Micro-financing, a blessing or a curse for poverty-hit communities?

by Yamini Perera
18-Jun-2019

ක්ෂුද්‍ර මුල්‍ය කබලේ බැදෙන පොළොන්නරුවේ කාන්තාවෝ

ග‍්‍රාමීය සංවර්ධනය රටේ සමස්ත සංවර්ධන ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛ අංශයක්.  නමුත් ග‍්‍රාම සංවර්ධනයේ ප‍්‍රධාන ගැටලූවක් වු ග‍්‍රාමීය ණයගැති භාවය සම්බන්ධයෙන් අවධානය යොමුවන්නේ ඉතා කලාතුරකින්. විශේෂයෙන් පසුගිය වසර කීපය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ග‍්‍රාමිය කාන්තාවන් ඉලක්ක කරගනිමින් දියත්කළ ණය ලබාදීමේ වැඩපිළිවෙල හරහා ග‍්‍රාමීය ණයගැති භාවය කාන්තා ණය ගැති භාවය බවට පත්වී සමාජය තුළ දැඩි කථිකාවක් නිර්මාණය කරන්න සමත්ව තිබෙනවා.

ගැමි කාන්තාවන් මේ අන්දමින් ණය ලබාගන්නේ කුමක් වෙනුවෙන්ද? ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත මෙතරම් ආකර්ෂණය වන්නේ ඇයි? යන ගැටළු වලට  පිළිතුරු සෙවීමේදී ගැමි පවුල්වල වැඩි බර දරන්නේ කාන්තාව යන සත්‍ය මූලික ස්ථානයට පැමිණෙනවා. ඒ අනුව කෘෂිකාර්මික කටයුතුවලට, සුළු ව්‍යාපාරවලට, ස්වයං රැකියාවලට මෙන්ම නිවාස ඉදිකිරීමට හා පවුලේ නඩත්තුවටත් ඔවුන් ණය ලබාගන්න පෙළඹෙනවා.

ණය සම්පාදනයේදී  පිළිගත් බැංකු ගැමි කාන්තාවන් කෙරෙහි විශ්වාසයක් තබා කටයුතු කරන බවක් පෙනෙනනට නැත. එමෙන්ම  පිළිගත් බැංකු ඉල්ලා සිටින සහතික, රක්ෂණ, ඇප ආදිය සපයාගැනීම මේ ගැමි කාන්තාවට අපහසුය. මේ අපහසුතා සියල්ලට  පිළිතුරු සම්පාදනය කරන ක්ෂුද්‍ර  මූල්‍ය ආයතන ඉතාම සුක්ෂම ආකාරයට කාන්තාව ණය උගුලක පටලවාගනී. මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්යේ කළ විමසා බැලිමේදී අනාවරණය වුයේ පොළොන්නරු දිස්ත‍්‍රිකකයේ ක්ෂුද්‍ර මූල්‍යආයතන වලින් ණය ලබාගත් කාන්තාවන්  සියයට 85 -90 කට පමණ ණය ගෙවාගත නොහැකි බවයි. පොළොන්නරුවේ පදිංචි දිනූෂා මධුවන්ති තම අත්දැකීම අපසමග පවසා සිටියා.

 “අපේ ගම්වල විශාල පිරිසක් ක්ෂද්‍ර මුල්‍ය ආයතන වලින් ණය ලබා ගෙන ආපසු ගෙවා ගන්න බැරිව ඉන්නවා.  දැන් අපි ගත්ත ණය මුදලින් විශාල ප‍්‍රමාණයක් ගෙවලා තියෙන්නේ. නමුත් ඒක පොලියට කැපිලලූ. අපි කලින් දන්නේ නැහැ මේ වගේ ලොකු  පොලියකටයි මේ ණය දෙන්නේ කියලා.”

