වෙබ් මාධ්‍ය ආචාර ධර්ම කොයිබට ද?

by Ajith
02-Feb-2018

ශ්‍රී ලංකාවේ වෙබ් මාධ්‍යකරුවන් වෙනුවෙන් ආචාරධර්ම සංග්‍ර‍හයක් සම්පාදනය කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පියවර ගත්තා. වෙබ් මාධ්‍යවලට ආචාරධර්ම සංග්‍ර‍හයක අවශ්‍යතාව පැන නැගුණේ වෙබ් මාධ්‍යකරුවන්ගේ අනන්‍යතාව පිළිබඳ ප්‍ර‍ශ්නයක් සමග බවයි, 2018 පෙබරවාරි 01දා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සාරප්‍ර‍භාගිර වැඩසටහන සමග එක් වෙමින් සමබිම වෙබ් අඩවියේ සංස්කාරක නීතිඥ ප්‍රබෝධ රත්නායක පැවසුවේ. 

“අන්තර්ජාලය තුළ ඕනෑම කෙනෙකුට වෙබ් අඩවියක් පිහිටුවා ගන්නට පුළුවන්. ඒ වගේ ම, ඕනෑම කෙනෙකුට ෆේස්බුක්, ට්විටර්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය භාවිතා කරමින් අදහස් ප්‍ර‍කාශනයේ යෙදෙන්නටත් පුළුවන්. ඒත්, එසේ කරන සෑම කෙනෙකු ම වෙබ් මාධ්‍යකරුවකු වන්නේ නැහැ. මේ අන්දමින් වෙබ් පාදක කරගෙන මාධ්‍යකරණයේ යෙදෙන කොටස් තුනක් දැකිය හැකියි. එ් මෙසේයි:

  1. ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍යවල වෙබ් අඩවි හා සම්බන්ධ මාධ්‍යකරුවන්
  2. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්
  3. වෘත්තීය මට්ටමෙන් වෙබ් අඩවි හා සම්බන්ධව මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යකරුවන්

වෘත්තීය වෙබ් මාධ්‍යකරුවකු වන්නේ ශික්ෂණයකින් හා වගකීමකින් යුක්තව මාධ්‍යකරණයේ යෙදෙන කෙනෙක්. එවැනි අයට වෘත්තීය මට්ටමෙන්, වගකීමකින් යුක්තව මාධ්‍යකරණයේ යෙදෙන්නට අවශ්‍ය මාර්ගෝපදේශනයක් තමයි මෙමගින් සපයනු ලබන්නේ."

වෙබ් මාධ්‍යකරුවන් සතු විය යුතු වෘත්තිකභාවය හා ශික්ෂණය පිළිබඳ අදහස් දක්වමින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් හා ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ සංස්කාරක කැලුම් ශිවන්ත පැවසුවේ බොහෝ අය වෙබ් මාධ්‍ය ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් හා විශාල වශයෙන් මුදල් ඉපැයිය හැකි කර්මාන්තයක් ලෙස සලකන බවයි. 

“ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ප්‍ර‍වෘත්ති වෙබ් අඩවි 170ක් පමණ තිබෙනවා. එහෙත්, ඒ අතරින් ලියාපදිංචිය අලුත් කරන ඒවා තිබෙන්නේ සුළු සංඛ්‍යාවයි. බොහෝ අය මෙමගින් විශාල වශයෙන් මුදල් ඉපැයිය හැකි බවට මිථ්‍යාවක ගිලී සිටිනවා. එහෙත්, වෘත්තීය මට්ටමෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යාම ලෙහෙසි නැහැ."

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් වෙනුවෙන් සංගමයක් පිහිටුවන්නට ඔවුන් උනන්දු වූයේ පසුගිය වකවානුවේදී ඇතැම් වෙබ් අඩවි දේශීය වශයෙන් වාර්ණය කරන්නට රජය විසින් පියවර ගැනීම නිසායි. 

“ප්‍ර‍වෘත්ති මාධ්‍ය, වෙබ් අඩවි ආදිය වාරණය කිරීමට අප එකඟ නැහැ. එහෙත්, එවැනි වාරණයන් පැනවීම සාධාරණීකරණය වන තැනට බලධාරීන් තල්ලු නො කිරීම වෙබ් මාධ්‍යකරුවන්ගේ වගකීමක්. එහිදී යම් ප්‍ර‍මාණයක ස්වයං වාරණයක් ද අවශ්‍යයි," යි ප්‍රබෝධ රත්නායක පවසනවා. 

වෙබ් අඩවිවල පළ වන කරුණු හේතුවෙන් තමන් අගතියට පත් වන බවට චෝදනා එල්ල කළ අය අතර රටේ ඉහළ ම ප්‍ර‍භූන් ද සිටිනවා. එවැනි අගතීන් සිදු නො වීමටත්, සමබර වාර්තාකරණයටත්, පිළිතුරු දීමේ අයිතිය, වගවීම වැනි කාරණාවලදීත් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය ඉතා වැදගත්.

“වාර්තාකරණයේ ගුණාත්මකභාවය පිළිබඳ අඩුපාඩු බොහොමයක් සිදු වීම ආරම්භ වුණේ වෙබ් මාධ්‍යවලිනුයි. එහෙත්, අද වන විට වෙබ් මාධ්‍යකරුවන් ආචාරධර්ම සංග්‍ර‍යක වැදගත්කම අවබෝධ කරගෙන සිටිනවා. එහෙම තියෙද්දී, ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍ය වෙබ් මාධ්‍යවල දුර්ගුණ අනුකරණය කරන ලක්ෂණයක් ද දකින්නට ලැබෙනවා," යි කැලුම් ශිවන්ත පෙන්වා දෙනවා. 

කෙසේ වෙතත්, අද වන විට නව මාධ්‍ය හා සම්ප්‍ර‍දායික මාධ්‍ය අතර වෙනස්කම් නැති වෙමින් තිබෙනවා. සියලු මාධ්‍යවලට මෙන් ම පොදුවේ සියලු පුරවැසියන්ටත් ආචාරධර්ම අවශ්‍යයි. වෙබ් මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයේ වැදගත් පියවරක් ලෙස සලකන්නට පුළුවන්.

වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍ර‍හය මෙතැනින් කියවිය හැකියි. 

 

Views:
1468