සහශ්‍රක සංවර්ධන අරමුණුවලින් ධරණීය සංවර්ධන අරමුණුවලට

by Ajith
02-Nov-2017

වසර 2000දී ඒවකට ඒක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දැරූ රාජ්‍යයන් 189ක් නියෝජිතයන් රැස් වී ඉදිරි වසර 15ක් තුළ ළඟා කර ගත යුතු බවට එකඟ වූ  ගෝලීය සංවර්ධනය අරමුණු අට සහශ්‍ර‍ක සංවර්ධන අරමුණු නම් වේ. ඒවා මෙසේ ය:

  1. දිළිදුකම සහ සාගින්න පිටුදැකීම
  2. සැමට ප්‍රාථමික අධ්‍යාපනය
  3. ස්ත්‍රී පුරුෂ සමානත්වය
  4. ළමා සෞඛ්‍යය
  5. මාතෘ සෞඛ්‍යය
  6. ඒඩ්ස් පැතිරීම වැලැක්වීම
  7. තිරසර සංවර්ධන ප්‍රතිපත්ති හරහා ස්වභාවික සම්පත් රැකගැනීම
  8. සංවර්ධනය උදෙසා ලෝක ව්‍යාප්ත සහභාගිත්වය

සහශ්‍ර‍ක සංවර්ධන අරමුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට සංවර්ධනය සඳහා ක්‍රියාරාමුවක් සපයන ලදී. එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝකයේ රටවල් විසින් දරන ලද ප්‍ර‍යත්න හේතුවෙන් දැවැන්ත ආර්ථික හා සමාජ සංවර්ධනයක් සිදු විය. දිළිඳුකම, සාගින්න, ස්ත්‍රී පුරුෂ විෂමතා පිටුදැකීම, ජලය හා සනීපාරක්ෂාව වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්කවල මූලික අරමුණ විය. 2015 සැප්තැම්බර් 30දායින් සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්ක සඳහා කාලය අවසන් විය.

ලෝකයේ රාජ්‍ය විසින් සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් සිය ප්‍ර‍ගතිය විශ්ලේෂණය කරන ලදී. ප්‍ර‍ගතියක් අත් කරගෙන තිබුණ ද කළ යුතු තව බොහෝ දේ තිබිණි. 

වසර 2015 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වූ රාජ්‍යයන් 193ක නියෝජිතයන් රැස් වී ඊළඟ වසර 15 තුළදී සාක්ෂාත් කර ගත යුතු අරමුණු මොනවාදැයි සාකච්ඡා කර ගෝලීය අරමුණු 17ක් හඳුනා ගන්නා ලදී. ධරණීය හෙවත් තිරසාර සංවර්ධන අරමුණු නම් වන මෙම අරමුණු 17 එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රාජ්‍ය විසින් අනුමත කරන ලදී.  

තිරසාර සංවර්ධන අරමුණුවලින් අපේක්ෂා කරන්නේ සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්කවලින් ඔබ්බට ගොස් දිළිඳුභාවයේ මූලික හේතු හඳුනාගැනීම හා සියලු ජනතාවන්ට සරිලන සංවර්ධනයක් වෙනුවෙන් වන විශ්වීය අවශ්‍යතාව ආමන්ත්‍ර‍ණය කිරීමයි.

එම තිරසාර සංවර්ධන ඉලක්ක 17 මෙසේ ය:

1. සෑම තැනක ම ඇති සෑම ආකාරයක ම දිළිඳුකම දුරලීම – 2012 වන විට ශ්‍රී ලංකාවේ දරිද්‍ර‍තාව 6.7%කි. මෙය 2006/07 වන විට 15.2%ක මට්ටමේ පැවතිණි. එහෙත්, තවමත් දිස්ත්‍රික් හතක ම ජනතාවගෙන් 10%කට වඩා දිළින්දෝ වෙති.  එම දිස්ත්‍රික්ක හත වන්නේ රත්නපුර, බදුල්ල, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, මොනරාගන සහ මුලතිවු ය.

2. සාගින්න දුරලා ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම, පෝෂණය වැඩිදියුණු කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම – ආහාර වේලකින් පමණක් සාගින්න නැති වන්නේ නැත. පෝෂණය ද වැදගත් ය.

3. සෑම වයසකදී ම සෞඛ්‍ය සම්පන්න හා හොඳ ජීවිතයක් ප්‍ර‍ර්ධනය කිරීම – ලොව පුරා ම මාතෘ මරණ අවම කළ යුතු ය. 2030 වන විට ඒඩ්ස් වසංගතය දුරලිය යුතු ය.

