බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ බාලිකා ලොව

by Esha
13-Sep-2017

අද ගැහැණු ළමයින්ගේ දිනය. මම වයස අවුරුදු දහයේ හා අටේ දියණියන් දෙදෙනෙකුගේ මවක්.

මගේ මිතුරියක් ඊයේ මට කී කතාවක්. ඇය දරුවන් තිදෙනෛකුගෙන් සමන්විත පවුලක වැඩිමල් දියණිය. දෙවෙනියා පුතෙක්. ඇගේ මල්ලී. තුන්වෙනියා නැවතත් ගැහැණු ළමයෙක්. 

“පුංචි කාලෙ කෑම බෙදද්දි අම්මා මල්ලිගේ පිඟානට මාළු කෑලි දෙකක් බෙදනවා. නංගි අහනවා ඇයි එහෙම කරන්නෙ කියලා. එයාට දෙකක් දෙනවා නම් මටත් දෙකක් ඕනැ කියලා නංගි කියනවා. එතකොට අම්මා නංගිගේ පිඟානටත් මාළු කෑලි දෙකක් බෙදන ගමන් මගෙන් අහනවා ලොකු දුවට ඔය ඇති නේද කියලා. 

“අපේ පවුලෙ ඉඩම් දරුවන්ට බෙදා දෙනකොටත් සිදු වුණේ ඔය දේමයි. මල්ලිට මහගෙදර සහ අපට තිබුණු වටිනා ඉඩමක් දුන්නා. නංගි රණ්ඩු වෙන නිසා බයට වගේ එයාට ඉඩමක් අරගන්නට සල්ලිවලින් දායක වුණා. මට මොකවත් නැහැ."

මේ යෙහෙළියට ළඟදී රැකියාවේ උසස් වීමක් ලැබුණා. ඒත්, ඇයට ඒ තනතුර භාරගන්නට ඈත ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගෙන යන්නට සිදු වෙනවා. එයට ඇගේ සැමියා පොඩ්ඩක්වත් කැමති නැහැ. 

“මේ අවස්ථාව අතහැරියොත් මට සිදු වෙන්නෙ රස්සාවෙ එකතැන පල්වෙන්න. ඒක හරි පීඩාකාරීයි," ඇය කියනවා. 

මගේ දියණියන් යන්නෙ මිශ්‍ර‍ පාසලකට. 

“පිරිමි ළමයින් අපට ගහනවා," ඔවුන් කියනවා.

“ගැහුවොත් ගහන්න," කියන එක තමයි මගේ පිළිතුර. ඒක ගැටුම් කළමනාකරණය පැත්තෙන් නිවැරදි ද යන්න මා දන්නෙ නැහැ. 

මේ දියණියන් වැඩිවිය පැමිණෙන විට ඔවුන්ට සුරක්ෂිත සමාජයක් අප අවට තිබෙනවා ද කියන ප්‍ර‍ශ්නයෙන් මා පීඩා විඳිනවා. ගැහැණු ළමයින් ලිංගික භාණ්ඩ ලෙස පරිහරණය කරන්නට බලා සිටින මිනිසුන්ගෙන් ආරක්ෂාව සලසා ගන්නට අවශ්‍ය ප්‍ර‍ඥාව ඔවුන්ට තිබේවි ද? ආදරය නිසා ඔවුන් මුළාවේ වැටෙයි ද? 

ගැහැණු ළමයින් ඔවුන්ගේ ශරීරය ගැන නිසියාකාරව අවබෝධ කර ගත යුතුයි. වැඩි විය පැමිණෙනවා ය කියන්නෙ මොකක් ද? ආර්තවය සිදු වෙන විට සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වන්නෙ කොහොම ද? අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගන්නෙ කොහොම ද? මේ දැනුම දරුවන්ට පාසලෙන් හරියට ලැබෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ගෙ මනස් පුරවන්නට තරම් මිථ්‍යාව සමාජයේ වැහැ වැහැලා.

ඇගේ ඥාති සොයුරියන්ගේ වැඩිවිය පැමිණීම් නිමිත්තෙන් පැවැත්වුණු මංගල්‍ය උත්සවවලට මගේ දියණියන් සහභාගි වී තිබෙනවා. 

“ඒක පෞද්ගලික, ජීව විද්‍යාත්මක, ස්වාභාවික දෙයක්. අපි ඒ වෙනුවෙන් උත්සව පවත්වන එක තේරුමක් නැහැ," මා කියනවා. ඔවුන් එය පිළිගන්නවා. ඒ වුණාට ඔවුන්ට ඒ බරසාර වචන තවම තේරෙන්නෙ නැහැ. 

ගැහැණු ළමයින්ට ජීවිතය අවබෝධ කර දෙන එක ඔවුන් බලසතු කිරීමේදි ඉතා වැදගත්. 

කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ලිංගික හිංසනය වළක්වා ගැනීම, ළමා විවාහ හා දහවියේ (teenage) ගැබ් ගැනීම් වැළැක්වීම, ගැහැණු ළමයින්ට පෝෂණයේදී, සෞඛ්‍යයේදී, අධ්‍යාපනයේදී, රැකියාවන්හිදී, තමන් ගැන තීරණ ගැනීමේදි, මහජන නියෝජනයේදී සම අවස්ථා ලබා ගැනීම අද දවසේ අප අවධානය යොමු කළ යුතුව තිබෙන ඉතා වැදගත් ප්‍ර‍ශ්න. 

එක්සත් ජාතීන්ගේ ධරණීය සංවර්ධන අරමුණු අංක 5 මෙහිදී ඉතා වැදගත්. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම හා සියලු කාන්තාවන් හා ගැහැනු ළමයින් ශක්තිමත් කිරීම සඳහා වන මෙම අරමුණ වසර 2030 වන විට සාක්ෂාත් කර ගන්නට අප කළ යුතු බොහෝ දේ තිබෙනවා. 

1983දී තිරගත වූ සේන සමරසිංහගේ ජනප්‍රිය චිත්‍ර‍පටයක් වූ ඈතින් ඈතට චිත්‍ර‍පටය වෙනුවෙන් අජන්තා රණසිංහ විසින් රචනා කොට නීලා වික්‍ර‍මසිංහ ගායනා කරන ගීයක මෙසේ ගැයේ.

“බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා”

(ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් 11දා ය. 2011 දෙසැම්බර් 19 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගන්නා ලද අංක 66/170 දරණ යෝජනාවෙන් ඔක්තෝබර් 11දා ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍ර‍කාශයට පත් කරන ලදී.)

Views:
291