2004 දෙසැම්බර් 26 සුනාමියෙන් බිඳ නො වැටුණු මිනිස් දිරිය පිළිබඳ කතාවක්

by iVoice Staff
28-Dec-2015

රසිකා දිල්හානි සහ දිනාරා

2004 දෙසැම්බර් 26දා සිදු වූ සුනාමි ආපදාව ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණු ම ස්වාභාවික ආපදාවයි.  සිදු වූ මරණ සංඛ්‍යාව 30,196ක් බව රජය විසින් 2005 ජනවාරි 03දා තහවුරු කරන ලදී. ලක්ෂ 15ක් හෙවත් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 8%ක් පමණ අවතැන් වූ හ.

පයාගල නිහාල් පෙරේරා ඒ වන විට සංචාරක හෝටල් සේවකයකු ලෙස වැඩ කරමින් සිටියේ ය. අලුත විවාපත් වූවකු වූ හේ එක් දරු පියෙක් විය. ඔවුහු අලුතෙන් බාගෙට හදාගෙන සිටි නිවසක පදිංචිව සිටිය හ. එදා ඔහුගේ මස්සිනාගේ විවාහය ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ නිසා ඔහු සිය පවුලත් සමග වෑන් රියකින් එහි යාමට පිටත් වුණා පමණි.  පයාගල පසු කරන්නටත් පෙර ගාලු පාරේදී හිටි හැටියේ මුහුදින් ආ රළක් හේතුවෙන් ඔවුන් ගමන් කරමින් සිටි වෑන් රිය පාර අයිනේ ලී මෝලක ලී කඳන් ගොඩක් මතට තල්ලු විය. එක් හැවිරිදි දරුවා අතින් ගත් නිහාල් රළ පහරට හසුව පා වී යද්දී දිවි බේරා ගත්තේ එක් අතකින් දරුවා වඩාගෙන අනිත් අතින් පොල් ගසක එල්ලීමෙනි. ඔහුගේ බිරිඳ රසිකා දිල්හානි වෑන් රිය මතට නැග පණ බේරා ගත්තා ය.

පළමු රළ පහර එතරම් විනාශකාරී වූයේ නැත. පණ බේරා ගත් ඔවුහු වෙරළේ සිට ගොඩබිමට දුවන ජනතාව සමග එක් වූ හ. රළ බැස ගියේ වෙරළ මුහුදේ ඈතට විහිදුවමිනි. සුනාමි ගැන නො දත් ඇතැම් මිනිස්සු වෙරළේ සිදු වූ මේ විපර්යාසය බලන්නට රොක් වූ හ.

දෙවන රළ පහර වඩා චණ්ඩ වූ අතර එය උතුරු පයාගල දුම්රියපොළ අසල පිහිටි නිහාල්ගේ නිවස බිමට සමතලා කර දැම්මේ ය. හැන්දෑවේ නිහාල් නිවස අසලට එන විට එතැන තිබුණේ සිමෙන්ති ගල් හා ලී ගොඩක් පමණි. අවට බොහෝ නිවෙස් ද එවැනි ම විය. ඔහු මඩ අතරින් මදුරු දැලක් සොයා ගත්තේ ය. එක් හැවිරිදි බිළඳිය මදුරුවන්ගෙන් රැක ගත යුතු ය. ඉතිරි වී සිටි සිය බිරිඳගේ කිකිළියන් කිහිප දෙනෙක් වත්තේ ඇහිඳ කමින් උන්න හ. සකල සේසත ම අහිමිව නිහාල් සිය පවුලත් සමග අනාථ කඳවුරකට ද එතැනින් ඥාති නිවසකට ද ගියේ ය.

මාස ගණනක් ම ඔවුන් සිටියේ අනාථයන් ලෙසයි. නිහාල් වැඩ කළ හෝටලය ද සුනාමියට හසු වීම නිසා විනාශ වී තිබුණු හෙයින් ඔහුට රැකියාව ද අහිමි විය. ඔහුගේ කුඩා ධීවර බෝට්ටුව ද සුනාමියට හසුව විනාශ වී තිබිණි. රසිකා ස්වයං රැකියාවක් ලෙස කුකුළන් ඇති කළා ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ද මිය ගොස් තිබුණු අතර, ඇතැමෙකු සොරුන් විසින් රැගෙන ගොස් තිබිණි.

නිහාල් හා රසිකා සුනාමියෙන් පසු ජීවිතය ඇරඹුවේ එසේ ය.

“අපේ සේසත ම වගේ විනාශ වුණා. මහත්තයාගේ පවුලේ ඥාතීන්ටත් ඒ දේමයි වෙලා තිබුණේ. මුල් කාලේ අපි හිටියේ අනාථ කඳවුරක. මිනිස්සු අපට ආධාර කළා. ඒත්, කඳවුරු ජීවිතය අපායක්. ගැහැනු අපි පිරිමින්ටත් වඩා ගැටලු රැසකට මුහුණ දුන්නා. දරුවාට කඳවුරේ ඉන්න බැරි නිසා අපි නෑයින්ගේ උදව්වෙන් හා ඉතිරි කරගෙන සිටි සුළු මුදලකින් ගම්මැද්දෙන් පුංචි ගෙයක් කුලියට අරගෙන ගියා,” රසිකා පවසයි. 

