මේ කතාව ඉතා කණගාටුදායක එකක්. එය පෞද්ගලික කතාවක් වුණත්, එක්තරා ප්‍රජාවකට මුහුණ දෙන්නට සිදු වී තිබෙන තත්වයක් නිසා මා එහි සත්‍ය නම් ගම් ඔබට කියන්නේ නැහැ.
අපි ඔහුට තිලක් යයි අමතමු. ඔහු ඉපදුණේ ලංකාවෙ නිදන්ගත වකුගඩු රෝගය ඉතා සුලබ රජරට ප්‍රදේශයක. ඔහුට වකුගඩුවක් බද්ධ කරන්නට සිදු වුණේ මින් අවුරුදු 17කට ඉස්සරයි. ඒ වකුගඩුව දන් දුන්නේ ළඟම ඥාතියෙක්. ඒ කාලෙ රජයේ රෝහල්වල වකුගඩු බද්ධ කිරීම එතරම් නො කෙරුණ නිසා එය පෞද්ගලික රෝහලක තමයි සිදු වුණේ. ඒ කාලේ ඒ වෙනුවෙන් රු. ලක්ෂ හත, අටක් වැය වුණා. ඒ මුදල ඒ පවුලට දරා ගැනීම ලෙහෙසි වුණේ නැහැ. ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ තුනහමාරක් ලබා දුන්නා.
තිලක් වකුගඩු රෝගයට ගොදුරු වන්නට පෙර රැකියාව වශයෙන් කළේ ටේස් වර්ග හදා පොළේ අලෙවි කිරීමයි. මේ රෝගයෙන් පසු ඔහු මේ වන විට පූර්ණ වශයෙන් සුවය ලබා බොහෝ දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. පරස්සම් වෙනවා. දිනපතා බෙහෙත් බොනවා. මාසයකට වතාවක් සායනයට සහභාගි වෙනවා. දැන් ඔහුගේ වයස අවුරුදු 50කට ආසන්නයි.
තිලක්ගේ රෝගයත් එක්ක ඇති වුණ ආර්ථික ප්‍රශ්න නිසා ඔහුගේ පවුල තවමත් ජීවත් වෙන්නේ කුලී නිවසකයි. තිලක්ට පුතෙකුත්, දියණියන් දෙදෙනෙකුත් සිටිනවා. පවුලේ ආර්ථික ගැටලු නිසා තිලක්ගේ පුතා කුඩා කල සිට හැදුණේ, වැඩුණේ ඔහුගේ බිරිඳගේ මව්පියන් සමගයි. අපි ඔහුට අමල් යි කියමු.
අමල් කුඩා කල සිට ම, ඔහුට වඩා අවුරුදු දහයක්, දොළහක් වැඩිමල් ඔහුගේ මාමා ඔහු මහත් ආදරයෙන් රැක බලා ගත්තා. ඔහු තමයි අමල්ට උගන්වන්නට වියදම් කළේ. පාසලේ ගුරුවරුනුත් ඔහුට උදව් කළා. අමල් උසස් පෙළ සමත් වුණා. ඒත්, ඒ දුෂ්කර පළාතෙන් වානිජ විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළු වීම ලෙහෙසි නැහැ.
උසස් පෙළින් පසු විදුලි කාර්මික පාඨමාලාවක් කළ අමල් රට පුරා ශාඛා තිබෙන ප්‍රසිද්ධ විදුලි උපකරණ අලෙවි සමාගමක සේවයට බැඳුණා. අවුරුදු එකහමාරක් විතර ඔහු ගැටලුවකින් තොරව රැකියාව කළා. එහෙත්, හදිසියේ ම අමල් අසනීප වුණා. වැඩ කරමින් සිටින අතර වමනය කිරීමත් සමග රෝහලට ඇතුළත් කළ ඔහුගේ වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වුණේ ඔහුගේ වකුගඩු දෙක ම අක්‍රිය වී ඇති බවයි. එයට හේතුව අපැහැදිලියි. මෙය රජරට දහස් ගණනක් ජීවිත බිලි ගෙන තිබෙන රෝගයක්. කෙතරම් පරීක්ෂණ සිදු කළත්, එය වළක්වා ගැනීමට හැකි වී නැහැ. දැන් මාස තුනක පමණ සිට අමල් දින තුනකට වරක් මාළිගාවත්තේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයට දුම්රියෙන් ගොස් රුධිර කාන්දු පෙරණය කර ගන්නවා. ඔහුට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතුයි.
වකුගඩු වැනි ශරීර අවයව විකිණීම නීති විරෝධී වුණත්, නිදන්ගත වකුගඩු රෝග සුලබ වූ ලංකාවේ වකුගඩු විකිණීම සිදු වන බව ප්‍රසිද්ධ රහසක්. මෙසේ වකුගඩු විකුණන මිනිසුන් ගත්තත් ඔවුන්ගේ කතාත් ඛෙදජනකයි. වකුගඩු විකිණීම සිදු වන්නේ බොහෝ විට දිළිඳුකම නිසායි. ඒ පසුපස විවිධ ජාවාරමුත් තිබෙනවා.
අමල්ට සුදුසු වකුගඩුවක් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වූ පුද්ගලයා ඒ සඳහා රු. ලක්ෂ 10ක් ඉල්ලා සිටිනවා. කණගාටුදායක කාරණය වන්නේ එම පුද්ගලයාගේ විවාහක කලත්‍රයා ද මීට කලකට පෙර රු. ලක්ෂ පහකට වකුගඩුව විකුණා තිබෙනවා.
අමල්ගේ සැත්කම රජයේ රෝහලෙන් නොමිළේ කර ගත හැකි වුණත්, වකුගඩුව ලබා ගැනීම, වෛද්‍ය පරීක්ෂණ සඳහා වන වියදම්, වෛද්‍ය උපකරණ ආදිය සමග සඳහා රු. ලක්ෂ 15ක්, 20ක් පමණ වැය වන බවයි අමල්ගේ ඥාතීන් පවසන්නේ. දැන් ඔවුන් ඒ වෙනුවෙන් විවිධ උත්සාහයන් රැසක් දරනවා.
මේ සියල්ල කරන්නේ වයස අවුරුදු 25ක් වන අමල්ගේ ජීවිතය බේරා ගන්නටයි.
මෙවැනි ප්‍රශ්නයකදී ඔවුන් කුමක් කරන්න ද? අමල්ට මැරෙන්නට හැර බලා ඉන්නට ඔවුන්ට පුළුවන් ද? හැකි විසඳුමක් සොයාගන්නට ඔවුන් දරණ උත්සාහය වැරදි ද?
අමල් කියන්නේ මෙවැනි ඛෙදජනක ඉරණම්වලට මුහුණ දුන් ලාංකිකයන් අතරින් එක් අයෙකු පමණයි. මෙවැනි තරුණ, තරුණියන් සේ ම, ළමයින්, වැඩිහිටියන් පවා දස දහස් ගණනක් හේතු අපැහැදිලි නිදන්ගත වකුගඩු රෝගවලින් පීඩා විඳිනවා. ඒ හා සමග ඇති වන තත්වයන් නිසා එම රෝගීන්ගේ පවුල් පිටින් දැවැන්ත දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. එයින් ඇති වන්නේ හුදු සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවෙයි. එය සමාජ ප්‍රශ්නයක්.