විද්‍යාර්ථියා නිශේධනය කරවන නවක වදය (University Ragging)

by kumushi
27-Mar-2019

විද්‍යාර්ථියා නිශේධනය කරවන නවක වදය

අතීත තිඹිරිගෙයෙහි උපන් ඇතැම් අදුරු සෙවනැලි වර්තමානයේ දී වඩාත් අඳුරුව සැරිසරයි. අතීතයේ උපත ලැබුව ද මෙම සෙවනැලි කාලයාගේ ඇවෑමෙන් සමාජ පිළිල, වසංගත බවට ශක්තිමත්ව වර්ධනය වී ඇත. එවන් සමාජ පිළිලයක් ලෙස ශ්‍රී ලාංකීය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය වනසන 'නවක වදය' හඳුන්වාදිය හැක. ලෝක ඉතිහාසය තුළ ද ලාංකීය ඉතිහාසයේ ද නවකවදය පිළිබඳ සොඳුරු සහ අසුන්දර අත්දැකීම් රාශියක් සනිටුහන්ව ඇත. වර්තමානයේ දී නවක වදය පිළිබඳ අසන්නට - දකින්නට - අත්විඳින්නට සිදුව ඇත්තේ අසුන්දර සහ ඛේදනීය අත්දැකීම් සමුදායක් පමණකි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුල පවතින නවක වදය නිසා විද්‍යාර්ථීන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 2017 වසරේ දී පමණක් 1989 විශ්වවිද්‍යාලය හැර ගොස් ඇත. නවක වදය හේතුවෙන් තුවාල වූවන් සහ ආබාධිත තත්වයට පත්වූවන්ගේ ප්‍රමාණය මෙතෙක් ගණන් බලා නොමැත. අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය හමාර කොට අතිශය තරගකාරී විභාග කඩඉමක් පසුකොට ඉහළ ඉසෙඩ් අගයකින් විශ්වවිද්‍යාල වරම් ලබා ගනුයේ ඉතාම සුළු පිරිසකි. ජීවිතය තුළ දුටු විශාලතම සිහිනයක් සැබෑකර ගනිමින් දෙමව්පියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම වචනයෙන් විස්තර කිරීමට අපහසු ජයග්‍රහනයකි. එහෙත් එම ජයග්‍රහණය නවක වදය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීම සමාජ ඛේදවාචකයකි.

ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුල ක්‍රියාත්මක වන උප සංස්කෘතියක් වශයෙන් නවක වදය හඳුන්වාදිය හැක. විශ්වවිද්‍යාලය වෙත නවක සිසුන් පිරිසක් පැමිණි විට ඉහළ වසරේ ඉගෙනුම ලබන ජේෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් විශ්ව විද්‍යාල උප සංස්කෘතියට ඇතුළත් කර ගැනීමට සුදුස්සන් කරවීම සඳහා නවක වදය සිදු කරනු ලබයි. නවක වදය සමාජීය ගැටලුවක් සහ නීතිමය වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වූයේ එහි පවතින සාහසික, අමානුෂීය සහ ප්‍රචණ්ඩකාරීත්වය හේතුවෙනි. සමාජ සමානාත්මතාව, සහයෝගය, පෞරුෂ වර්ධනය හෝ විද්වත් ක්‍රියාකාරී ශිෂ්‍ය දේශපාලනය වැනි සමාජ ප්‍රගමනයට දායක වන කාරණාවන් නවක වදය තුළ බිහිවීම සිදුවේ නම් එය සමාජයටම මහත් ආශීර්වාදයක් බවට පත්වීම නොඅනුමාන ය. එහෙත් වර්තමානයේ ඒ කිසිවක් සිදුනොවී ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් පමණක් නවක වදය තුළ ගැබ්ව පවතී. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද ඇතැමෙකු සහ විවිධ සමාජ කණ්ඩායම් නවක වදය යන්න සාධාරණීකරණය කිරීමට උත්සාහ ගනියි. ඔවුනට අනුව නවක වදය සුන්දර ජීවන අත්දැකීමකි. නවක වදය යන්න මානසිකවත් ශාරීරිකවත් හිංසාවක් හෝ පීඩාවක් නොමැති නම්, ප්‍රචණ්ඩත්වයෙන් තොර වූවක් නම්, එය සුන්දර ජීවන අත්දැකීමක් බවට පත්වනු නොඅනුමානය. සුන්දරත්වය තුළ සරසවියට සමුදිය නොහැක. නවකයින් තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට සිදුවිය නොහැක. මානසික ප්‍රතිකාර ලබා ගන්නා මානසික රෝගීන් බවට පත්වීමට සිදුවීම හෝ ජීවිතයට සමු දීමට තරම් දරුණු තීරණ ගැනීම සිදුවිම කිසිලෙසක සිදුවිය නොහැක්කකි. එහෙත් වත්මන් නවක වදය හමුවේ නොවිය යුතු සහ කිසිසේත් නොවිය යුතු දේ සිදුවන බව වාර්තා සහ දත්ත හමුවේ සනාථ වී හමාරය. වර්තමානයේ දී නවක වදය යනු හුදු ප්‍රචණ්ඩත්වයේ තවත් එක් ස්වරූපයක් පමණි. විශ්වවිද්‍යාල කාලසීමාවේදී නවක විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාල භූමිය තුළ ජේෂ්ඨයන්ගේ පහත් මානසික විනෝදාස්වාදය ලබා ගැනීම සඳහ භාවිත වේ. රාත්‍රී කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාර සහ ශිෂ්‍යයින් විසින් පවත්වාගෙන යනු ලබන ශිෂ්‍ය වධකාගාර තුළ නවකයින් මහත් කායික පීඩාවන්ට මුහුණපායි. නවක විද්‍යාර්ථීන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නේවාසිකාගාර තුළ නිර්වස්ත්‍රව රඳවා තබා ගැනීම, රැය පහන් වනතුරු අසභ්‍ය වචනයෙන් බැන වැදීම, පහරදීම්, විවිධාකාර ලිංගික විෂමාචාරයන් සිදු කිරීම, නවක ශිෂ්‍යාවන්ට ලිංගික අපචාරයන්ට මුහුණ දීමට සිදුවීම, වැසිකිළි - කැසිකිළි ජලය භාවිතයට සිදුවීම, මූලික ශරීර කෘත්‍යයන් ඉටු කරගැනීමට ඉඩ ලබානොදීම, මත්ද්‍රව්‍ය භාවිතය අනිවාර්ය කිරීම සහ මූලික මිනිස් අවශ්‍යතා වන ආහාර ගැනීමේ අවම මිනිස් අයිතිවාසිකම් ද නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන්ට අහිමිවී ඇත.

