බෞද්ධ වෙහෙර විහාර වෙනුවෙන් අළුහුණු හදන මඩකලපුවේ අපේ දමිළ ප්‍රජාව

by MarlenePerera
24-Dec-2020

බෞද්ධාගමික පුද්ගලයන්ගේ වන්දනාමානයට ලක්වන පූජනීය වස්තූන් අතරට චෛත්‍යය රාජයාණන් වහන්සේ නිතැතින්ම අයත් වේ. විහාර භූමියේ සුදෝ සුදුවට බැබලෙන චෛත්‍යයන් වහන්සේ හුණු පිරියම් කිරීම යනු බෞද්ධාගමිකයන් තුළ සැදැහැ සිත් ජනිත කරවන මෙන්ම මහත්ඵල මහානිසංශ ලැබෙන පුණ්‍යකර්මයන්ගෙන් එකකි. මහ සෑ රදුන් වෙනුවෙන් බෞද්ධාගමික⁣යන් හුණු පිරියම් කලද එකී හුණු පිරියම් කිරීමේ කර්තව්‍යය කෙලවරක දමිළ ජනතාව ද කොටස්කරුවන් වනු ඇත. නමුත් සමාජයේ බොහෝදෙනෙකු තුළ ඒ පිළිබඳ දැනුවත්භාවයක් නොමැති නමුත් මේ එකී පුද්ගලයන් හා ඔවුන්ගේ කර්මාන්තය පිළිබඳ ලුහුඩු ගෙනහැර දැක්වීමකි.

නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ ආරයම්පදි ග්‍රාමය යනු පාරම්පරික හුණු කර්මාන්තයේ නියුතු තවත් එක් සංධිස්ථානයකි. ප්‍රදේශයේ දේශගුණය මෙන්ම ගම්වැසියන්ගේ ආර්ථික පසුබිම ද බෙහෙවින් කර්කශ වූවක් බව අවිවාදිතය. දේශීය හුණු කර්මාන්තය උදෙසා දිවයිනේ ඇති බොහෝ ස්ථාන අතරින් මඩකලපුවේ ආරයම්පදි ගම්මානය සුවිශේෂී වේ. මන්ද යත් මොවුන්ගේ කර්මාන්තයට අදාළ ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් මොවුන් සිප්පි කටු භාවිතා කිරීමයි. පියවර ගණනාවක ක්‍රියාවලියකින් අනතුරුව හුණු නිෂ්පාදනය කරගන්නා ආරයම්පදිහි දමිළ ප්‍රජාව එකී හුණු ප්‍රධාන වශයෙන් විහාරස්ථානවල වෙහෙර පිරියම් කිරීමටත් , බුලත්විට අනුභවයේදී ගන්නා හුණු සදහාත් අලෙවි කිරීම පාරම්පරිකව සිදුකරන්නකි.

ආරයම්පදි ග්‍රාමයේ බහුතරයක් දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය හුණු කර්මාන්තය හා බැදී පවතී. ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව තම ව්‍යාපාරයේ කර්තව්‍යයන් කෙරෙහි වෙහෙසෙන මොවුන් තම කර්මාන්තය පවත්වා ගෙන යන්නේ නොයෙකුත් කරදර බාධාවන් මධ්‍යයේය. අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව , වෙළදපොළ පිළිබඳ ගැටළු හා ඉහළ බළධාරීන්ගෙන් එල්ලවන බාධා ප්‍රධාන වශයෙන් ඔවුන්ට බලපාන්නා වූ ගැටළු අතර වේ. පාරම්පරිකව එනම් බොහෝවිට පියාගෙන් තම පුතුට දායාද වන ආරයම්පදි හි හුණු කර්මාන්තය සදහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන සිප්පි කටු සපයා ගැනීමට ඔවුන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවේ. මුහුදේ සිටින බෙල්ලන් විශේෂයක පිටත ආවරණය ලෙස සිප්පි කටු ලබාගන්නා අතර වෙළදපොළෙන් කිලෝ වශයෙන් මිලදී ගනිමින් සිය ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය සපයා ගන්නා ආරයම්පදිහි මොවුන්ට ඒ සදහා විශාල මුලදක් ආයෝජනය කිරීමට ද සිදුවේ. ස්වභාවික පරිසරයෙන්ම අඩංගු ද්‍රව්‍යයක් සදහා මුදලක් වියදම් කිරීමට මොවුන්ට සිදුවීම හේතුකොටගෙන තම ව්‍යාපාරයේ ලාභය තරමක් දුරට අවම වී ඇත. කෙසේ නමුත් එසේ සපයා ගන්නා සිප්පි කටු රසායනික පදනමකින් යුතු ක්‍රියාවලියකට භාජනය කිරීම හුණු කර්මාන්තයේ ක්‍රියාපිළිවෙත වේ. එහිදී වැඩි වතුර ධාරිතාවක් යෙදීම තුළින් බුලත්විට සමඟ ආහාරයට ගන්නා හුණු නිෂ්පාදනය කර ගැනීමටත් , අඩු වතුර ප්‍රමාණයක් යෙදීමෙන් බිත්ති වල ගල්වන අළුහුණු නිෂ්පාදනය කරවා ගැනීමටත් ඔවුන් සමත් වේ. නවීන තාක්ෂණයෙන් සපිරි වර්තමාන සමාජය තුළ අළුහුණු සදහා මහා පරිමාණයේ වෙළදපොළක් නොමැති වුවද බෞද්ධ විහාරස්ථාන පදනම් කරගෙන ආරයම්පදිහි ජීවත් වන දෙමළ අළුහුණු ව්‍යාපාරිකයන්ට හොඳ වෙළදපොළක් නිර්මාණය වී ඇත. මන්ද යත් විහාරස්ථාන වල චෛත්‍යයන් පිරියම් කිරීම සදහා තවදුරටත් අළුහුණු පමණක් ම භාවිතා කරන නිසාවෙනි. එහිදී අප සමඟ අදහස් දැක්වූ ඒ. අරුමේනාදන් මහතා පවසා සිටියේ ඔහු වාර්ෂිකව බුද්ධශාසන අමාත්‍යාංශය සදහා 400kg ක අළුහුණු ඇනවුමක් සපයන බවයි. එසේම ආරයම්පදිහි හුණු කර්මාන්තයේ නියුතු දමිළ ව්‍යාපාරිකයන්ට දෛනික ආදායමක් නොමැත. මන්ද යත් දිනපතාම තම නිෂ්පාදන අලෙවි කිරීමට තරම් පාරිභෝගික ප්‍රජාවක් ඔවුන් සතු නොවන අතර එක් හුණු මල්ලක් රුපියල් 300ක් වැනි ඉතා අවම මිලකට අලෙවි කිරීමට ඔවුන්ට සිදුවේ. ඒ හේතුකොටගෙන ඔවුන් සතු ආදායම් තත්වය ද තරමක් පසුගාමී වී ඇති බව නොරහසකි.

