලිංගික (bisexual) පුද්ගලයන්ට දක්වන නො කැමැත්ත හා අගතියයි.

ද්විලිංගිකයන් යනු පිරිමි හා ගැහැණු යන දෙවර්ගයේ ම පුද්ගලයන්ට ලිංගිකව ආසක්ත වන අයටයි. මේ අය අතර පිරිමි මෙන් ම ගැහැණු අය ද සිටිති.

අන්තර්ලිංගික ජනයා යනු ජීව විද්‍යාත්මකව ප්‍ර‍ජනනේන්ද්‍රිය වර්ධනයේදී අසාමාන්‍ය ලෙස ස්ත්‍රී හා පුරුෂ ලක්ෂණ දෙක ම ඇතිව වැඩුණු පුද්ගලයෝ ය. මේ අය සංක්‍රාන්ති ලිංගික හෝ ලිංගිකත්වය ප්‍ර‍ශ්න කරමින් සිටින අය වන්නට ද පුළුවන. විශේෂයෙන් ම බිළිඳු අවධියේදී මේ හා සම්බන්ධ සැත්කම්වලට මුහුණ දුන් අය වයසින් මුහුකුරා ගිය විට සංක්‍රාන්ති ලිංගික විය හැකි ය.

තම ලිංගිකත්වය විමසන අය ලෙස සැලකෙන්නේ තමන්ගේ ලිංගිකත්වය කුමක් ද යන්න ප්‍ර‍ශ්නයක්ව වී තිබෙන අයයි. මෙම තත්වය වැඩි විය පැමිණීම ආසන්නයේදී හෝ ඕනෑම වයසකදී පැවතිය හැකි ය.

ලෙස්බියානු, ගේ, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයා යනු වරදකරුවන් පිරිසක් නො වේ. එය ඔවුන් මෙලොවට ජනිත වූ ආකාරය වන අතර ඔවුන් රෝගීන් නොව සාමාන්‍ය ජනයා ය. ඔවුන් ආදරය කරන හා සමාජ සම්බන්ධකම් පවත්වන ආකාරය ඔවුන්ගේ අයිතියකි.

වෙනස ඔවුන් බහුතර විෂමලිංගිකයන්ගෙන් වෙනස් වීම පමණි. මෙම ජනයා කෙරෙහි භීතිකාවන් ඇති අය මෙවැනි ජනයා පිළිකෙව් කරනවාට අමතරව ඔවුන්ට පහර දෙන්නට, තුවාල කරන්නට පමණක් නොව මරා දමන්නට පවා ඉඩ තිබේ.

ලෙස්බියානු, ගේ, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයාගෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු සමභීතිකාවන්ගෙන් පෙළෙන්නන් අතින් පීඩාවට පත්ව ඇති බව ද, එසේ පීඩාවට පත් වන්නන් අතරින් 75%ක් ම ඒ පිළිබඳ වාර්තා නො කරන බව ද LGBT පදනම පවසයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට අනූව, යම් පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රි පුරුෂ භාවය මත වෙනස් ලෙස සැලකීම, පුද්ගලයකු සතු සමානාත්මතාවට ඇති මුලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි. එහෙත්, දණ්ඩ නීති සංග්‍ර‍හයේ 365 (අ) වගන්තිය භාවිතා කරමින් මෙම ප්‍ර‍ජාවන්ගේ ජනයාට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අවස්ථා වාර්තා වී තිබේ.

Cover Photo by DAVID HOLT from London, England - London June 21 2016 058 Gay Traffic Lights for Pride, CC BY 2.0, https://commons.wikimedia.org/w/index.php?curid=49633456

Views:
4988