කෙසේ වුවද දහසක් බලාපොරොත්තු සහිතව උසස් ජීවන තත්වයක් ළඟා ගැනීමේ අපේක්ෂාවෙන්  උපාධිය ලබාගැනීමට විශ්වවිද්‍යාලයට පැමිණෙන බහුතරයක් සිසුන්ට විශ්වවිද්‍යාල 'විද්‍යාර්ථීයා'ගේ භූමිකාව මගහැරී යාම අභාග්‍යයකි. ශ්‍රී ලංකාව තුළ පාසල් අධ්‍යාපනය  නිමාකොට අතිදක්ෂයින් සුළුතරයක් ‍විද්‍යාර්ථින් ලෙස ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සඳහා විශ්වවිද්‍යාල වෙත බඳවා ගනී.  විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු යනු ශාස්ත්‍රීය අධ්‍යයනයන් සිදු කරමින් පර්යේෂණාත්මකව නව දැනුම් සහ විෂය කොටස් හදාරනු ලබන ශාස්ත්‍රය හරපද්ධතියක ජීවත්වනු ලබන්නෙකි. අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම සහ උපාධිය සාර්ථකව අවසන් කිරීම විද්‍යාර්ථියෙකුගේ ප්‍රධානතම කාර්යභාරය බවට පත්ව තිබේ. තත්වය එසේ වුවද වත්මන් විද්‍යාර්ථියා තුළ නොමැති කරුණ ද එයම බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මකවන නවක වදය හේතුවෙනි.

