Ragging

by nithyasewwandi
26-Mar-2019

සරසවි උමතුව

 

ලැබුණි ලිපියක් මා අතට

සිහිනෙකින්වත් නොසිතූ විලස

මා පැළැදි රජ කිරුළ

සැණෙන් සුණු විසුණු කළ

 

ඈත ගව් ගණන් දුර

ගෙවා ආවෙමි සිහින පොදි බැඳ 

රජ කරන්නට හෙට ලොවේ මා

කිරුළු පළදා අවැසි ලෙසිනට

 

නමුත් අද අහෝසියි

වරම මා ලැබූ ඒ

සරසවියෙ සිසු වරම

 

බලනු මා දෙස

නිහඬ ඇයි නුඹ

කොහිද නුඹේ පිරිවර

යන්නෙ නැතිවද පෙර මෙන් 

 කඳුමුදුනේ කැන්ටිමට

සොයා උමතු ආශාවෙන්

පෙළන්නට

නුඹේ පොඞ්ඩන්

 

කවුරුදෝ නුඹ කවුරුන්දෝ

මා ඉදිරියේ සිට

මට නෝක්කාඩු දොඩනා

නුඹ කවුරුන්ද?

 

අඳුරාගත නොහැකිද

මා නුඹයි

නුඹේ හෘර්ද සාක්ෂියයි

මරා දැමුවත් නුඹ

යළි හුස්මලන්නට

වෙර දරන

නුඹේ මිනිස් හදවතයි

 

මා නොමැරුවෙමි

කිසිවෙකු

උමතුවෙන් පෙළෙයි නුඹ

කන්ද මුදුන උඩ

කැන්ටිමේ

පැතුරුවෙමි සහෝදරත්වය

එක බත්පත අනා කන්නට

 

අහෝ දුකකි

මියැදුණද ඒ මතකයන්

පවුලේ නුඹේ

සොහොයුරන්

අම්මා දුන් එකම බත්පත

අනා කෑ හැටි එකට හිඳිමින්

නමුදු එහි හරය

උගත්තේ දැන්ද නුඹ

 

උරා බොන්නට දුම් කදක් නෙක

පෙරා වැටෙන්නට

මත් පැනුත් සිඹ

නිවටයන් සේ

සංවේගයෙන් පෙළෙනා

 

සහෝදරත්වයද ඒ

නැත වහල්කමකි එය

නුඹ අධිපති රාජ්‍යයේ

එතැන

අධිපති ලොක්කන් වී

තළා පෙළයි

නුඹේ පොඞ්ඩන්ගේ

සිත්

සහෝදරත්වයේ 

ව්‍යාජ නාමෙන්

 

පීඩිත පංතියේ

උපන් නුඹ

පීඩිතයේ වේදනාවෙන්

අන් අය පෙලමින්

විඳ ගන්නට යන

සැනසුම

අවුලවාලයි ගිනි කඳක් මෙන්

වැදූ මවටද

නිගාවකි නුඹ

 

අපූරුයි නුඹෙ ඔය

විකෘති උමතුව

සරසවියේ 

මල් වන් දෑස්

අඩවන් කරන

පෙළ දැමුවා

නොවෙද නුඹවම

 

උමතු ආශාවන්

සපුරා ගන්නට

ගිය නුඹහට අද

කුමක් වී ද මේ

කඩුව අහිමි

රජ කෙනෙකුන් විලසින

පාවා දෙන්නට

තරම් එඩිතරව

රැක ගන්නට හැකි වීද

නුඹ සැදූ

සහෝදර පේ‍්‍රමය

 

එපා කීවා

කොතෙකුත් මා

වූවද මගේ මිතුරන්

නෑ ඇසුවේ ඔවුන්

හිඳ නිරුවතින්

ගත්තෙමු සැප

උනුන් දෙස

බලා හිඳිමින්

හිංසා කළෙමු අප

සහෝදරයන් හා

සහෝදරියන් හට

නිවාගත නොහැකිව

දැල්වෙනා

රාග ගිනි

මක් කරන්නද එයනම්

ඔවුන් කියනා

පරම රසය

එක්ව නොවිඳිනා විට

කොන් වූයෙමි අවමන් විඳ

කුමක් කරන්නද මා

වහල් වූයෙමි ඔවුන් සිරිතට

 

අවමන් විඳිය යුත්තේ

වරද කළවුන් වුවද

නිදොස් දනන්හට

යොමු වේ සියලූ ගැරහුම්

නමුදු උන් සැම

මනා ඵල දෙන

සරුසාර ගස් වැනිය

ගල් ගසන්නේ

හොඳ පල දරන

රුකට මිස

අනෙකකට

නොවන බව

ඇයි පසක් නොවූයේ

බහුතරයට යටවීම මිස

ඵල දරා ඇත්තේ

වැපුරූ දෙයයි

ඉතින් විඳවනු

ආත්මීයව

 

මේ ලද සැඩ පහර

අනෙකෙකු තලා පෙළමින් ලබන්නාවූ

ඒ කෲර ආශාව විඳිනට

නුඹ සමඟ සිටි ඒ පිරිවර

කොහෙද අද උන්

කෝ නුඹේ පිරිවර

කෝ නුඹේ අන්තඃපුරය

කිමද ඔවුනට

නෑසෙන්නේ

රජුගේ විලාප හඬ

 

එක්ව අරගල කරමු

කී ඔවුන්

යන්නට ගොසින්

ගුරු දෙපා නැමැඳ

ඉදිරි මංපෙත

බබලවන්නට

මා පමණක්

ගොදුරු වූයෙමි

සියල්ලන් එක්ව තැනූ

සරසවියේ උමතුවට.....

 

 

නිර්මාණය: නිත්‍යා සෙව්වන්දි

 

Views:
801