ඇඟලුම් කර්මාන්තයේ කාන්තාවන් බලසතු කිරීමට MAS වෙතින් පියවර

by Ajith
14-Mar-2018

2018 වසරේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය විසින් උපයනු ලබන විදේශ විනිමය ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන පහේ සීමාව ඉක්මවා යනු ඇත. 2017 වසරේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 4.88ක් විය. රෙදි අපනයන ද සමග ගත් විට ගිය අවුරුද්දේ ද ශ්‍රී ලංකාව ඇඟලුම් හා රෙදි අපනයන මගින් ඉපැයූ ආදායම ඩොලර් බිලියන 5 ඉක්මවී ය. 

ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ශ්‍ර‍ම බලකායෙන් 15%කට රැකියා සපයන අංශයයි.  එහි සුවිශේෂ ම ලක්ෂණය වන්නේ ඇඟලුම් කර්මාන්තයේ ශ්‍ර‍මිකයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන් වීමයි. විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල විරැකියාව නැති කිරීමටත්, ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, විශේෂයෙන් ම කාන්තාවන් බලසතු කරන්නටත් ඇඟලුම් කර්මාන්තය විසින් විවර කර දෙන ලද රැකියා දොරටු ඉවහල් වී තිබෙන බව පිළිගත යුතුයි.

කාන්තා මූලික කර්මාන්තයක් වූ ඇඟලුම් කර්මාන්තය තුළ කාන්තාවන්ගේ ප්‍ර‍ශ්න කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු වීම අත්‍යවශ්‍ය ය. එය කාන්තාවන් බලසතු කිරීමෙහිදී අතිශය වැදගත් ය. 

එහෙත්, රැකියා ක්ෂේත්‍ර තුළ ස්ත්‍රී පුරුස සමාජභාවය මත පදනම් වූ හිංසනය පැතිරීම ශ්‍රී ලංකාවේ ඉතා සුලබ තත්වයකි. එම තත්වය හේතුවෙන් කාන්තාවන් ශ්‍ර‍ම බලකාය වෙත යොමු වීම ද අඩු වී තිබේ. දැනට වැඩ කළ හැකි වයසේ ශ්‍රී ලාංකික කාන්තාවන් අතරින් ශ්‍රම බලකාය තුළ සිටින්නේ තුනෙන් එකක් පමණි.

ශ්‍රී ලංකාවේ ශ්‍ර‍ම බලකායේ කාන්තා සහභාගිත්වය 2006දී 39%ක් ව තිබී 2014 වන විට 36.3%ක් දක්වා අඩු වී තිබෙනවා. මෙම තත්වය වෙනස් කිරීමට නම් සංවිධාන විසින් කාන්තා ශ්‍ර‍මිකයන්ට හිතකර වැඩ සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඉවහල් වන සමාගම් ප්‍ර‍තිපත්ති අඛණ්ඩව විවරණය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල  (UNFPA) පෙන්වා දෙයි.

මේ වන විට ඇඟලුම් කර්මාන්තය තුළ ශ්‍ර‍ම හිඟයක් දක්නට ලැබේ. එවන් සංදර්භයක් තුළ, විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් ශ්‍ර‍ම බලකාය වෙත ආකර්ශනය කර ගැනීමේ ලා ඇඟලුම් කර්මාන්තය විශාල වැඩ කොටසක් කරයි. ගම්බද ප්‍රදේශවල පිහිටුවා තිබෙන ඇඟලුම් කර්මාන්තශාලා ශ්‍ර‍මිකයන්ට වරප්‍ර‍සාද රැසක් පිරිනමනු දැකිය හැකි ය.

ඇඟලුම් කර්මාන්තයේ සාමාන්‍ය කාන්තා ශ්‍ර‍මිකයකුට මූලික වැටුප රු. 18,000ක් පමණ ද, දිරි දීමනා ආදිය සමග රු. 35,000ක පමණ සාමාන්‍ය මාසික වැටුපක් ද, නොමිළේ නිල ඇඳුම්, ප්‍ර‍වාහනය, විනෝදාස්වාද අවස්ථා, වාර්ෂික විනෝද චාරිකා සහ නොමිළේ ආහාර වේලක් ද  සපයන ඇඟලුම් කම්හල් තිබේ. 

ඇතැම් සමාගම් මේ වන විට සේවක සුබසාධනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන ආකාරය දක්නට ලැබේ. එවැනි එක් වැඩසටහනක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව පසුගියදා අපට ලැබිණි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පිහිටි MAS ඉන්ටිමේට් ස්ලිම්ලයින් කර්මාන්තශාලාවේදී ය. 

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් විශේෂඥ දායකත්වය සපයමින්  MAS ඉන්ටිමේට් හා ඇක්ටිව් සමාගම්වල ඇඟලුම් කම්හල් රැසක මානව සම්පත් විධායක නිලධාරීන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව පිළිබඳ පුහුණුවීම් ලබා දෙන ලදී. මෙම පුහුණුවීම්වලට සහභාගි වූ මානව සම්පත් විධායක නිලධාරීන් විසින් පන්නල ස්ලිම්ලයින් කම්හලේ කණ්ඩායම් නායකයන් පිරිසක් වෙනුවෙන් පවත්වන ලද පුහුණුවක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව අපට ලැබිණි. 

