නාය යාමෙන් දෙමසකට පසු කිරිබත්ගල කුරහන

by Ajith
26-Jul-2017

කිරිබත්ගල කියන්නෙ මුහුදු මට්ටමේ සිට මීටර් 601ක් උස මුදුනක් සහිත කන්දක්. කුරහන කියන්නෙ ඒ කන්ද පාමුල පිහිටා තිබෙන හුදකලා ගම්මානයක්. මේ ගමේ නම මීට මාස දෙකකට කලින් එතරම් ප්‍ර‍සිද්ධ නමක් වුණේ නැහැ. ඒත්, පසුගිය මැයි මාසේ 26වෙනිදායින් පසුව කුරහන නම ජාත්‍යන්තරවත් ප්‍ර‍සිද්ධ වුණා.

හැබැයි, ඒ ප්‍ර‍සිද්ධිය ගැන දැනගන්නට ගමේ මිනිසුන් 26දෙනෙකුට අවස්ථාව ලැබුණෙ නැහැ. මහ වැසිවලින් පසුව උදේ කඩා වැටුණු පස්, ගල්, බොරළු, ගස් කන්දට යට වෙලා මිය ගිය ඒ ගැහැනුන්, පිරිමින් හා ළමයින් අතරින් 10දෙනෙකුගේ මළසිරුරු නැවත නො දකින්නට ම තමන්ට එතෙක් ජීවිතය දුන් පොළවේ ම වැළලී ගියා. සොයා ගත් මළසිරුරු 14ක් එක ම වලක මිහිදන් කෙරුණා.

ඒ සිද්ධියට දෙමසක් ගත වෙන්නට කලින් දවසේ අපි කුරහන ගම්වැසියන්ගේ දුක සැප බලන්නට ඔවුන් දැන් ජීවත් වන කිරිබත්ගල පාසලේ ක්‍රීඩා පිටියේ පිහිටුවා තිබෙන කවුරට ගියා. එදා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ දායකත්වයෙන් කාන්තා පිහිට සංවිධානය විසින් මෙහෙයවන ලද මානසික උපදේශන වැඩසටහනක් ද ඒ භූමියේ පැවැත්වුණා. 

එය ඔවුන්ට අවශ්‍ය දෙයක්. උදාහරණයක් ලෙස, අට හැවිරිදි තත්සර උමාෂ දරුවාට තවමත් බියෙන් පසු වන බව ඔහුගේ මව චමිලා රසංගනී පැවසුවා. 

“රෑ පුරා වැස්සා. උදේ හෙලිකොප්ටරයක් යනවා වගේ ශබ්දයක් ඇහුණා. මම බිම සිටි දරුවා වඩා ගත්තා. එතකොටම එක පාරට ගේ ඇතුළට පස් කඩා වැටුණා. මම පුතා කොහෙද බැලුවා. පේන්න හිටියෙ නැහැ. අම්මා කිව්වා පුතා බේබි කබඩ් එක ළඟ හිටියා කියලා. අපි පස් අයින් කරනකොට පුතා මුනින් වැටී ඉන්නවා දැක්කා. මගේ සැමියාත්, අපත් එකතු වෙලා ඉතා අමාරුවෙන් පස් අයින් කරලා පුතාවත් බේරාගෙන පහළට දිව්වා. සුළු වේලාවකට පසුව පස් කන්ද නැවතත් නාය ගිහින් අපේ ගේ යට වුණා," ඇය පැවසුවා. 

මේ නාය යාමෙන් නිවාස 15ක් පමණ මුළුමනින් ම විනාශ වුණා. තවත් නිවාස රැසක් දැඩි අවදානමට ලක් වුණා. ඒ ඇතැම් නිවාස ඉතා වෙහෙස මහන්සියෙන්, කාලයක් තිස්සේ ගොඩනගා ගත් අංග සම්පූර්ණ නිවාසයි. 

කිරිබත්ගල කඳවුරේ පවුල් 28කට අයත් පුද්ගලයන් 82ක් ජීවත් වෙනවා. එයින් 40කට වැඩි පිරිසක් කාන්තාවෝයි. ළමයිනුත් 25කට වඩා ඉන්නවා. 

ඔවුන්ට රජය හා වර්ල්ඩ් විෂන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන උපකාර කරනවා. කූඩාරමවල රස්නය අධිකයි. දිස්නා කුමාරි සමරතුංගගේ කූඩාරමට පිවිසුණු අප දුටුවේ එය මනා පවිත්‍ර‍තාවකින් පවත්වාගෙන යන හැටියි. ඇගේ සැමියා නිවසින් බැහැරව කොළඹ ප්‍රදේශයේ නාවික හමුදාවේ රැකියාවක් කරනවා. ඇගේ දරුවාට වයස අවුරුද්දක් සහ මාස අටක් වෙනවා. බිම තෙත් ගතිය හා රළු ගතිය නැති කර ගන්නටත්, දරුවාට පහසු වන්නටත් ඔවුන් බිම ලෑලි අතුරා සකසා තිබුණා.