    

ණය ලබාගත්තද එම මුදල් ආයෝජනයෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගන්නේ ඉතා සුළු පිරිසක්. නියඟය, ගංවතුර හා කෘමි රෝග නිසා වගාව පාළුවෙයි. වෙළෙඳ පොළ ගැටලූවලට සාර්ථක ව මුහුණ දී ගත නොහැකිව සුළු ව්‍යාපාර හා ස්වයං රැකියා අසාර්ථක වෙයි. මේ සියල්ලට වඩා බරපතළ අභියෝගය වන්නේ ඉහත කී ආයතනවල ණය පොලිය බෙහෙවින් වැඩිවීමයි. පොළොන්නරුව අත්තනකඩවල පදිංචි එච්. ජී ශ‍්‍රියානි මල්ලිකා  තමන් වත්මන විට පත්ව ඇති තත්වය ගැන තම හ`ඩ අවධි කළා.

“මහත්තයා අවුරුදු විස්සක් යුධ හමුදාවේ සේවය කරලා යුද්ධයේදි අබාධීත වුණා. අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුවත් ආබාධිතයි. මම මේ ණය ගත්තේ ස්වයං රැකියාවක් විදිහට පාපිසි මහන්න. ණය මුදලින් කොටසක් ගෙවලා තියෙනවා. අපිට කිව්වේ ලොකු පොලියක් ගන්නේ නැහැ කියලයි. නමුත් දැන් දාන දාන සල්ලි ඔක්කෝම පොළියට කැපිලා ඉවරයි කියනවා. ණය දුන්න ආයතයේ මහත්තුරු දැන් ඇවිල්ලා කරදර කරනවා. කොහොම හරි ණය ගෙවන්න කියලා. ගෙවල්වලට ඇවිල්ලා පැය ගනන් ඉන්නවා යන්නේ නැතුව. ඒකත් හරිම කරදරයක්.” 

             ග‍්‍රාමීය කාන්තාවන්ගේ ණය බර පිළිබඳ තත්ත්වය බරපතළ සමාජ ඛේදවාචකයක් ලෙස පවතී. එම ණය ආපසු අය කරගැනීම වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නීතියට පටහැනි ආකාරයෙන් පියවර අනුගමනය කරයි. මේ නිසා ණය ගෙවාගත නොහැකිව සියදිවි නසාගන්නා කාන්තාවන් එන්න එන්න වර්ධනය වෙමින් පවතිනවා. සමහරු පීඩනය නිසාම විවිධ ලෙඩරෝග වලට ගොදුරු වෙනවා. මේ විදිහට ණය හිමියන් අතර පවතින පොදු අසහනය උත්සන්න වෙමින් පවතිනවා. එමෙන්ම මෙය බරපතල සමාජ ව්‍යසනයක් බවට උඩු දුවමින් තිබෙන  බවයි අපට හැඟීගී ගියේ. පොළොන්නරුවේ පදිංචි ඩබ්ලිව්.එම්. විජිතා කුමාරි මැණිකේ ඇගේ අත්දැකීම අපට පැවසුවා.

“අපි සල්ලි ගත්තේ ගොවිතැන් වැඩ වලට. වගා පාඩුවීම තමයි ණය ගෙවා  ගන්න බැරි වුණ හේතුව. මම ගත්තේ රුපියල් 75000යි. ණය මුදලින් කොටසක් ගෙව්වා. හැමෝටම වගේ උනේ තමන්ගේ ගොවිතැන් විනාශ වෙච්ච එකයි. ණය අයකර ගන්න එන මහත්වරුන්ට අපි මේ කාරණය කිව්වාට වැඩක් නැහැ. ඒ අය කියන්නේ කොහොම හරි ණය ගෙවන්න කියලයි.”

 

 

 

 

 

 

 

 

 “මම පොඩි කඩයක් කර ගෙන ජිවත් වෙන්නේ. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මම රුපියල් හතළිස්දාහක් අරගෙන තියෙනවා. ණය වාරිකයක් ගෙවන්න ප‍්‍රමාද උනා කියලා පහුගිය දවසක සවස ආයතනයේ මිස් කෙනෙක් අපේ ගෙදරට ආවා.  මම ඒ මිස්ට කිව්වා අද සල්ලි දෙන්න විදිහක් නැහැ හෙට හරි අනිද්දා කොහොම හරි ගෙවන්නම් කියලා. නැහැ අදම කොහොම හරි ගෙවන්න කිව්වා. මම අදනම් සල්ලි නැහැ කියලා කිව්වහම ඒ මිස් එයාගේ ඔපිස් එකට කොල් කරලා මහත්තුරු තුන්දෙනෙක් එතැනට ගෙන්නගත්තා. මොටර් බයිසිකල් තුනකින් ඒ තුන්දෙනා තුන් පැත්තින් මාව වටකර ගත්තා. අද කොහොම හරි දෙන්න කියලා මට බල කළා. ඒ වෙලාවේ මට ලොකු බයක් ඇති වුණා.” 

