ලිංගික හිංසනයක් සිදුවීමේ තර්ජනයක් සහ අවදානමක් අතර වෙනස

by Ajith
20-Nov-2018

තර්ජනය (threat) සහ අවදානම (risk) යන වචන දෙක අපි නිතර පාවිච්චි කරනවා. තර්ජනයක් තිබෙනවා හෝ අවදානමක් තිබෙනවා හෝ යයි කියනවා.

තර්ජනයක් යනු කුමක්දැයි අපි සරල උදාහරණයකින් තේරුම් ගනිමු. ඔබ ගැහැණියක නම්, ඔබ පොදු ප්‍ර‍වාහන බසයක ගමන් කරමින් සිටිනවා නම්, එම බසය සෙනගින් පිරී ඉතිරී තිබේ නම්, ඔබ අවට නාඳුනන පිරිමින් රැසක් සිටිනවා නම්, ඔබ ලිංගික හිංසනයට ලක් වීමේ තර්ජනයක් තිබෙනවා. 

තර්ජනයක් යනු අනතුරක් සිදුවීමට තිබෙන හැකියාව හා අවස්ථාවයි. 

මෙම තර්ජනය සම්බන්ධයෙන් කිසිවක් කිරීමේ හැකියාව ඔබට නැහැ. මන්ද අවට වැරදිකරුවන් වීමට ඉඩ ඇති අය සිටින එක වළක්වන්නට ඔබට හැකියාවක් නැහැ. 

එහෙත් අවදානමක් තර්ජනයකින් වෙනස්. ඔබට තර්ජනය වළක්වාගැනීමට බැරි වුණත් අවදානම වළක්වාගන්නට පුළුවන්. 

අවදානම ගණනය කරගන්නට මෙහෙම පුළුවන්. අවදානම යනු තර්ජනයක් ඇති වීමේ හැකියාවට එදිරිව එය සිදු වුණොත් ඇතිවන බලපෑමයි.

ඉහත උදාහරණයෙන් බැලුවොත්, සෙනග පිරි බසයේදී ඔබට ලිංගික හිංසනයක් සිදු වෙන්නට තිබෙන හැකියාව ඉහළයි. එහෙම වුණොත් එහි බලපෑමත් ප්‍ර‍බලයි. එයින් ඔබට සැලකියයුතු හානියක් සිදු විය හැකියි. 

වීමේ හැකියාවත්, බලපෑමත් ඉහළ මට්ටමක තිබෙන නිසා ඔබ මුහුණ දෙන අවදානමත් ඉහළයි. 

මෙහිදී ඔබට කළ හැකි දෙයක් වන්නේ වීමේ හැකියාව අවම කරගැනීමයි. ඔබ සිටගෙන හෝ වාඩි වී සිටින ස්ථානය වෙනස් කරන්නට පුළුවන්. ඔබ ඉන්නේ කාන්තාවන් අතර නම් ඔබට ලිංගික හිංසනයක් සිදුවීමේ හැකියාව අවමයි. එසේම, යම් හිංසනයක් ආරම්භ වන විට ම ඒ පිළිබඳ විනීත ලෙස අවට සිටින අයටත් දැනගන්නට ලැබෙන පරිදි දැනුවත් කරන්නට පුළුවන්. “කරුණාකර ඔබේ අත ඉවතට ගන්න." 

තර්ජන නැති කරන්නට බැහැ. අපට කරන්නට පුළුවන් වළක්වාගැනීම හා අවම කරගැනීමයි. එමගින් අවදානම වළක්වාගන්නට පුළුවන්.  

Views:
827