නව යොවුන් වියේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හිමිකම් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ

by Ajith
08-Nov-2018

නව යොවුන් විය කියන්නේ වයස අවුරුදු 10 සිට 19 දක්වා වයසයි. මේ වයස ළමයකුගේ කායික හා මානසික සංවර්ධනයේදී ඉතාම වැදගත් අවධියක්. ළමයා ලිංගික පරිණතභාවය ලබමින් වැඩිහිටියකු බවට වර්ධනය වන්නේ මේ අතරමැදි අවධියේදීයි. ඒ වර්ධනය හා සම්බන්ධ ශාරීරික, මානසික, සමාජමය හා සංස්කෘතික කාරණා රැසක් තිබෙනවා. එබැවින් මේ වයසේදී දරුවා ලබන අධ්‍යාපනයට ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ දැනුමත්, ඒ සම්බන්ධ අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයත් අත්‍යවශ්‍යයි. 

නව යොවුන් වියේ පුද්ගලයන්ගේ මානව හිමිකම්, සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ දැනුම ඔවුන්ට පහසුවෙන් ළඟා කරගෙන තේරුම් ගත හැකි වන පරිදි  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ සංග්‍ර‍හයක් සකස් කර තිබේ. 

එය ප්‍ර‍ධාන වශයෙන් නවයොවුන් වියේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හා හිමිකම් පිළිබඳ කටයුතු කරන උද්දේශකයන්, ප්‍ර‍තිපත්ති සම්පාදකයන්, වැඩසටහන් සැලසුම්කරුවන් හා ක්‍රියාත්මක කරන්නන් ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබේ. එහි පහත දැක්වෙන කාරණා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

• පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය සම්පාදනය

• උපත් පාලන උපදේශනය හා සේවා සම්පාදනය 

• පූර්ව ප්‍ර‍සව, අන්තර් ප්‍ර‍සව හා පශ්චාත් ප්‍ර‍සව සත්කාර

• සුරක්ෂිත ගබ්සා සත්කාර

• ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළැක්වීම හා ප්‍ර‍තිකාර

• මානව ප්‍ර‍තිශක්ති ඌනතා වයිරසය (HIV) වැළැක්වීම හා ප්‍ර‍තිකාර කිරීම

 • කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍ර‍චණ්ඩත්වය වැළැක්වීම, උපකාර කිරීම හා ප්‍ර‍තිකර්ම

• හානිකර සම්ප්‍ර‍දායික භාවිතාවන් වැළැක්වීම

මෙම මාර්ගෝපදේශ සංග්‍ර‍හයේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය අර්ථ නිරූපණය කර තිබෙන්නේ මෙසේ ය: ‘‘පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය යනු ලිංගිකත්වයේ ඥානාත්මක, භාවමය, භෞතික සහ සමාජ සාධක හා සම්බන්ධ විෂය මාලා පාදක ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලියකි. එහි අරමුණ වන්නේ ළමයින් හා නවයොවුන් වියේ පුද්ගලයන් දැනු‍ෙ කුසලතාවලින්, ආකල්පවලින් සහ වටිනාකම්වලින් සන්නද්ධ කිරීමයි. එමගින් ඔවුන් තමන්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ ගරුත්වය පිළිබඳ බලසතු කරනු ලැබේ. ගෞරවනීය සමාජ හා ලිංගික සම්බන්ධතා ඇති කරනු ලැබේ. ඔවුන්ගේ හා වෙනත් අයගේ යහපැවැත්මට ඔවුන්ගේ තෝරාගැනීම් බලපාන සැලකිල්ලට ගනු ලැබේ. ජීවිත කාලය පුරා ඔවුන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම තේරුම් ගැනීම හා තහවුරු කිරීම කරනු ලැබේ."

නව යොවුන් වියේ පුද්ගලයන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හා හිමිකම් සම්බන්ධ උනන්දුවක් දක්වන ඔබටත් මෙම මාර්ගෝපදේශ සංග්‍ර‍හය අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇත. එයට මෙතනින් පිවිසිය හැකි ය. 

WHO recommendations on adolescent sexual and reproductive health and rights     

Views:
4479