4. කාටත් පිවිසිය හැකි සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනයක් හා ජීවිත කාලය පුරා ම අධ්‍යාපනය ලබා ගැනීමට සැමට තිබෙන අයිතිය ප්‍ර‍වර්ධනය කිරීම – ලොව පුරා තරුණයන් කෝටි 10කට වඩා ලියන්නට කියවන්නට නො දනිති. ඒ අතරින් වැඩි පිරිස ස්ත්‍රීහු වෙති.

5. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම හා සියලු කාන්තාවන් හා ගැහැනු ළමයින් ශක්තිමත් කිරීම – කාන්තාව පිරිමියාට වඩා දිළිඳුභාවයට, නූගත්කමට හා ලිංගික සූරාකෑමට ලක් වීමේ අවදානමට පත් වෙති. කාන්තාවන්ට, ගැහැනු ළමයින්ට එරෙහි සියලු අසාධාරණ පිටු දැකිය යුතු ය.

6. සැමට ජලය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම හා ඒවා චිරස්ථායී ලෙස කළමනාකරණය

7. සැමට පහසුවෙන්, විශ්වාසදායී ලෙස හා ස්ථාවර ලෙස නවීන බලශක්ති වෙත ප්‍රවේශය ලබා දීම 

8. යහපත් ගුණාංග ඇතුළත් කර ගත්, තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍ර‍වර්ධනය කිරීම. සියලු දෙනාට පූර්ණ රැකියා නියුක්තිය හා මනා වැඩ අවස්ථා – වැඩි වන තරුණ ජනගහණයට මනා රැකියා, අධ්‍යාපනය හා ආයෝජන අවස්ථා තිබිය යුතු ය.

9. අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි අන්දමින් යටිතල පහසුකම් ගොඩනැගීම. යහපත් ගුණාංග ඇතුළත් කරගත්, නිර්මානශීලිත්වයට ඉඩ සලසන තිරසාර කර්මාන්තකරණයක් ප්‍ර‍ර්ධනය කිරීම.

10. රටවල් තුළ හා රටවල් අතර අසමානතා අවම කිරීම  –  ආර්ථික වර්ධනයෙන් පමණක් දිළිඳුකම දුරලිය නො හැකි ය. එය කළ හැක්කේ සියලු දෙනා අන්තර්ග්‍ර‍හනය කරගන්නා ආර්ථික වර්ධනයක් ඔස්සේ ය.

11. නගර හා මානව ජනාවාස මිනිසුන්ට හිතකර, ආරක්ෂිත, අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි, තිරසාර තැන් බවට පත් කිරීම – ලෝක ජනගහණයෙන් අඩකට වඩා ජීවත් වන්නේ නගරවල ය. නගරවල ජීවත් වන සියලු ජනයාට සෞඛ්‍යසම්පන්න, සුවපහසු ජීවිතයක් උරුම කර දිය යුතු ය.

12. තිරසාර පාරිභෝජනය හා නිෂ්පාදනය තහවුරු කිරීම 

13. දේශගුණික විපර්යාස හා එහි බලපෑම් අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම – වැඩි වන ලෝක ජනගහණය පාරිසරික විනාශයට ඉවහල් නො විය යුතු ය. හරිතාගාර වායු විමෝචනය අවම කර ගනිමින් දේශගුණික විපර්යාස වළක්වා ගත යුතු ය.

 14. තිරසාර සංවර්ධනය සදහා ඉවහල් වන පරිදි මුහුද හා සාමුද්‍රික සම්පත් සුරක්ෂා කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම.

15. විශ්ව පාරිසරික පද්ධතිය සුරක්ෂා කිරීම, ප්‍ර‍තිෂ්ඨාපනය කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප්‍ර‍වර්ධනය කිරීම. වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය. භූමිය හා ජෛව විවිධත්වය විනාශ වීම නැවැත්වීම.

16. තිරසාර සංවර්ධනය සඳහා සාමකාමී හා සහභාගී සමාජයන් ප්‍ර‍ර්ධනය කිරීම. සැමට යුක්තිය ලබා දීම. සෑම මට්ටමකදී ම කාර්යක්ෂම, වගවීමක් ඇති, සහභාගී ආයතන ගොඩනැගීම – යුක්තිය හා නීතියේ ආධිපත්‍යය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ය.

17. තිරසාර සංවර්ධනය ක්‍රියාත්මක කිරීම හා ඒ වෙනුවෙන් වන ගෝලීය සහභාගිත්වය පණගැන්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම – ඉහළ ගුණාත්මක තත්වයේ, කාලීන, විශ්වාසවන්ත දත්ත සංවර්ධනයේදී ඉතා වැදගත් ය.

Views:
159