ශ්‍රී ලංකාවේ ලක්ෂ හතළිහකට වඩා දියවැඩියා රෝගීන්

by Ajith
14-Nov-2017

දියවැඩියාව මේ වන විට ජනගහණය සම්බන්ධ ලෝක ප්‍ර‍ශ්නයක් වී තිබේ. එයට හේතුව එය ඒ තරම් ම ලෝකයේ ව්‍යාප්ත වීම හා ජනගහණයේ සෞඛ්‍යයට හා පැවැත්මට ප්‍ර‍ශ්නයක් වී තිබීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ලොව පුරා මිලියන 422ක් ජනතාව පෙළන දියවැඩියාව 2012දී මරණ මිලියන 1.5කට හේතුව විය. 2030 වන විට ලොව සත්වන මාරාන්තික රෝගී තත්වය බවට දියවැඩියාව පත් වනු ඇත.

ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ සම්මාන අධ්‍යක්ෂ හා ජාතික දියවැඩියා සංගමයේ ලේකම් ආචාර්ය මහේන් ජයසූරිය පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ දියවැඩියා හා පූර්ව දියවැඩියා රෝගීහු ලක්ෂ 44ක් සිටිති. එය රටේ ජනගහණයෙන් පහෙන් පංගුවක් පමණ වේ.

නාගරිකව දියවැඩියා ව්‍යාප්තිය වැඩි අතර ග්‍රාමීයව සාපේක්ෂ වශයෙන් අඩු ය. 2013දී දියවැඩියා සංගමය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව නාගරික ජනගහණයෙන් 8.2%ක් දියවැඩියාව හෝ පූර්ව දියවැඩියාවට ගොදුරු වී සිටිති

ශ්‍රී ලංකාවේ ජනගහණය අතරින් නාගරිකව 16%ක් ද, ග්‍රාමීයව 8%ක් ද, නාගරිකව වයස අවුරුදු 20ට අඩු ජනගහණයෙන් 8.2%ක් ද දියවැඩියාවෙන් පෙළෙන බව දියවැඩියා සංගමය විසින් 2013දී කරන ලද සමීක්ෂණයකදී හෙළි විය.

දිනකට 100කට වැඩි පිරිසක් ඍජුවම දියවැඩියාව නිසා මිය යති. එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 30%කට හේතුවයි.

ලෝකයේ දියවැඩියා රෝගීන්ගෙන් පහෙන් පංගුවක් පමණ ඉන්නේ දකුණු හා නැගෙනහිර ආසියාතික කලාපයේ ය. 2011 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව එම කලාපයේ ජනගහණයෙන් 8.3%ක් පමණ දියවැඩියාවෙන් පෙළෙති. තවත් 2.8%ක් දියවැඩියා තත්වයට පත් වී නැතත්, රුධිරයේ සීනි වැඩි මට්ටම්වල සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දයවැඩියාව පිළිබද ශ්‍රී ලංකා දත්ත මෙතැනින්.

වැරදි ආහාර පුරුදු, තරබාරුකම, ව්‍යායාම මඳකම, නාගරිකරණය හා අධික උන්නතිකාමය සමග ඇති වන මානසික ආතතිය හා ජානමය හේතු දියවැඩියාව ඇති වීමට බලපායි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන විලාසය වෙනස් වීම දියවැඩියාවට ප්‍ර‍ධාන හේතුවක් බව ආචාර්ය මහේන් ජයසූරියගේ අදහසයි. කලින් වයස අවුරුදු 40 ඉක්මවූ කණ්ඩායම වැඩිපුර අවදානමට ලක් වූ මුත් දැන් සියලු වයස් කාණ්ඩ දියවැඩියා අවදානමට ලක් වන බව ඔහු පෙන්වා දෙයි. වයස අවුරුදු 20ට අඩු පිරිස අතර දියවැඩියාව වැඩි වීමට එක් ප්‍ර‍ධාන හේතුවක් වන්නේ විභාග තරගකාරිත්වය බව ද ඔහු පවසයි.

සෞඛ්‍යවත් ආහාර, ව්‍යායාම, ක්‍රියාකාරී ජීවන විලාසය හා සන්සුන් මානසික තත්වය දියවැඩියාව වැළඳීම වැළැක්වීමට බොහෝ දුරට ඉවහල් වෙයි. දියවැඩියාව වළක්වා ගැනීම මිස එය වැළඳුණු පසු සුව කිරීම කළ නො හැකි දෙයකි. දියවැඩියාව සම්බන්ධයෙන් කළ හැක්කේ පාලනය කර ගැනීම පමණි.

දියවැඩියාව වර්ග තුනක් තිබේ.