ඒ වන විට සුනාමි ආධාර ගලා එමින් තිබිණි.

“අපටත් ඒ ආධාර ලැබුණා. හෝටලෙන් රුපියල් 250,00ක වන්දියක් ලැබුණා. රස්සාව නම් ආපසු ලැබුණේ නැහැ. ඒ එක්කම හෝටලේ සමග සම්බන්ධ වුණු විදේශිකයන් වගයක් අපට ගෙයක් හදා දෙන්නත් කැමති වුණා. ඒත්, අපට ගෙය හදන්න ඉඩමක් තිබුණේ නැහැ.” නිහාල් කීවේ ය.

“ඒ කාලේ වෙරළේ සිට මීටර් 100ක් ඇතුළත නැවත ඉදිකිරීම් තහනම් කරලායි තිබුණේ,” රසිකා කියයි. “මීටර් සීයේ සීමාව වැටුණේ අපේ මිදුලෙන්. මෙතැන නැවත ගේ හදන්න අපට බයකුත් තිබුණා.

“ඒත් වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. වෙන ඉඩමක් මිළ දී ගන්න අපට මුදල් තිබුණේ නැහැ. කැරිටාස් සංවිධානයෙන් නිවාස හදා දෙන්න ඉදිරිපත් වුණේ ඒ කාලෙදියි. අන්තිමේදි ඔවුන්ගේ ආධාරයෙන් අපේ ඉතිරි වී තිබුණු අත්තිවාරම මත නිවස බාගෙට හදා ගත්තා.”

තවමත් ඔවුන්ගේ නිවස තනා අවසන් කර නැති මුත්, එයට දැන් දෙවන මහලක් ද එකතු කර තිබේ. එය බිම ටයිල් කළ මනා පිළිවෙලකින් යුත් නිවසකි.

“රස්සාවක් හෙව්වත් ලැබුණේ නැහැ. විනාශ වුණ බෝට්ටුව වෙනුවට පල්ලියෙන් බෝට්ටුවක් ලැබුණා. ටික කාලයක් ධීවර කටයුතුවල හා මාළු වෙළඳාමේ යෙදුණා. වෙනත් අය යොදවා මුහුදු යාම කළ නිසා බෝට්ටුවෙන් එහෙමට ලාභයක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි ඒක විකුණා දමන්න තීරණය කළා,” නිහාල් කීවේ ය.

දැන් ඔවුන් යෙදී සිටින ව්‍යාපාරය පිළිබඳ විස්තර කළේ රසිකා දිල්හානි ය. “පුටු ටිකක් මිළ දී අරගෙන උත්සව භාණ්ඩ කුලියට දීමේ සේවාවක් පටන් ගත්තා. කොළඹ ගිහින් රෙදි ගෙනැවිත් පුටු කවර මැහුවේ මමයි. නිහාල් ටිකෙන් ටික ටෙන්ට් එහෙම හදා ගත්තා.”

දැන් ඔවුන් ළඟ පුටු, ටෙන්ට්, වේදිකා, විදුලි බල්බ, විදුලි ජනක යන්ත්‍ර‍, ආහාර පිසීමට හා පිරිනමන්නට අවශ්‍ය උපකරණ ආදී උත්සව භාණ්ඩ රැසක් කුලියට දෙන්නට තිබේ. “අපි දැන් ආහාර පිරිනැමීමත් කරනවා. ඕනෑම තරාතිරමක උත්සවයකට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමත් කරනවා. එහිදී අපි වෙනත් උත්සව භාණ්ඩ සැපයුම්කරුවන් සමග සම්බන්ධ වෙනවා,” නිහාල් පවසයි.

අද වන විට නිහාල් සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. උත්සව භාණ්ඩ සැලකිය යුතු ප්‍ර‍මාණයක් ද, ඒවා ප්‍ර‍වාහනයට තට්ටු ලොරියක් ද ඔහු සතු ය. එදා සුනාමියට හසු වී දිවි ගලවා ගත් පුංචි දැරිය දිනාරා දැන් පහේ ශිෂ්‍යත්වය ඉහළින් සමත්ව දේවි බාලිකා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. “ඒ කිසි දෙයක් මට මතක නැහැ. අම්මලා, තාත්තලා කියා දීපු දේ තමයි දන්නෙ,” ඇය කියයි.

“සුනාමියෙන් මිනිස්සු මැරුණ බව මං දන්නවා” සුනාමියෙන් පසුව ඉපදුණු ඇගේ අට හැවිරිදි නැගණිය පවසයි.

නිහාල් පෙරේරාගේ පවුල සුනාමියෙන් අවතැන් වූ, එහෙත් පවුලේ සමීපතමයන් අහිමි නො වූ, පවුල් අතරින් එකකි. සුනාමියෙන් අවතැන් වූ සියලු දෙනාගේ කතා මෙසේ නො වේ. කෙසේ වෙතත්, ලැබුණු ආධාර උපකාර ද උපයෝගී කර ගනිමින් වෙහෙස මහන්සියෙන් ජීවිතය ගොඩ නගා ගත් පවුලක් පිළිබඳ නිහාල්ගේ පවුල කදිම උදාහරණයකි. එය සුනාමියෙන් බිඳ නො වැටුණු මිනිස් දිරිය පිළිබඳ කතාවකි.

දිනාරා උත්සව භාණ්ඩ

Views:
718