මෙම වැඩසටහන මෙහෙයවූ පුහුණුකරුවා වන ශාන් ගුණතිලක එම වැඩසටහන විස්තර කළේ මෙසේ ය: “මම ශාන් ගුණතිලක. ස්ලිම්ලයින් ආයතනයේ මානව සම්පත් විධායකවරයෙක්. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අපි මෙම පුහුණුවේදී සාකච්ඡා කරන්නට යන්නෙ කාන්තා හිංසනය පිටුදකින්නේ කොහොමද කියන එකයි. පවුල තුළදී, මහමගදී, සේවා ස්ථානයේදී සිදු වන කාන්තා හිංසනය අවම කරන්නේ කොහොමද කියා අපි සාකච්ඡා කරනවා. ඒ සඳහා අප කාටත් මැදිහත්කරුවන් විය හැකි බවත්, කාන්තා හිංසනය පිටුදැකීමේ අවශ්‍යතාව පිළිබඳ පණිවුඩය සමාජයට ගෙන යා යුතු බවත් අපි පෙන්වා දෙනවා."

ශාන් ගුණතිලකකී අයුරින් ම ඔහු ඉතා ආකර්ශනීය ලෙස මෙම වැඩසටහන මෙහෙයවූ අතර කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට පිරිස සහභාගි වුණේ මහත් උනන්දුවකිනි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කුමක් ද යන්නත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍ර‍චණ්ඩත්වය හඳුනා ගැනීම හා එය වළක්වා ගැනීමට කටයුතු කළ හැකි ආකාර පිළිබඳවත් කණ්ඩායම් නායකයන් පිරිස මහත් උනන්දුවෙන් සාකච්ඡා කළ අතර ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරීම් ද සිදු කළ හ. 

මෙම වැඩසටහන දියත් වුණේ MAS සමාගමේ ආයතනවල දියත් වන කාන්තාවන් පෙරමුණට හෙවත් Women Go Beyond වැඩසටහන යටතේයි. මෙම වැඩසටහන ඔස්සේ කරන දැනුවත් කිරීම හරහා කාන්තා හිංසනය අවම කර ගැනීමට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව මානව සම්පත් විධායකවරියක වන නිල්මිණි ජයසිංහ පැවසුවා ය. කණ්ඩායම් නායකයන් පුහුණු කිරීම හරහා මෙම පණිවුඩය සියලු සේවක, සේවිකාවන් වෙත සන්නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවසුවා ය. නිල්මිණි ජාත්‍යන්තර පදක්කම්ලාභී බොක්සිං ශූරියකි. ඇය සිය ක්‍රීඩාව සංවර්ධනය කරගෙන තිබෙන්නේ ද ස්ලිම්ලයින් ආයතනය හරහා බව පැවසුවා ය. 

2003 වසරේදී ආරම්භ කරන ලද කාන්තාවන් පෙරමුණට වැඩසටහනේ අරමුණු හතරක් ඇති බව එම වැඩසටහනේ කළමනාකාරිනී නිලන්ජනී හිදැල්ලආරච්චි පැවසුවා. ඒ අරමුණු වන්නේ වෘත්තීය සංවර්ධනය, කුසලතා ඔප් නැංවීම, වැඩත් ජීවිතය ත් අතර තුලනය සහ විශිෂ්ටත්වය සම්මානයට ලක් කිරීමයි. 

ශ්‍රී ලංකාවේ වැඩි ම කාන්තාවන් ප්‍ර‍මාණයක් රැකියා කරන පෞද්ගලික අංශයේ ආයතනය වන MAS සමාගමේ දිවයින පුරා ඇති කර්මාන්තශාලා 15ක හා විදෙස් රටවල ද සේවය කරන සේවක සේවිකාවන් 87,000ක් පමණ පිරිසෙන් 70%ක් කාන්තාවන් බව ද නිලන්ජනී පෙන්වා දුන්නා. MAS ඉන්ටිමේට් ස්ලිම්ලයින් ආයතනයේ කාර්ය මණ්ඩලයෙන් 90%ක් ම කාන්තාවන් බව නිල්මිණි ජයසිංහ පැවසුවා. 

කාන්තාවන් බලසතු කිරීමේ ගමනේදී ස්ලිම්ලයින් ආයතනය විසින් සමරනු ලබන සාර්ථකත්වයන් රැසක් තිබෙනවා. ඒ අතරින් එකක් තමයි කටර්, ප්‍රින්ටර්, මිකැනික් වැනි සාමාන්‍යයෙන් කාන්තාවන් යොමු නො වන රැකියා ක්ෂේත්‍ර‍වලට කාන්තාවන් යොමු වීම. 

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල MAS සමාගම සමග අත්වැල් බැඳගත්තේ වැඩ වාතාවරණයන් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතා සහ පරතරයන් හඳුනා ගැනීමේ සහ ඒවාට පිළියම් යෙදීමේ සමාගම් ප්‍ර‍තිපත්ති හා වැඩසටහන් ශක්තිමත් කිරීමට උපකාර පිණිසයි.

Views:
3799