තුන් රෝදේ නින්නාදේ; ලලිත් ධර්මසේකර සමග කතාබහ

by Ajith
13-Oct-2017

ලලිත් ධර්මසේකර විතානගේ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සංගමයේ සමාරම්භක හා වර්තමාන සභාපති. 

1970 දශකයේ අගභාගයේදී ආර්ථිකය විවෘත කිරීමත් සමග තමයි ශ්‍රී ලංකාවෙ ත්‍රිරෝද රථය මගී ප්‍රවාහනයට යෙදවුණේ. ඊට කලින් තිබුණු වැඩි වශයෙන් මොරිස් මයිනර් කාර්වලින් සමන්විත ටැක්සි සේවය වෙනුවට පැමිණි ත්‍රිරෝද රථය පොදු මගී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස අද වන විට පොදු ජනතාවට නැතුවම බැරි, ඒ වගේ ම ඉතා පහසුවෙන් ලබා ගත හැකි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වී තිබෙනවා. 

ලලිත් ධර්මසේකර පවසන පරිදි ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව කීයක් ද කියා කවුරුවත් හරියට දන්නෙ නැහැ. ලක්ෂ 11ක් පමණ වන ත්‍රිරෝද රථ අතරින් ලක්ෂ හතක් පමණ පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන බවයි ලලිත්ගේ අදහස. 

“මුලින් ම මේ ටැක්සි සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ හඳුනාගත යුතුයි. එය මේ සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍යයි," යි ලලිත් ධර්මසේකර පවසනවා. 

ත්‍රිරෝද රථ කර්මාන්තය විධිමත් කිරීම සඳහා මධ්‍යම රජය විසින් හා පළාත් සභා විසින් සම්පාදනය කරන ලද නීති ක්‍රියාත්මක කෙරෙන්නේ නැති බවයි ලලිත් ධර්මසේකරගේ චෝදනාව. ත්‍රිරෝද රථ සඳහා නියාමනයක් අවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ.

ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදෙන තරුණ පරපුර එයින් ඉවත් කළ යුතු බවට හා ඔවුන් වෘත්තීය පුහුණුව හා වෙනත් රැකියා වෙත යොමු කළ යුතු බවට සමාජයේ තිබෙන අදහස සම්බන්ධයෙනුත් ලලිත් ධර්මසේකර විවේචනාත්මකයි.

“මේ කර්මාන්තයට යොමු වෙන්නේ නූගතුන් යයි සිතන්නට එපා. අනෙක් පැත්තෙන් ත්‍රිරෝද රථ රියදුරන් ඒ රැකියාවෙන් හොඳ ආදායමක් ලබනවා. එවැනි තත්වයක් තුළ ඔවුන් ආපසු තුට්ටු දෙකට බැලගෙඩි කඩන තත්වයට යයි කියා බලාපොරොත්තු වෙන්න එපා," යි ලලිත් ධර්මසේකර පවසනවා. 

ත්‍රිරෝද රථවල හැඬල් ලොක් කැඩීම ගැනත් අපි ඔහුගෙන් ඇහුවා ඔහුට ඒ ගැන මොනවද කියන්නට තියෙන්නෙ? ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් විකාශය වූ සාරප්‍රභාගිර වැඩසටහනේ ලලිත් ධර්මසේකර සමග කළ කතා බහට සවන් දෙන්න. එය රසවත් අත්දැකීමක් වේවි. 

 

Views:
1307