සමාජ නවෝත්පාදක අදහස් යථාවත් කිරීම

by Ajith
05-Oct-2018

තරුණ සමාජ නවෝත්පාදක ව්‍යවසායකයන්ගේ වැඩමුළුවක් සමග දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව පසුගියදා ලැබුණා. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍ර‍හයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ජාතික තරුණ සේවා සභාව සමග එක්ව සංවිධානය කර තිබුණු මෙම වැඩසටහන හැඳින්වුණේ හැකඩිව් (HackaDev) වැඩසටහනක් ලෙසයි. එයට විශේෂඥ දායකත්වය හා පහසුකාරකත්වය සැපයුවේ මැලේසියානු ගෝලීය නවෝත්පාදන හා නිර්මාණ මධ්‍යස්ථානය නම් ආයතනයයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධ තේමාත්මක විශේෂඥ දායකත්වය සැපයුවා. 

හැකඩිව් යන වචනය සකස් කරගෙන තිබෙන්නේ හැකතෝන් යන ඉංග්‍රීසි වදනිනුයි. හැකතෝන් වැඩසටහනක් යනු සාමාන්‍යයෙන් දින කිහිපයක් පවතින, පිරිසක් එක්වී සාමූහිකව පරිගණක වැඩසටහන් සම්පාදනය කරන ව්‍යායාමයකටයි. මෙවැනි හැකතෝන් ගණනාවක් ම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ද පැවැත්වුණා. 

හැකඩිව් යන වචනය සකස් කරගෙන තිබෙන්නේ මෙම වැඩසටහන් ආකෘතිය සංවර්ධන ගැටලු වෙනුවෙන් විසඳුම් සකසා ගැනීම සඳහා යෝග්‍ය පරිදි වෙනස් කරගැනීමෙනුයි. හැකඩිව් වැඩසටහනක අරමුණ වන්නේ පිරිසක් එක්රැස් වී සාමූහිකව සමාජ ගැටලු විසඳීම සඳහා විසඳුම් යෝජනා කිරීමයි. එහිදී නවීන තාක්ෂණය යොදාගැනීමත් මෙහි තිබෙන විශේෂත්වයක්. මෙවැනි වැඩසටහන් කෙරෙහි ආකර්ෂණය වන්නේ තරුණ නවෝත්පාදකයින් වීමත් මෙම වැඩසටහන්වල ලක්ෂණයක්. 

මා සහභාගි වූ හැකඩිව් වැඩසටහන පැවැත්වුණේ මහනුවරයි. එයට ද තරුණ, තරුණියන් 40ක් පමණ සහභාගි වුණා. ඔවුන් තෝරාගෙන තිබුණේ කණ්ඩායම් ලෙස, සමාජ ප්‍ර‍ශ්නයක් සම්බන්ධයෙන් විසඳුම් අදහසක් යෝජනා කිරීම හරහායි. සමාජ ප්‍ර‍ශ්න සම්බන්ධයෙන් තරුණයන් යෝජනා කරන බොහෝ විසඳුම් අදහස්වල දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ ඒවා දැඩි ලෙස තාක්ෂණික ස්වරූපයකින් යුක්ත වීමයි.  අධි තාක්ෂණික වීම නිසා ම ඇතැම් අදහස් ක්‍රියාත්මක කිරීම පහසු නැහැ. 

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම වැඩසටහනට සහභාගි වුණේ පොදු ප්‍ර‍වාහනයේදී සිදු වන කාන්තා හිංසනය පිළිබඳ විසඳුම් අදහස් සංවර්ධනය කිරීමේ අරමුණෙනුයි. බොහෝ යෝජනා අතර බස්රථවල සවි කළ යුතු තාක්ෂණික උපකරණ, මගීන් පැළඳිය යුතු සුහුරු තාක්ෂණික උපකරණ, සුහුරු දුරකථන ඇප් ආදිය තිබුණා. එහෙත් මෙවැනි විසඳුම්වලදී සැලකිල්ලට ගත යුතු සමාජමය කරුණු රැසක් තිබෙනවා. හැම කෙනෙකු අත ම සුහුරු දුරකථන හෙවත් ස්මාට් ෆෝන් නැහැ. ඒ වගේ ම, පැමිණිලි ලබා ගැනීම සහ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ආයතනික ව්‍යූහයන්ගේ ධාරිතාවන් ගොඩනැගීම ලෙහෙසි නැහැ. උදාහරණයක් ලෙස පොලිසිය වැනි ආයතනවල ධාරිතාවන් ගොඩනගන එක පහසු වැඩක් නෙමෙයි. එසේම, මගී හා බස් සේවක චර්යා, ආකල්ප වැනි තවත් සාධක රැසක් ද මෙහිදී බලපානවා. 