පළමු වර්ගය: ඉන්සියුලින් නිෂ්පාදනයේ අඩුවක් ඇත. හේතුව අපැහැදිලි ය. වැළැක්වීම දුෂ්කර ය.

දෙවන වර්ගය: ශරීරයේ ඉන්සියුලින් භාවිතය අකාර්යක්ෂම ය. වැළැක්වීමේ හැකියාව තිබේ. තරබාරු හා ශරීර ස්කන්ධ දර්ශකය වැඩි අය මෙම වර්ගයට ගොදුරු වීමේ ප්‍ර‍වණතාවක් ඇත. ළමයින් අතර මෙම වර්ගයේ දියවැඩියාව වර්ධනය වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ 95%ක් ම ඇත්තේ මෙම වර්ගයේ දියවැඩියාවයි. එය වළක්වා ගත හැකි තත්වයකි.

තුන්වන වර්ගය: ගර්භනී අවධියේ ඇති වන රුධිරයේ සීනි ප්‍ර‍තිශතය ඉහළ යාම. මෙමගින් මවත්, දරුවාත් පසුකාලීනව දෙවන වර්ගයේ දියවැඩියාවට ගොදුරු වීමේ අවදානමට පත් වෙති.

දියවැඩියා රෝගීන් හෘදයාබාධවලට හා ආඝාතයට ගොදුරු වීමේ ප්‍ර‍වණතාව සාමාන්‍ය ජනයාට වඩා දෙතුන් ගුණයකින් වැඩි ය. එසේම, පාදවල ස්නායු හානි හා ලේ ගමනාගමනයේ අඩු වීම සමග ඇති වන සංකුලතා හේතුවෙන් කකුල් කැපීමට සිදු වන අවස්ථා ඇත. දියවැඩියා රෝගීන් අන්ධභාවයට හා වකුගඩු ආබාධවලට ගොදුරු වීමේ ඉඩකඩ ද වැඩි ය.

ශ්‍රී ලංකාවේ ජනතාව සාමාන්‍යයෙන් දිනකට සීනි තේ හැඳි 9 – 10 පමණ ගන්නා අතර නිර්දේශිත සීනි ප්‍ර‍මාණය දිනකට තේ හැඳි 5 – 6 පමණ වේ.

වෛද්‍යවරුන් පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ ආහාර වේල් නිසි වේලාවට ගැනීමේ වැදගත්කමයි. අක්‍ර‍මවත් ආහාර වේල් හේතුවෙන් අධික කුසගින්න ඇති වී ආහාර ගැනීම වැඩි වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2016 වසරේ ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඉදිරි මාස 12 වෙනුවෙන් නිකුත් කරන ලද පණිවුඩ 12 මෙසේ ය:

  1. නිරෝගී ආහාර ගන්න. කිසි විටෙකත් උදෑසන ආහාර වේල මගහරින්න එපා.
  2. පැණිරස පානයන් වෙනුවට ජලය තෝරා ගන්න
  3. ක්‍රියාශීලී වන්න. ඇවිදින්න. දුවන්න. සයිකල් පැදීමට, නර්තනයට, පිහිනීමට හුරු වන්න.
  4. නැණවත් ලෙස ආහාර ගන්න. එළවළු සහ පළතුරු වැඩියෙන් ද, සීනි, ලුණු සහ මේදය අඩංගු ආහාර අඩුවෙන් ද ආහාරයට ගන්න.
  5. ශරීරයේ නිසි බර පවත්වා ගැනීම සඳහා ඔබ ගන්නා ආහාරවල තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.
  6. පිරිපහදු කළ තිරිඟු පිටි නිෂ්පාදන වෙනුවට පරිපූර්ණ ධාන්‍ය නිෂ්පාදන තෝරා ගන්න.
  7. ඔබගේ කෑම වේලට එක් කර ගන්නා සීනි ප්‍ර‍මාණය සීමා කරන්න.
  8. ශරීරයේ සීනි ප්‍ර‍මාණය පාලනය කිරීම සඳහා නියමිත වේලාවට ආහාර ගැනීමට හුරු වන්න.
  9. සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා වරකට විනාඩි 30 බැගින් සතියට දින පහක් ව්‍යායාම කරන්න.
  10. ඔබගේ රුධිරයේ සීනි මට්ට්ම හා රුධිර පීඩනය නිතිපතා පරීක්ෂා කරන්න.
  11. ඔබගේ දියවැඩියාව පාලනය කරන්න. නිරෝගී ආහාර ගන්න. ක්‍රියාශීලී වන්න. නිර්දේශිත ඖෂධ ලබා ගන්න. නිතිපතා පරීක්ෂා කරන්න.
  12. නිරෝගී මනසක් සහ නිරෝගී සිරුරක් උදෙසා ඔබගේ ආතතිය පාලනය කරන්න.

Views:
2678