ශ්‍රී ලංකාවේ වැඩිහිටිභාවය වහ වහා ඇමතිය යුතු ප්‍ර‍ශ්නයක්

by Ajith
30-Jul-2018

මේ ලිපිය ලියන්නට හේතුභූත වුණේ වැඩිහිටි අසරණභාවය නිසා සිදු වූ ඝාතන දෙකක් හා සියදිවි නසාගැනීමක් පිළිබඳ ඉතා සංවේදී ප්‍ර‍වෘත්ති දෙකක් පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාවේ ගම්බද පෙදෙස්වලින් වාර්තා වීමයි. ගම්පොළින් වාර්තා වූ සිද්ධියේදී වයස අවුරුදු 67ක් වූ, එහෙත් ඉතා වියපත් පෙනුමැති කාන්තාවක් ඇය විසින් වසර 45ක් තිස්සේ රැක බලා ගත් ආබාධිත දියණිය මරා දැමුවා. ඇය පැවසුවේ තමන් නැති කලක දියණිය රැකබලාගැනීමට කිසිවකු නැති නිසා තමන් එසේ කළ බවයි. බුලත්සිංහලින් වාර්තා වූ සිද්ධියේදී ඔත්පලව සිටි වයස අවුරුදු 80ක් වන වැඩිමහල් සොහොයුරිය මරා දැමූ වයස අවුරුදු 75ක් වන වැඩිහිටි පිරිමියෙකු සියදිවි නසාගත්තා.

ශ්‍රී ලංකාව වැඩිහිටියන් ලෙස සලකන්නේ වයස අවුරුදු 60ට වැඩි ජනගහණයයි.

2012 ජන හා නිවාස සංගණනය අනුව, වයස අවුරුදු 60ට වැඩි ජනගහණය ලක්ෂ 17ක් විය.  ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය සමස්ත ජනගහණයෙන් 12.7%ක් පමණ වුණා. වසර 2018 වන විට එය 14% ඉක්මවා ඇති යයි ප්‍ර‍ක්ෂේපණය කෙරෙනවා.

වයස අවුරුදු 60ට වැඩි ජනගහණය 2030 වන විට දෙගුණයකින් පමණ වැඩි වෙද්දී ‘වැඩිහිටියන් අතරත් වැඩිහිටියන්’ ලෙස සැලකෙන වයස අවුරුදු 80ට වැඩි ජනගහණය වර්තමානයේ සිටින සංඛ්‍යාව මෙන් හතරගුණයක්වත් වනු ඇතැයි සිතනවා.

ශ්‍රී ලංකාව වේගයෙන් වියපත් වෙමින් සිටින රටක් ලෙසත් සැලකෙනවා. වසර 2030 පසු වන විට රටේ ජනගහණයෙන් සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙක් වැඩිහිටියෙක් වෙනවා.

එතරම් සුවිසල් වැඩිහිටි ජනගහණයක් සිටින රටකට අලුත් ප්‍ර‍ශ්න රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ප්‍ර‍තිපත්ති සම්පාදනයේදී එම තත්වයන් ගැන සැලකිලිමත් වෙන්නට සිදු වෙනවා.

ශ්‍රී ලංකාවේ වර්තමානයේදී උපතේදී  සාමාන්‍ය පරමායුෂ කාන්තාවකට නම් අවුරුදු 78 මාස 6යි. පිරිමියෙකුට එය අවුරුදු 72ක් වෙනවා. දැනට අවුරුදු 74ක් වන උපතේදී ආයු අපේක්ෂාව 2030 වන විට 80 දක්වා වැඩි වනු ඇතැයි ප්‍ර‍ක්ෂේපණය කර තිබෙනවා.

වැඩිහිටියන් රැක බලා ගන්නට අය නැති වීම, වියපත් වන විට කලත්‍ර‍යා මිය යාම නිසා තනි වීම, ආර්ථික ගැටලු, ලෙඩ රෝග, මානසික ප්‍ර‍ශ්න, ආබාධිතභාවයට පත් වීම වැනි ගැටලු රැසකට වැඩිහිටියන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍ර‍ජාවන්ගේ සංස්කෘතිය අනුව, වැඩිහිටියන් රැක බලා ගැනීමේ වගකීම පවුල්වලට පැවරෙනවා. එහෙත්, දරුවන් විදේශගත වීම, දුර බැහැර ප්‍රදේශවලට සංක්‍ර‍මණය වීම වැනි හේතු නිසා වැඩිහිටි දෙමව්පියන් අසරණ වන අවස්ථා වර්තමානයේදී සුලබයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනවිකාස විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා විසින් පෙන්වා දෙන ලද පරිදි ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 82%ක් ම විශ්‍රාම වැටුපක් ලබන්නේ නැහැ.

පර්යේෂිකා නිශා අරුණතිලක පෙන්වා දෙන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් කුමන හෝ ආකාරයක විශ්‍රාම වැටුපක් ලබන්නේ 30%ක් පමණයි. තවත් 18%කට දිළිඳු සහනාධාරය ලැබෙනවා. වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප ලබන 20% පමණයි දරිද්‍ර‍තා රේඛාවෙන් ඉහළ මට්ටමේ ආදායමක් ලබන්නේ.

සමාජ බලගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශය විසින් පෙන්වා දෙන ලද තවත් වැදගත් කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් ආර්ථික වශයෙන් සක්‍රිය වන්නේ 25.6%ක් පමණක් වීමයි.

සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව රට පුරා ලියාපදිංචි වැඩිහිටි නිවාස 306ක් තිබෙනවා. ඒවායේ 10,000ක් පමණ වැඩිහිටියන් සිටිනවා.

රු. 3000ට අඩු මාසික ආදායමක් ඇති වැඩිහිටි ජනතාවට රු. 2000ක වැඩිහිටි දීමනාවක් රජය විසින් ගෙවනු ලැබේ.  ලක්ෂ හතරකට ආසන්න වැඩිහිටි ජනගහණයකට මෙම දීමනාව ගෙවනු ලබනවා. තවත් 131,000කට මෙම දීමනාව ගෙවිය යුතුව ඇති බවත්, ඒ වෙනුවෙන් 2017 අයවැයෙන් ප්‍ර‍තිපාදන වෙන් කරන බවත් සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන ඇමති එස්.බී. දිසානායක 2016 වසරේ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් ඔක්තෝබර් 1දා මහනුව‍ර පොල්ගොල්ලේදී පැවැත්වුණ ජාතික උත්සවයේදී ප්‍ර‍කාශ කළා.

ශ්‍රී ලංකාව 2030 වන විට ලක්ෂ 47ක් වන වැඩිහිටි ජනගහණයට අවශ්‍ය සමාජ ආරක්ෂණය සැපයීම සඳහා අවශ්‍ය පද්ධති ඇති කිරීම පිණිස ඉවහල් වන ප්‍ර‍තිපත්ති දැන් සිට ම සංවර්ධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය පසුගිය වැඩිහිටි දිනය වෙනුවෙන් ලිපියක් ලියමින් පෙන්වා දුන්නා. 

ශ්‍රී ලංකාවේ වැඩි වෙමින් තිබෙන වැඩිහිටි ජනගහනය පිළිබඳ දත්ත හා ප්‍ර‍තිපත්ති සාරාංශයක් මෙතැනින් බාගත කර ගන්න

Views:
483