බේබි 81: ආපදාවලදී දරුවන් හා මව්වරුන් මුහුණ දෙන තත්වය පිළිබඳ නිදසුනක්

by Ajith
26-Dec-2018

2004 දෙසැම්බර් 26දා ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලට කඩා වැදුණු, රිච්ටර් මාපකයේ 9.1ක් ලෙස සටහන් වූ දරුණු භූමි කම්පාවක් විසින් ඇති කරන ලද සුනාමිය හේතුවෙන් පුද්ගලයන් 30,000කට වැඩි පිරිසක් මරු වැළඳගත් හ. මිය ගිය අය අතරින් තුනෙන් එකක් පමණ දරුවෝ වූ හ. දසදහස් ගණනක් දරුවන්ට මව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනා ම හෝ අහිමි විය. දරුවන් අහිමි වූ මව්පියෝ ද දස දහස් සංඛ්‍යාත ය. දරුවන් අහිමි වූ බොහෝ මව්පියෝ කලක් විෂාධයෙන් ද පෙළුණ හ. 

බේබි 81 යනු ආපදාවන්හිදී මව්වරුන් හා දරුවන් මුහුණ දෙන තත්වය පිළිබඳ සංකේතාත්මක චරිතයකි. සුනාමි රැළි බැස ගිය පසු, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පඳුරක් මත හඬමින් සිටි දරුවකු දකින ලදී. එම දරුවා වහා ගිලන් රථයකින් කල්මුනේ රෝහල වෙත යවන ලදී. කාගේදැයි නොදත් මේ දෙමස් වයසැති බිළිඳා රෝහල් නිලධාරීන් විසින් බේබි 81 ලෙස නම් කරන ලදී. එයට හේතුව, එම දරුවා එදින රෝහලට ඇතුළත් කරන ලද 81වෙනි පුද්ගලයා වීමයි. 

සුනාමියෙන් දිවි ගලවා ගත් දරුවාගේ මව්පියන් රෝහලෙන් නිදහස් වූ සැණින් දරුවා සොයා පැමිණිය හ. එහෙත්, දරුවා ඔවුන්ගේ යයි කීමට ඔවුන් සතුව කිසිදු සාක්ෂියක් තිබුණේ නැත. ඔවුන් සතු සියලු දේ සයුර විසින් රැගෙන ගොස් තිබිණි. මේ අතරතුර මාධ්‍ය විසින් සිදු කරන ලද අධි සංවේදී වාර්තාකරණයන් නිසා නොසන්සුන් තත්වයක් ද ඇති විය. දරුවා නිවසට රැගෙන යන්නට උත්සාහ කිරීම හේතුවෙන් දරුවාගේ මව වන ජෙනිටා හා ජෙයරාජා පොලිසිය විසින් අත්අඩංගුවට ද ගන්නා ලදී.

අවසානයේදී නඩුව විසඳුණේ අධිකරණයෙනි. දින 53කට පසුව, ජෙයරාජාගේ හා දරුවාගේ ඩීඑන්ඒ සසඳා බැලීමෙන් අනතුරුව දරුවා ඔවුන්ට ලබා දීමට කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේ ය. මාධ්‍ය වාර්තා කුමක් කීවත් දරුවා වෙනුවෙන් ඩීඑන්ඒ පරීක්ෂා කිරීමට ඉදිරිපත් වී තිබුණේ ජෙයරාජා පමණි. 

ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නා ලද මෙම ඡායාරූපයේ සිටින එදා බේබි 81 වූ ජෙයරාජා අභිලාෂ් දැන් 14 හැවිරිදි නව යව්වනයෙකි. චෙට්ටිපාලයම් විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අභිලාෂ් පවසන්නේ තම අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයකු වීම බවයි. දැන් ඔහුට නැගනියක ද සිටියි. අභිලාෂ්ගේ පියා කරණවෑමියකු ලෙස සේවය කරමින් තවමත් සුනාමියෙන් විනාශ වූ පවුලේ ජීවිතය ගොඩනගමින් සිටියි. මාධ්‍යවලින් ලැබුණු ප්‍ර‍සිද්ධිය නිසා ඔවුන්ට බොහෝ ආධාර උපකාර ලැබෙතැයි වරදවා වටහා ගැනීම හේතුවෙන් ඔවුන්ට එතරම් ආධාර උපකාර ද ලැබී නැත. 

එන්බීසී රූපවාහිනියේ ගුඩ් මෝනින් ඇමරිකා වැඩසටහන වෙනුවෙන් ඔවුන්ට ඇමරිකා එක්සත් ජනපදයට දින 13ක චාරිකාවක් ලැබිණි. අද එය සොඳුරු මතකයක් පමණි. බ්ලැක් රෙබෙල් මෝටර්සයිකල් ක්ලබ් නම් රොක් සංගීත කණ්ඩායම විසින් 2007දී නිකුත් කරන ලද ඇල්බමයට බේබි 81 ලෙස නම තබන ලදී. පළමු සතිය තුළ පමණක් එහි පිටපත් 14,000ක් අලෙවි වූ බව කියවේ. එහෙත්, සැබෑ බේබි 81ට එයින් ලැබුණු දෙයක් නැත. 

2004 දෙසැම්බර් 26දා ඉන්දියන් සාගර කලාපයේ සුනාමි ආපදා හේතුවෙන් පුද්ගලයන් මිලියන පහකට ඍජුව ම හානි සිදු විය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ තක්සේරු අනුව, ඒ අතර ගර්භනී හෝ ගබ්සා, පෝෂණ හා වෛද්‍ය අවශ්‍යතා වැනි ගර්භනීභාවය සම්බන්ධ සංකුලතාවලට මුහුණ දෙන කාන්තාවන් 150,000ක් සිටිය හ. ඉදිරි මාස තුනක කාලය තුළදී ආපදාවට මුහුණ දුන් කාන්තාවන් අතර දරු උපත් 50,000ක් සිදු විය. මෙම දරු උපත් සිදු වූයේ ආපදාවෙන් හානියට පත් සෞඛ්‍ය හා සූතිකාගාර ආදී පහසුකම් යථා තත්වයට පත් කරන්නට රජයන් යුහුසුළුව කටයුතු කරමින් සිටියදී ය. 

ආපදා හේතුවෙන් කාන්තාවන්ට පිරිසිදු හා ආරක්ෂිත අන්දමින් දරුවන් ප්‍ර‍සූත කිරීමේ අවස්ථාව අහිමි වෙයි. සාමාන්‍ය තත්වයන් යටතේ පවා දරු උපත් අතරින් 15%ක් පමණ සිදුවන්නේ සංකුලතා මැද ය. එම මව්වරුන්ට හා දරුවන්ට හදිසි සහාය අවශ්‍ය ය. 

කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ වෙනත් විශේෂ අවශ්‍යතා ද ආපදා තත්වයන්හිදී නොතකා හරින්නට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දෙයි. ඒ අතරට ජලය, ආහාර, නිවාස, වෛද්‍ය සත්කාර හා සනීපාරක්ෂක අවශ්‍යතා ඇතුළත් වේ. ආපදාවන්ට දක්වන මහා ප්‍ර‍තිචාර අතරතුරදී මෙවැනි කාරණා බොහෝ විට අමතක කර හරිනු ලබන බව එක්සත් ජාතීන්ගේ ජනහල අරමුදල පවසයි.

Views:
942