ඇළහැර ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මඩුදමන ගම්මානයේ පදිංචි කේ.එච්.එම් හේමමාලි පද්ම කුමාරි  පැවසුවේ තම ගම්මානයේද කාන්තාවන් තුන්සීයකට ආසන්න පිරිසක් මේ වන විට ණය ලබාගෙන තිබෙන බවයි. ඔහුන්ගෙන් වැඩි පිරිසක් තම කුඹුරු ගොවිතැන් සදහා ඒ ණය ලබා ගෙන තිබෙන බවත් පවසා සිටියා.

 

“මමත් රුපියල් ලක්ෂයක් ණය ගත්තා.  42500ක් ගෙවලා තියෙනවා. තවත් රුපියල් 84000කට වැඩිය මුදලක් ගෙවන්න තියෙනවා. ක්ෂද්‍ර මුල්‍ය ආයතනයේ නියෝජිතයන් ඇවිල්ලා නිතර නිතර ණය ගෙවන්න කියලා කරදර කරනවා. ණය අරගෙන ගෙවා ගන්න බැරි වුණු අනිත් අයටත් ඒකම තමයි තත්වය. මගේ ස්වාමි පුරුෂයා දැනට ජීවතුන් අතර නැහැ. මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ අය පාසල් යනවා. ණය ගෙවා ගන්න බැරි උනේ ආර්ථික දුෂ්කරතා නිසයි”

 

 

මහදමන ප‍්‍රදේශයේදි මුණ ගැසුන එක්දරු මවක වන ඒ. එම්. ලලිතා මල්ලිකා මහත්මිය තම අත්දැකීම විස්තර කළා

 

 

“කුඹුරු ගොවිතැනට තමයි අපි ණය අර ගත්තේ. රුපියල් 50000ක් එක ආයතනයකින් අර ගත්තා. පොළිය 28%. එම ණය මුදලින් රුපියල් 13700ක් ගෙවන් තියෙනවා. තවත් ආයතනයකින් රුපියල් 90000ක් ගත්තා. ඒකට රුපියල් 62000ක් තව ගෙවන්න තියෙනවා. ඒ ආයතනයෙන් නිතරම අපේ ගෙවල් වලට එනවා. කොහොම හරි ණය ගෙවන්න කියලා කරදර කරනවා. වගා හානි නොවුණා නම් මේ  සල්ලි කොහොම හරි ගෙවනවා. අපි වංචාකාරයෝ හොරු නොවෙයි.”

 ග‍්‍රාමීය කාන්තාවන් බොහෝදෙනෙක් කියා සිටින්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා තමන්  කබලෙන් ලිපට වැටී සිටින බවයි.  අධික පොළිය සමග ණය වාරික තවදුරටත් ගෙවා ගැනිමට නොහැකිවී තිබෙන්නේ බහුතරයක් ණය මුදල්  ගොවිතැන් වෙනුවෙන් වියදම්කර ඇති මුත් ඒවා  විනාශ වී යාම නිසාය. අතැමුන්ගේ ස්වයං රැකියාද අඩපණ වී පාඩු ලබන තත්වයට පත්ව තිබෙනවා. ණය ආපසු අයකර ගැනිමට ගම්වලට පැමිණෙන ක්ෂුද්‍ර මූුල්‍ය ආයතන නියෝජිතයින් ගෙන් ගැලවීමට ලිංගික අල්ලස් පවා ලබා දීමට කන්තාවන්ට සිදුවී තිබීම ඛේදනීය තත්වයකි. මේ සමාජ උවදුර දුරලීම සදහා ඉක්මන් පියවර ගැනිම කෙරෙහි වගකිවයුතු සැමගේ අවධානය යොමු විය යුතුය.

 

වාර්තාව - අපේ ශක්ති කාන්තා සංගමය - පොළොන්නරුව

 

Views:
197