දිල්ලි සමූහ දූෂණය එහෙම වුණේ ඇයි? Anatomy of Violence චිත්‍ර‍පටය බලන්නට ඔබත් එන්න

by Ajith
03-Jan-2018

2012 වසරේ දෙසැම්බර් 16දා සිය මිතුරාත් සමග 'ලයිෆ් ඔෆ් පයි' චිත්‍ර‍පටය බැලූ අතුරු වෛද්‍ය සිසුවියක වූ 23 හැවිරිදි තරුණියක් දිල්ලියේ දකුණුදිග දිල්ලියේ බස් නැවතුමකට පැමිණියේ නිවෙස් බලා යාමටයි. ඒ වන විට වේලාව රාත්‍රී 9ට පමණ ඇති. ඔවුන්ට පොදු ප්‍ර‍වාහන බසයක් අල්ලා ගත නො හැකි වුණ නිසා ඔවුන් කුලී බස්රියකට ගොඩ වුණේ එහි කොන්දොස්තර ලෙස පෙනී සිටි ළමයා ඔවුන්ට කතා කළ නිසායි. ඔවුන් ඒ වෙනුවෙන් ගාස්තු ද ගෙවා බසයේ යන විට එහි සිටි පුද්යගලන් සයදෙනෙකු එකතුව තරුණයාට පහර දී බසයේ යමින් සිටියදී ම තරුණිය ද දූෂණය කළා. එයින් නො නැවතුණු ඔවුන් ඇගේ යෝනි මාර්ගයෙන් යකඩ කූරක් ඇතුළු කර ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියට දැඩි හානි සිදු කළා. අනතුරුව ඔවුන් දෙදෙනා ම බසයෙන් මහමගට ඇද දමනු ලැබුවා. 

රෝහල්ගත කරන ලද තරුණිය දින 13කට පසු අතිශය වේදනාත්මක මරණයකට ගොදුරු වුණා. 

මෙම වැරදිකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන නඩු විභාගකට අනතුරු ඔවුන් අතරින් සිව්දෙනෙකුට මරණ දඬුවම නියම කළා. ඊට පෙර එක් සැකකරුවකු සිරගෙදරදී ගෙල වැළ ලාගෙන මරණයට පත් වුණා. තවත් එක් වැරදිකරුවකු වයස අවුරුදු 18ට මාස පහක් අඩු වූ අයකු නිසා ඔහු මරණ දඬුවමෙන් ගැලවුණා. ඔහුගේ නඩුව විභාග කරනු ලැබුවේ බාල වයස්කරුවන් වෙනුවෙන් වූ අධිකරණයකයි. ඔහුට පණවනු ලැබුවේ සාපේක්ෂව සුළු දඬුවමක්. මේ වැරදිකරුවන් දිළිඳු පසුබිමකින් පැවත එන නූගත් අයයි. හොඳ අධ්‍යාපනයක් ලබා තිබුණේ ඔවුන්ගෙන් එක් අයෙකු පමණයි. 

2016දී මෙම සිද්ධිය පාදක කරගෙන චිත්‍ර‍පටයක් නිර්මානය වුණා. ඉන්දියාවේ උපන්, කැනඩාව පදනම් කර ගත් ජාත්‍යන්තර කීර්තිධර චිත්‍ර‍පට අධ්‍යක්ෂවරියක වන දීපා මේතා විසින් මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් සයදෙනාගේ ජීවිත පසුබිම ප්‍ර‍බන්ධාත්මක ලෙස නිරූපණය කරමින් ඔවුන් මෙම අපරාධයට යොමු වුණ පසුබිම පිළිබඳ විමසුවා. 

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබ ජාත්‍යන්තර කීර්තියට පත් චිත්‍ර‍පට අධ්‍යක්ෂිකා දීපා මේතාගේ Anatomy of Violence චිත්‍ර‍පටය 2018 ජනවාරි 9දා අඟහරුවාදා ප.ව. 3.30ට කොළඹ 7, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේ සිනමා ශාලාවේදී ප්‍ර‍දර්ශනය කරනු ලැබේ.

මෙම චිත්‍ර‍පට දර්ශනයෙන් අනතුරුව පැවැත්වෙන සාකච්ඡා සභාවට චිත්‍ර‍පටයේ අධ්‍යක්ෂිකා දීපා මේතා සහභාගි වනු ඇත.

දීපා මේතා සම්මානලාභී චිත්‍ර‍පට ගණනාවක් ම නිර්මාණය කර තිබෙනවා. 

පහත දැක්වෙන්නේ ඇගේ චිත්‍ර‍පට ලැයිස්තුවයි. 

ඇගේ වෝටර් චිත්‍ර‍පටය රූගත කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේයි. එහි ප්‍ර‍ධාන ළමා චරිතය නිරූපණය කරනු ලැබුවේ ද ලාංකික ළමා නිළියක වූ සරලා කාරියවසම් විසිනුයි.

මෑතදී ලක්බිම පුවත්පතේ පළ වූ ඇගේ සම්මුඛ සාකච්ඡාවක් මෙතැනින්.  

ප්‍රවේශපත්‍ර‍ නොමිළේ. ලියාපදිංචිය මෙතැනින්. මුලින් එන අයට මුලින් ආසන.

චිත්‍ර‍පටය ළමයින්ට සුදුසු නැති බව කරුණාවෙන් සලකන්න.

Views:
1180