මානව කේන්ද්‍රීය සැලසුම් ක්‍රියාවලිය සමාජ නවෝත්පාදනයේදී ඉතා වැදගත්.මානව කේන්ද්‍රීය සැලසුම් ක්‍රියාවලිය වනාහි සහකම්පනය සහ නැවත නැවත කිරීම මත පදනම් වූ ගැටලු විසඳීමේ ක්‍රියාවලියකි. විවිධ පසුබිම්වලින් එන ජනයා අතර බැඳීම් ඇති කිරීමට හා අදහස් ක්‍රියාකාරකම් බවට පත් කිරීම සඳහා ද එය ඉවහල් වේ. එහි පියවර මෙසේයි:

රාමුගත කිරීම (framing): පිළිතුරු සොයාගත යුතු හා ජනතාව සම්බන්ධ කර ගත යුතු ප්‍ර‍ශ්න අර්ථ නිරූපණය 

පර්යේෂණ (research): තම අවශ්‍යතා සහ වටිනාකම් පිළිබඳව ජනතාවගෙන් ඉගෙනීම

සංස්ලේෂණය (synthesis): රටා සහ අවස්ථා ඇති කලාප සොයාගැනීම

සංකල්පගත කිරීම (concepting): අලුත් අදහස් රැසක් නිර්මාණය කරගැනීම

ප්‍ර‍තිරූපක සැකසීම (prototyping): ප්‍රායෝගික ආදර්ශන සැකසීම හා ඒවා ක්‍රියාත්මක කර ප්‍ර‍තිපෝෂණය ලබාගැනීම

සමාජ නවෝත්පාදනයේදී පළමුව ප්‍ර‍ශ්නය පිළිබඳ ගැඹුරු සහකම්පනයක් ඇති කරගැනීම වැදගත්. සහකම්පනය යනු ප්‍ර‍ශ්නයට මුහුණ දෙන අය එය විඳින ආකාරය පිළිබඳ ඇති කරගන්නා ගැඹුරු අවබෝධයයි. එහිදී ප්‍ර‍ශ්නය හා අභියෝග පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගත යුතුයි. විසඳා ගත යුතු ප්‍ර‍ශ්නය පැහැදිලිව විග්‍ර‍හ කරගෙන වචනගත කරගත යුතුයි. ලබා දිය හැකි විසඳුම් පිළිබඳ ගැඹුරු සාකච්ඡා අවශ්‍යයි.විසඳුමක් තෝරාගත හැක්කේ සහ එය සංවර්ධනය කරගත හැක්කේ එමගිනුයි. ඊළඟට විසඳුම මුළුමනින් ම හෝ කොටස් වශයෙන් පරීක්ෂා කිරීම සඳහා ආදර්ශනයක් හෙවත් ප්‍ර‍තිරූපකයක් සකසා භාවිතා කර බැලිය යුතුයි. ක්‍රියාත්මක කරමින්, පරීක්ෂා කරමින්, සංවර්ධනය කරමින් කෙටි කාල චක්‍ර‍යන් තුළ දිගින් දිගට ම මෙම විසඳුම සංවර්ධනය කර ගත යුතුයි. 

කෙසේ වෙතත් විසඳුමක් තිරසාර ලෙස ක්‍රියාත්මක කිරීමට නම් එය ව්‍යාපාරික වශයෙන් සාර්ථක විය යුතුයි. සමාජ නවෝත්පාදක අදහස් බොහොමයක් අසාර්ථක වන්නේ ඒවා තිරසාරව ක්‍රියාත්මක කිරීමේදී අසමත් වීම නිසායි. සමාජ නවෝත්පාදකයන්ට හැම විට ම තම සමාජ ව්‍යවසායන්ට අනුග්‍ර‍හය සම්බන්ධයෙන් රජය ගැන විශ්වාසය තබා කටයුතු කළ නොහැකියි. ව්‍යාපාරික ආදර්ශකයක් සැකසීම වැදගත් වන්නේ එතැනදීයි. නවෝත්පාදක අදහස් ව්‍යාපාරික ලෝකයක් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවා ගන්නේ කෙසේදැයි තේරුම් ගන්නට එයින් අවස්ථාව ලැබෙනවා.  

අපේ තරුණයන්ට අලුත් සමාජ නවෝත්පාදන අදහස් තිබෙනවා. හැබැයි හැම අදහසක් ම යථාර්ථයක් වෙන්නෙ නැහැ. අදහසක් ඇත්ත ව්‍යාපෘතියක් බවට පත් කරගන්නට නම් එය ලෝකයට විවෘත කර, බාහිර ලෝකයෙන් ලැබෙන ප්‍ර‍තිපෝෂණයෙන් සංවර්ධනය කරගත යුතුයි. එය කෙසේ කරන්නේ ද යන්න ඉගෙන ගැනීම ඉතා වැදගත්. මනස යනු පැරෂූටයක් වැනි දෙයක්. එය ක්‍රියාත්මක වන්නේ එය විවෘත වූ විටයි.

 

Views:
113