විශේෂ අවශ්‍යතා සහිත පුද්ගල අයිතිවාසිකම් ගැන දැන්වත් සිතමු

12-Jan-2018

සුන්දර ස්ථාන රාශියක් පිහිටා ඇති නගර අතුරින් ප‍්‍රමුඛස්ථානයක් ගන්නා නගරයක් ලෙස මහනුවර නගරය හදුනා ගත හැකියි. නගරයට පිටතින් පැමිණෙන සංචාරකයින් මෙන්ම මහනුවර අවට වැසියන්ද තම දෛනික අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් මහනුවර නගරය වෙත ගමන් කරයි.

2012 ජන හා නිවාස සංගණනයට අනුව මහනුවර ආශ‍්‍රීතව ලක්ෂ 12 කට අධික ජනතාවක් වාසය කරන බව අනාවරණය කරගෙන ඇති අතර මෙම පිරිස දෛනික අවශ්‍යතා වෙනුවෙන් මෙම නගරයට පැමිණීම සිදුකරයි. කෙසේ වෙතත් මෙම ජනගහනයෙන් සියයට දහයක පමණ ප‍්‍රතිශතයක් යම් යම් ශාරිරික හා මානසික ආබාධ ඇති අය හෙවත් විශේෂ අවශ්‍යතා සහිත පිරිසක් නියෝජනය කරන්නා වූ  පිරිසකි. මොවුන් මහනුවර නගරයතුළ ඇති පොදු ප‍්‍රවාහන සේවයේ පවතින අඩුපාඩු හේතුවෙන් නොයෙක් අපහසුතාවයන්ට මුහුණ පාන බව අප ගවේශනයේදී අනාවරණය වූ කාරණයකි.

අනූ දහසකට අධික දෘෂ්‍යාබාධිත හා සන්නිවේදන ගැටලූ සහිත ජනතාවට නගරයේ පිහිටීම හා බස්රථවල නාම පුවරු නිසි ලෙස දෘශ්‍යමාන නොවීම යනාදී කාරණා සිය දෛනික ජීවිතයට බලපෑම් කරන ප‍්‍රබල සාධකයන් බවට පත්ව ඇති බව ඔවුන්ගේ අදහස් අතර විය.

තවද, මහනුවර සමස්ත ජනගහනයෙන් 79 දහසකට අධික ප‍්‍රමාණයක් දෘෂ්‍යාබාධිත තත්ත්වයෙන් ජීවත් වන අතර  ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් මහනුවර නගරයට පැමිණියත් අධික වාහන ප‍්‍රමාණයක් සහ ජනතාවක් ගැවසෙන නගරය තුළ ඔවුනට හිතකර පරිසරයක් නොතිබීමත් ඒ අතර කැපී පෙනෙන ගැටලූවක් බවට පත්ව ඇත.

මහනුවර නගරයේ ප‍්‍රවේශ පහසුකම් නොමැති ස්ථාන සහ ආයතන රාශීයක් නගරය තුළ තිබුනත් අතලොස්සක් ස්ථානවල ප‍්‍රවේශ පහසුකම් විධිමත් ආකාරයෙන් ස්ථාපිත කොට තිබෙන බවද අපට දැකගන්නට අවස්ථාව උදාවුණා.

ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුනගේ අවශ්‍යතා ඉටුකරගැනීමට අවශ්‍ය පරිසරය ඕනෑම නගර සැළසුම්කරණයක් තුළ සකස් කිරීම බලධාරීන්ගේ වගකීමක් හෝ යුතුකමක් නොව එය නීතිමය අවශ්‍යතාවයකි. එසේම එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගල අයිතිවාසිකම් සුරැකීමේ ප‍්‍රඥප්තියේ 9 වන වගන්තියට අනුව සැමට ප‍්‍රවිශ්ඨ වීමේ අයිතිය සුරක්ෂිත බව දක්වා තිබේ. එයට ගරු කරමින් නගර නිර්මාණයෙදී ආබාධ සහිත පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කල යුතු අතර එය හුදෙක් ඔවුන් පිළිබද කාරුණික වීමක් නොව ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමක් බවද සදහන් කරමි.

 

 

Views:
83