තරුණ සාම මණ්ඩපයක් නිර්මාණය වෙමින්

by Ajith
19-Sep-2018

සියයකට ආසන්න තරුණ පිරිසක් දිවයිනේ සියලු පළාත්වලින් පසුගියදා මහනුවරදී රැස්වුණේ විශේෂ වැඩකටයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවක සංවිධානය සහ ක්‍රිසැලිස් සංවිධානය එක්ව උතුරු, නැගෙනහිර, දකුණු හා මධ්‍යම පළාත්වල දියත් කරන ලද පළාත් තරුණ සම්භාෂණ පහකින් පසු පළාත් නමයේ ම තරුණ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ජාතික තරුණ සම්භාෂණයක් පැවැත්වුණා. 

දින හතරක් පුරා පැවැත්වුණු මේ සම්භාෂණය විනෝදය, සතුට, තරුණ ජවය පිරි වැඩසටහනක් වුණා. 

එහි තරුණ ජවය උතුරා යමින් තිබුණා.

තාරුණ්‍යය, සාමය යනු කුමක්දැයි ඔවුහු ගැඹුරින් සාකච්ඡා කළා. ඒ සාකච්ඡා ඇසුරින් දෘෂ්‍යමය, වාචික හා නාට්‍යමය ඉදිරිපත් කිරීම් ද කළා. තරුණ කණ්ඩායම් මේ දැනුම බෙදාහදාගත්තා. 

තරුණයන් වෙනුවෙන් සුරක්ෂිත අවකාශවල අතීතය, වර්තමානය හා අනාගතය ඔවුන්ගේ අවධානය විශේෂයෙන් යොමු වූ අංශයක්. 

සාමය ගොඩනැගීම හා ආරක්ෂාව සම්බන්ධයෙන් තරුණ සහභාගිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් ඒ සඳහා පහසුකාරකත්වය සපයන්නට රජයන්ට බලකරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 දරණ යෝජනා සම්මතයෙහි වැදගත්කම පිළිබඳ තරුණ තරුණියන්ට කරුණු පහදා දුන්නේ එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයින්ගේ සංවිධානයයි. 

සාමය ගොඩනැගීම වෙනුවෙන් තරුණයන්ට සක්‍රිය විය හැකි තරුණ සාම මණ්ඩලයක් නිර්මාණය කරගැනීම පිළිබඳව ඔවුන් ගැඹුරු සාකච්ඡාවක් කළා. 

මේ අදහස් තියුණු සංවාදයකට ලක් වුණා. 

ජාත්‍යන්තර පහසුකාරකවරයකු වන ආචාර්ය පිලිප් මෙරි වැඩසටහන මෙහෙයවූවා. ඉනෝකා ප්‍රියදර්ශනී සම පහසුකාරකවරිය ලෙස ඔහුට මනා පිටුවහලක් වුණා. 

තරුණ කටයුතු ඇමති සාගල රත්නායක මහතාගේ පණිවුඩයක් ද රැගෙන තරුණයන් සමග එක් වූ තරුණ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමග ඔවුන් සිය සැලසුම් සාකච්ඡා කළා. 

Youth4Youth ජාතික සම්භාෂණයට සහභාගි වෙමින් අධීක්ෂණ මන්ත්‍රී ගරු වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ විශේෂ පණිවුඩයක් ඉදිරිපත් කරමින් මෙසේ පැවසී ය. “විවිධ පසුබිම්වලින් පැවතෙන තරුණ තරුණියන්ට සාමය ගොඩනැගීමේ හා සංවර්ධන ක්‍රියාවලියේ නියැලීමට ප්‍රබල වේදිකාවක් Youth4Youth වැඩසටහන විසින් නිර්මානය කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.”

එම මුලපිරුම සමග එක්වන්නට තරුණ කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා ක්‍රිසැලිස් සංවිධානය වෙතින් පළ වුණේ ලොකු උනන්දුවක්. 

තරුණ සාම මණ්ඩපයක් ගොඩනගන්නට තරුණයන් තීරණය කර තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා ධෛර්යය අවශ්‍යයි. 

Views:
1155