ලෙස්බියානු, ගේ, ද්විත්ව ලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයාට බිය නොවෙමු

by Ajith
18-May-2018

මැයි 17දා විශේෂ දිනයක් යෙදිණි. ඒ සමභීතිකාවට, සංක්‍රාන්ති ලිංගික භීතිකාවට හා ද්විත්ව ලිංගික භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනයයි (International Day Against Homophobia, Transphobia and Biphobia).

මේ පිළිබඳ කිසිදු සටහනක් සිංහල මාධ්‍යවල පළ වනු දක්නට නො ලැබිණි. පුදුම විය යුතු නැත. හේතුව මෙම භීතිකාවන් මොනවා ද යන්න අප බොහෝ දෙනෙක් දන්නේ ද නැත. නොදන්නාකම ම භීතිකාවන් නිර්මානයට පදනමයි.

සමභීතිකාව

සමභීතිකාව යනු සමලිංගික හෝ සමරිසි ජනයා කෙරෙහි දක්වන අකැමැත්ත හා  අගතිගාමී හැඟීමයි.

සමරිසි ජනයා කොටස් දෙකකට වෙන් කළ හැකි ය. ඒ ලෙස්බියානු (lesbian) හා ගේ (gay) ලෙසයි. ලෙස්බියානු යනු සමරිසි කාන්තාවන් වන අතර ගේ යනු සමරිසි පිරිමි ය.

සංක්‍රාන්ති ලිංගික භීතිකාව

පාරභීතිකාව යනු පාරලිංගික (transgender) ජනයාට අකැමැත්ත හා අගතිගාමිත්වයයි.

පාරලිංගික ජනයා යනු ගැහැනු හා පිරිමි පිළිබඳ සමාජ සම්මත ආකෘති අනුව තම අනන්‍යතාව පැහැදිලි කළ නො හැකි අයයි.

ද්විත්ව ලිංගික භීතිකාව

ද්විත්ව ලිංගික භීතිකාව යනු ද්විත්ව ලිංගික (bisexual) පුද්ගලයන්ට දක්වන නො කැමැත්ත හා අගතියයි.

ද්විත්ව ලිංගිකයන් යනු පිරිමි හා ගැහැණු යන දෙවර්ගයේ ම පුද්ගලයන්ට ලිංගිකව ආසක්ත වන අයටයි. මේ අය අතර පිරිමි මෙන් ම ගැහැණු අය ද සිටිති.

මීට අමතරව ලිංගිකත්වය මත පදනම් වන තවත් අනන්‍යතාවක් වන්නේ අන්තර් ලිංගිකත්වය යි.

අන්තර්ලිංගික ජනයා යනු ජීව විද්‍යාත්මකව ප්‍ර‍ජනනේන්ද්‍රිය වර්ධනයේදී අසාමාන්‍ය ලෙස ස්ත්‍රී හා පුරුෂ ලක්ෂණ දෙක ම ඇතිව වැඩුණු පුද්ගලයෝ ය. මේ අය සංක්‍රාන්ති ලිංගික හෝ තම ලිංගිකත්වය කුමක්දැයි විමසමින් සිටින අය වන්නට ද පුළුවන. විශේෂයෙන් ම බිළිඳු අවධියේදී මේ හා සම්බන්ධ සැත්කම්වලට මුහුණ දුන් අය වයසින් මුහුකුරා ගිය විට සංක්‍රාන්ති ලිංගික විය හැකි බවට වෛද්‍ය මතයක් තිබේ.

තම ලිංගිකත්වය කුමක්දැයි විමසන අය ලෙස සැලකෙන්නේ තමන්ගේ ලිංගිකත්වය කුමක් ද යන්න ප්‍ර‍ශ්නයක්ව වී තිබෙන අයයි. මෙම තත්වය වැඩි විය පැමිණීම ආසන්නයේදී හෝ ඕනෑම වයසකදී පැවතිය හැකි ය.

ලෙස්බියානු, ගේ, ද්විත්ව ලිංගික,  සංක්‍රාන්ති ලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයා යනු වරදකරුවන් පිරිසක් නො වේ. එය ඔවුන් මෙලොවට ජනිත වූ ආකාරය වන අතර ඔවුන් රෝගීන් නොව සාමාන්‍ය ජනයා ය. ඔවුන් ආදරය කරන හා සමාජ සම්බන්ධකම් පවත්වන ආකාරය ඔවුන්ගේ අයිතියකි.

වෙනස ඔවුන් බහුතර විෂමලිංගිකයන්ගෙන් වෙනස් වීම පමණි. මෙම ජනයා කෙරෙහි භීතිකාවන් ඇති අය මෙවැනි ජනයා පිළිකෙව් කරනවාට අමතරව ඔවුන්ට පහර දෙන්නට, තුවාල කරන්නට පමණක් නොව මරා දමන්නට පවා ඉඩ තිබේ.

ලෙස්බියානු, ගේ, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයාගෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු සමභීතිකාවන්ගෙන් පෙළෙන්නන් අතින් පීඩාවට පත්ව ඇති බව ද, එසේ පීඩාවට පත් වන්නන් අතරින් 75%ක් ම ඒ පිළිබඳ වාර්තා නො කරන බව ද LGBT පදනම පවසයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට අනූව, යම් පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රි පුරුෂ භාවය මත වෙනස් ලෙස සැලකීම, පුද්ගලයකු සතු සමානාත්මතාවට ඇති මුලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි. 

2018 මැයි 17දා කොළඹ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේදී සහයෝගිතාවේ ධජය ලෙලදෙමින්

Views:
342