නවක වදය විශ්වවිද්‍යාල ප්‍රථම වසරට පමණක් සීමා වුවද එහි බලපෑම සමස්ත ජීවිතය පුරාවටම බලපෑම් සිදු කරන්නක් විය හැකිය. විශ්වවිද්‍යාලය තුළ විද්‍යාර්ථියා යන භූමිකාව නවක වදය හරහා නිශේධනය කරනු ලබයි. විද්‍යාර්ථියකු වශයෙන් කළයුතු ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු නවක වද කාලසීමාව තුළ පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ඇණහිටී. නවක වදයෙහි පවතින අඳුරුතම පැතිකඩ වශයෙන් මෙම අධ්‍යයන කටයුතු සඳහා පවතින බාධා හැඳින්විය හැක. නවක වද කාලසීමාව තුළ නවක සිසුන්ට විශ්වවිද්‍යාල දේශන සඳහා ජේෂ්ඨ සිසුන්ගේ බලපෑම් මත ප්‍රමාදවී සහභාගී වීමට හෝ ඇතැම් අවස්ථාවල දී දේශන වර්ජනය කිරීමට සිදුවේ. ප්‍රථම වසර තුළ නවක වදයෙන් ඇතිවන මානසික පීඩාවන් සහ දේශන කටයුතු සඳහා සහභාගිවීමට පවතින බාධා හේතුවෙන් ප්‍රථම වසර තුළ අධ්‍යයන කටයුතු විශාල වශයෙන් අඩාල වන අතර සමස්තයක් ලෙස විශ්වවිද්‍යාල තුළ ප්‍රථම වසර සිසුන්ගේ විභාග ප්‍රතිඵල අඩුවීමක් දක්නට ලැබෙයි. ගෝලීය සමාජය සමග මුසු වීමට අවශ්‍ය ඉංග්‍රීසි අධ්‍යාපනය නවක වද කාලසීමාව තුළ නවක විද්‍යාර්ථීන්ට තහනම් වීම සිදුවේ. ඉංග්‍රීසි භාෂාව භාවිතය ඇතැම් විශ්වවිද්‍යාලයන් තුළ නවකයින්ට තහනම් භාෂාවක් බවට පත්වන අතර විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු සතුවිය යුතු අත්‍යවශ්‍ය කුසලතාවයක් වන ඉංග්‍රීසි භාෂා දැනුම නවක වදය හරහා මුළුමනින්ම අඩපණ වේ.  නවක වද කාලසීමාව තුළ නවක සිසුන් ශිෂ්‍ය සංගම් රැස්වීම් සඳහා සහභාගිවීම අනිවාර්ය අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) සහ විශ්වවිද්‍යාල මගින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාර ආදිය සඳහා සහභාගි වීම අනිවාර්ය වේ. මෙහිදී නවක සිසුන්ගේ රුචි අරුචිකම් සලකා නොලබන අතර මෙම ක්‍රියාකාරකම් හරහා ද විද්‍යාර්ථීන්ගේ භූමිකාව නවක සිසුන්ගෙන් ගිලිහී යයි. මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම සහ විවිධ සමාජ විෂමාචාරයන්ට ගොදුරු වීම හරහා ද විශ්වවිද්‍යාල නවක විද්‍යාර්ථීන් ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය නවක වදය හේතුවෙන් අඳුරු කොට ගනියි. මෙම අභාග්‍යසම්පන්න ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වශයෙන් නවක සිසුන් ඇතැම් විට පන්ති තහනමට ලක්වීම, විශ්වවිද්‍යාලය හැරයාම හෝ බහුතරයක් සිසුන් ප්‍රථම වසර අධ්‍යයන කටයුතු අසාර්ථක වීම හේතුවෙන් තම විශ්වවිද්‍යාල ජීවිතය විනාශ කොටගනී. නවකවද ක්‍රියාවලියෙහි ඛේදනීයම තත්වය නම් මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම් විශ්වවිද්‍යාල සිසුන් විසින් දිගින් දිගටම පවත්වාගෙන යෑමයි. තමන් අත්විඳි කටුක අත්දැකීම් තවකෙකු වෙත ලබාදී පහත් මානසික තෘප්තියක් ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රජාව යොමුව පවතී.

සමාජයෙහි පිළිගැනීමට පාත්‍ර වියයුතු උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් අද වන විට සමස්ත සමාජ ක්‍රමයෙන් ප්‍රතික්ෂේප වීම, උපාධිධාරී රැකියා විරහිතයින්  බිහිවීමටත් මෙම නවක වදය හේතු පාදක වන බව විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ඔවුන් මෙහෙයවනු ලබන ඇතැම් බංකොලොත් දේශපාලන පක්ෂ පිළිනොගන්නා යථාර්ථය වේ. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දේශන සඳහා සහභාගි නොවීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනික පසුබිම දිනෙන් දින අගාධයට පත්වන අතර ශිෂ්‍යයින් ගේ නොමනා හැසිරීම් රටාවන් හේතුවෙන් පෞද්ගලික අංශය ඔවුන්ට රැකියා ලබාදීම ප්‍රතික්ෂේප කරයි. එහෙයින් මෙම නවක වදය ආශ්‍රිතව සිදුවීම් සොයා බලා බලධාරීන් විසින් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් සමස්ත ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය අගාධයට පත්වීම වැළැක්විය නොහැක. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගන්නා නවක විද්‍යාර්ථීන් ද ප්‍රචණ්ඩත්වය සහ නවක වදය වැළැක්වීමට බුද්ධිමත්ව ක්‍රියාත්මක  වීමට කාලය එලැඹ ඇත.

Views:
36