තම පාරම්පරික ජීවන වෘත්තීය සමඟ උරෙන් උර ගැටෙන ආරයම්පදිහි පවුල් 50 - 60 ක වන ගම්වාසීන්ට තම කර්මාන්තය සම්බන්ධව ඉහළ බළධාරීන්ගේ මෙහෙයවීම් හමුවේ ද මුහුණ දීමට සිදුවේ. හුණු කර්මාන්තය රසායනික ක්‍රියාවලියක් නිසාවෙන් ඉන් ඇතිවන අහිතකර පාරිසරික තත්වයන් කෙරෙහි අවධානය යොමු කරන සෞඛ්‍ය අංශයන් එය පදනම් කරගෙන සමස්ත හුණු කර්මාන්තයම ආරයම්පදිහි සිට වෙනත් හුදෙකලා භූමියක් වෙත ගෙනයන ලෙසට බලපෑම් කරනු ලබයි. නමුත් එය එසේ කිරීම ප්‍රායෝගිකව අසීරු වන්නේ ජලය , විදුලිය යනාදී අත්‍යවශ්‍ය පහසුකම් එකී හුදෙකලා භූමි වල නොමැති නිසාවෙනි. සම්පූර්ණ දවසක ක්‍රියාවලියක් පැය 5 - 6 ක් අතර කාලයකට කෙටි කරමින් කාර්යක්ෂමව ඉටු කිරීමට විදුලිය අත්‍යවශ්‍ය වන බවත් ,  විදුලිය නොපවතින කල තවදුරටත් තම කර්මාන්තය අගාධයට ඇද වැටෙන බව අදහස් එක්කළ අරුමේනාදන් මහතා පැවසීය.

හුණු කර්මාන්තය ආශ්‍රිතව නොයෙකුත් බාධාවන් පවතින නමුත් ඊට අදාළව ඉහළ නිළධාරීන් තවමත් සිටින්නේ නිහඬ පිළිවෙතකිනි. මන්ද යත් ඔවුන්ගේ වෙළදපොළ ගැටළු , අමුද්‍රව්‍ය සම්බන්ධ ගැටළු බුරබුරා නැගෙන නමුත් ඒ සම්බන්ධව දියත් කල ක්‍රියාමාර්ගයක් මේ වෙනතුරු නොමැත. නමුත් බොහෝ අඩුලුහුඬුතා මධ්‍යයේ පවත්වා ගෙනයන කර්මාන්තයේ අතුරු බලපෑම් පිළිබඳ පමණ ඉක්මවා ඉස්මතු කරවමින් ඒ හරහා ආරයම්පදිහි පණ අදින හුණු කර්මාන්තය තවදුරටත් දුර්වල කරවනු ඇත. කාරණා කෙසේ සිදු වන නමුත් ⁣පිලිගත යුතු සත්‍යයක් වේ. එනම් බෞද්ධාගමිකයන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඔප්නංවන මහ සෑ රාජායාණන් වහන්සේලාගේ  හුණු පිරියම් කිරීමේ මංගල්ලයෙන් ඔවුන් රැස් කරගන්නා පුන්‍ය සම්භාරයෙන් අර්ධයක් ආරයම්පදිහි දමිළ ප්‍රජාවට ද අවිවාදයෙන් තොරව  හිමි විය යුතු නොවෙද ?

 

Views:
45