“මේ මගේ අයියාගේ පවුල,“ ඇය මේසයක් මත තබා තිබූ පිංතූරයක් පෙන්වමින් කිව්වා. “මුළු ගේම පස් කන්දට යට වුණා. දුවගේ සිරුරත්, අයියාගේ සිරුරෙන් භාගයකුත් විතරයි සොයා ගත්තේ."

කාන්තා පිහිට සංවිධානයෙන් ඔවුන් වෙනුවෙන් වෘත්තීය පුහුණු වැඩසටහනකුත් පවත්වාගෙන යනවා. පොල්කටු හැඳි, බටපොතු කුළු වැනි අත්කම් නිෂ්පාදන ඔවුන් කරනවා. 

“වෙළඳපොළටත් වඩා අප මෙහිදී ඉලක්ක කරන්නේ ඔවුන් යම් කාර්යයක නිමග්න කිරීමයි. එය මානසික සුවපත් කිරීම සඳහා වැදගත්," කාන්තා පිහිට සංවිධානයේ එම්. කේ. රම්‍යලතා අප සමග පැවසුවා. 

කුරහන කේ.ඩබ්ලිව්. විපුලසේන වයස අවුරුදු 60ට වඩා වැඩි කෙනෙක්. කඳවුරේ පිරිමි බොහෝ දෙනෙකු ජීවනෝපාය සඳහා පිටත ගිහින් තිබුණා.

“සමහරුන්ගේ තේ ඉඩම් සම්පූර්ණයෙන් ම විනාශ වුණා. තේ වගාවට හානි නො වුණ අය අවදානම් කලාපයේ වුණත් ගිහින් තේ දළු නෙළා ගන්නවා. අනෙක් අය කුලී වැඩ වැනි දේවල් කරනවා," විපුලසේන විස්තර කළා. 

“රජය අපට ලබා දීම සඳහා විකල්ප ඉඩම් හඳුනා ගනිමින් සිටින බව දැනගන්නට ලැබුණා. ඒත්, තව කොච්චර කලක් මෙතන ඉන්නට වෙයිද දන්නෙ නැහැ. මේ කූඩාරම්වල ජීවිතය හරි අමාරුයි."

රෝහිණී රාජපක්ෂගේ දරුවා ඉපිද, නිවසට ගෙනැවිත් දින යන්තම් දින දෙකක් ගත වෙන්නැති මේ අාපදාව සිදු වන විට. ඇයට සිව්හැවිරිදි හා 13හැවිරිදි දියණියන් දෙදෙනෙකුත් ඉන්නවා. සිව් හැවිරිදි දියණිය මෞත්‍ර‍ පද්ධතිය හා සම්බන්ධ රෝගී තත්වයකට ප්‍ර‍තිකාර ගනිමින් ඉන්නවා. 

“මේ ආපදාවෙන් පසු මිනිසුන් බොහෝ ආධාර අරගෙන ආවා. ඒවා ඔක්කොම එකතු කරලා එක් ගබඩාවක තබලා, සතියකට වතාවක් සමෘද්ධි නියාමක මහතාගේ මූලිකත්වයෙන්, අවශ්‍ය ප්‍ර‍මාණයට පවුල්වලට බෙදා දෙනවා. අපට ඒ බඩු තව මාසයකට වඩා වැඩි කාලයකට ප්‍ර‍මාණවත් වේවි," කඳවුරු වැසියන් අප සමග කීවා. 

එහෙත්, ප්‍රියයන්ගේ වියෝවෙන් දැවෙන හදවත් සනසන්නටත්, එසේම, ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවන්නටත්, හානි වූ නිවාස හා දේපල ප්‍ර‍තිපූරණය කරන්නටත් කළ යුතු දේවල් රැසක් තිබෙනවා. එය සමස්ත සමාජයේ ම වගකීමක්. 

ඡායාරූප:

1. කිරිබත්ගල කඳු පාමුල කිරිබත්ගල පාසලේ පිටියේ සැදි කුරහන මිනිසුන්ගේ කඳවුර

2. නිවසක් විනාශ වී ඇති අයුරු. මෙම නිවස තුළ අඩි දෙකකට වඩා උද ඝන මඩ හා ගල් තට්ටුවකි.

3. දිස්නා කුමාරි සමරතුංගගේ කූඩාරම

4. රෝහිණී රාජපක්ෂ දරු පවුල සමග

Views:
1120