ලෝක ජනගහන දිනය: පවුල් සැලසුම මානව හිමිකමකි

by Ajith
09-Jul-2018

ජුලි 11දා ලෝක ජනගහන දිනයයි. අදින් වසර 29කට පෙර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලක සභාව විසින් ලෝක දැනුවත් කිරීමේ දිනයක් ලෙස ජුලි 11දා ලෝක ජනගහන දිනය ලෙස සැමරීම ආරම්භ කළේ ය. 

බිලියන 7.6ක් වන වත්මන් ලෝක ජනගහනය වෙනුවෙන් සමරනු ලබන 2018 ලෝක ජනගහන දිනයේ තේමාව වන්නේ පවුල් සැලසුම මානව හිමිකමක් බවයි. 

‘දරුවන් ලබන සංඛ්‍යාව හා ඔවුන් අතර පරතරය තීරණය කිරීමේ මූලික හිමිකමක් මව්පියන්ට තිබේ, යි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුළුව විසින් තීරණය කරනු ලැබුවේ අදින් පනස් වසරකට පෙර 1968 මැයි 13දා ටෙහෙරාන්හිදී ය.

පවුල් සැලසුම හුදෙක් ම මානව හිමිකම් පිළිබඳ කාරණයක් පමණක් නොවන බවත්, එය කාන්තාවන් බලසතු කිරීම, දිළිඳුකම දුරලීම සහ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සමග ද සම්බන්ධ බවත්, ලෝක ජනගහන දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා නතාලියා කැනෙම් පැවසුවා ය.

‘‘එහෙත්, සංවර්ධනය වෙමින් තිබෙන රටවල මිලියන 214ක් කාන්තාවන්ට තවමත් සුරක්ෂිත හා කාර්යක්ෂම පවුල් සැලසුම් ක්‍ර‍මවල අඩුවක් තිබේ. ඒ පිළිබ‍ඳ තොරතුරු මඳකමේ සිට ඔවුන්ගේ සැමියන් හෝ එකට ජීවත් වන්නන් හෝ ප්‍ර‍ජාව හෝ දක්වන සහයෝගයේ මඳකම දක්වා විවිධාකාර හේතු රැකස් එය පසුබිමේ තිබේ. මේ නිසා ඔවුන්ට තමන්, තම පවුල හා ප්‍ර‍ජාව වෙනුවෙන් වඩා යහපත් අනාගතයක් නිර්මානය කරගැනීමේ හැකියාවට තර්ජනයක් ඇති වේ," යි ද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල යනු සංවර්ධනය වෙමින් පවතින රටවල පවුල් සැලසුම්කරණය සඳහා උපකාර කරන, ඒ වෙනුවෙන් නවීන උපත්පාලන ක්‍ර‍ම විශ්වාසදායී ලෙස සැපයීම, ජාතික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව ප්‍ර‍වර්ධනය කිරීම සිදු කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයයි.

2030 වන විට, සංවර්ධනය වෙමින් තිබෙන සියලු රටවල ස්වේච්ඡා පවුල් සැලසුම් අවශ්‍යතා සම්බන්ධ සේවා සැපයීමේ අඩුපාඩු මගහැරීම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය දර්ශකයකි. ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යාරක්ෂාව සහ ප්‍ර‍ජනන හිමිකම් වෙත ඇපකැප වෙමින් පවුල් සැලසුම් සේවා සහ ඒ පිළිබඳ තොරතුරු ද ජනතාව වෙත ලබා දීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය 1994දී පැවැත්වුණු ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදීත්, තිරසාර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රයේදීත් එකඟත්වය පළ කර තිබේ.

“ආණ්ඩු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය ඒ සඳහා අත්වැල් බැඳගත යුතු ය. ආරම්භයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය පවුල් සැලසුම් අරමුදල් පරතරය පියවීමට එක් පුද්ගලයකු වෙනුවෙන් වසරකට ශ්‍රී ලංකා රුපියල් 30ක් වැනි සුළු මුදලක් වෙන් කළ හැකි ය. එයින් පවුල්වලට, සමාජයට සහ ජාතීන්ට ලැබෙන ප්‍ර‍තිලාභය සලකා බැලූ විට, එය ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් මූලෝපායික සහ ප්‍රායෝගික ආයෝජනයකි," යි කැනෙම් මහත්මිය සිය නිවේදනයේ සඳහන් කරයි. 

ලෝක ජනගහන දිනය සමරනු පිණිස ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල,  කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සිය පරම්පරාන්තර සංවාද වැඩසටහනක් පවත්වයි. පස්වෙනි වරට පවත්වනු ලබන මෙම පරම්පරාන්තර සංවාදයේ තේමාව වන්නේ ශ්‍රී ලංකාවේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපන  අවශ්‍යතාවයි.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 – 29 අතර ලක්ෂ 44ක තරුණ ජනගහනයක් ජීවත් වෙති. 2013 ජාතික තරුණ සෞඛ්‍ය සමීක්ෂණය විසින් තරුණ ප්‍ර‍ජාවෙන් 50%කට ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් තිබෙන්නේ සීමිත දැනුමක් බව හඳුනාගන්නා ලදී.

2015දී පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් නිවේදනය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ නවයොවුන් වියේ ගැබ්ගැනීම් 5.2%ක මට්ටමේ පවතී. එහෙත්, ඇතැම් පළාත්වල විශාල වෙනස්කම් තිබේ. ඇතැම් විට එය 8-9% මට්ටමේ තිබේ. 2017 වසරේ එච්අයිවී සමග ජීවත් වන ප්‍ර‍ජාවට අපකීර්තිමත් ලෙස සැලකීමේ තක්සේරුව විසින් දක්වනු ලබන ආකාරයට ශ්‍රී ලංකාවේ එච්අයිවී ව්‍යාප්තිය 0.01%ට වඩා අඩු ය. එහෙත්, නව ආසාදන වර්ධනය වන බවක් දක්නට ලැබේ. විශේෂයෙන් ම තරුණ ප්‍ර‍ජාව අතර එය දැකිය හැකි ය. මෑතදී ඇති වූ වාර්ගික ප්‍ර‍ණ්ඩත්වය, විශේෂයෙන් ම අම්පාරේ සිදුවීම, පැනනැගුණේ ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ වැරදි තොරතුරු නිසා ය. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාව එමගින් ද අවධාරණය කෙරේ.

සංවාදය පදනම් වන්නේ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර තාක්ෂණික මාර්ගෝපදේශය මත ය. ගෝලීය මාර්ගෝපදේශයක් වන එය මෙම වසර මුලදී දියත් කරන ලදී. UNESCO නායකත්වයෙන් එය සංවර්ධනය කිරීම සඳහා UNAIDS, UNFPA, UNICEF, UNWOMEN, සහ WHO සහභාගි වූ හ. 

Views:
1112