පොදු ප්‍ර‍වාහනයේ කාන්තා හිංසනය සිදු වන හැටි

by Ajith
12-Jun-2018

- ශාරිකා කුරේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජාතික වැඩසටහන් විශ්ලේෂකවරිය 

2018 ජුනි 13දා පැවැත්වුණු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සුරක්ෂිත විධිමත් පොදු ප්‍ර‍වාහනයක් උදෙසා පෙනී සිටිමු. මාධ්‍ය වැඩමුළුවේදී පවත්වන ලද කතාව

මම හිතනවා මා මේ කියන්න යන දේවල් සියල්ලක් ම වගේ ඔබට අත්දකින්නට ලැබුණා ය කියා අද උදේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට බසයෙන් හෝටලයට එන අතරතුර.

මා ඉතාම කෙටියෙන් සාරාංශයක් වශයෙන් ඔබට සැමට අප 2015දී කළ සමීක්ෂණයේ විස්තර ටිකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට පොදු ප්‍ර‍වාහනයේදී හෙවත් බස් රථ හා දුම්රියවලදී මුහුණ දෙන්නට සිදු වන ලිංගික අතවර පිළිබඳ ජාතික වශයෙන් සමීක්ෂණයක් කළා.

එහි අරමුණ වුණේ පොදු ප්‍ර‍වාහනයේදී සිදු වන ලිංගික අතවරවල සවභාවය, එහි ප්‍ර‍මාණය සහ සිදු කරන ආකාරය පිළිබඳ සවිස්තර අවබෝධයක් ලබා ගැනීමයි. තවද, මෙම ගැටලුව සඳහා තිරසාර විසඳුමක් සහ කතිකාවක් ඇති කිරීම ද එහි අරමුණ වුණා. 

මෙම සමීක්ෂණයේ දත්ත එක්රැස් කර ගත්තේ පාර්ශ්වකාර සාකච්ඡා, කණ්ඩායම් සමග කරන ලද සමූහ සාකච්ඡා සහ ප්‍ර‍ශ්නාවලියක් හරහා යි. එම සමීක්ෂණයට තෝරා ගත්තේ වයස අවුරුදු 15 - 35 අතර කාන්තාවන් සහ ගැහැණු ළමයින්. එය ජාතික මට්ටමින් දිස්ත්‍රික් 25 නියෝජනය වන ලෙස පැවැත්වුණා. 

මෙම සමීක්ෂණය සඳහා ලිංගික අතවර නිර්වචනය කරනු ලැබුවේ මෙහෙමයි: “ලිංගික අතවර කිරීමක් යනු, අනවශ්‍ය හෝ කැමැත්තකින් තොරව සිදු කරන ලිංගික ක්‍රියාවකි."

පුරුෂ පක්ෂයට මෙවැනි ලිංගික හිංසන අත්දැකීම් ඇති වුව ද එම සිදුවීම් බහුලත්වයෙන් අඩු නිසා සහ ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් තිබෙන්නේ වැඩිපුර ම ලිංගික හිංසනයට ලක් වන්නේ ගැහැණු ළමයින් හා කාන්තාවන් බවට යි. ඒ නිසා, මෙම සමීක්ෂණයේ ප්‍ර‍ධාන අවධානය යොමු වන්නේ ඔවුන්ට යි. 

වැදගත් සොයාගැනීම්:

එකතු කරන ලද දත්තවලින් හෙළිදරව් වුණේ පොදු ප්‍ර‍වාහන බස්රථ හා දුම්රියවල ගමන් කරන කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළදී එක් වතාවක් හෝ ලිංගික හිංසනයට ලක් වී ඇති බව යි. 

තවද, එසේ හිංසනයට ලක් වූ අය අතරින් පොලිසියේ සහාය ලබාගෙන තිබෙන්නේ 4%ක් පමණ සුළු පිරිසක් පමණයි. ප්‍රායෝගික හේතු නිසා මෙසේ පැමිණිලි නොකර සිටින බව ද, ඉවසිය නොහැකි මට්ටමේ හිංසනවලදී දෙමව්පියන් හෝ නෑදෑයන් මාර්ගයෙන් පැමිණිලි කරන බව ද හෙළිදරව් වුණා. 

74%ක ප්‍ර‍තිශතයක් පොදු ප්‍ර‍ාහන සේවාවලදී සිදු වන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ යුතු ආකාරය හෝ පැමිණිලි කළ යුතු දුරකථන අංකය පිළිබඳ හෝ දැනුවත් නැහැ. 79%ක ප්‍ර‍තිශතයක් පැවසුවේ එවැනි හිංසනයකට ලක් වූ විට ගත හැකි හෝ ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද කියා ඔවුන් නොදැන සිටි බවයි. 

ප්‍ර‍තිචාර දැක්වූ 2500ක් දෙනාගෙන් 12%ක් දිනපතා ද, 16%ක් සතිපතා ද ලිංගික හිංසනයන්ට ලක් වූ බව ද හෙළිදරව් වුණා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පළ කරන ලද ප්‍ර‍තිපත්ති සාරාංශයේ තුන්වන පිටුවේ මේ පිළිබඳ තවත් විස්තර තිබෙනවා. තවද, 78%ක් ම පැවසුවේ ලිංගික හිංසනයන් වැඩිපුර ම සිදු වුණේ උදය කාලයේ බවයි. 

සමීක්ෂණයේදී ලිංගික හිංසනය සිදු විය හැකි ආකාර / ක්‍රියා 35ක් හඳුනා ගන්නා ලදී. සිතාමතා ශරීර කොටස් ස්පර්ශ කිරීම, පෞද්ගලික අවකාශයට අවහිර වන සේ ආසන්නයට පැමිණීම, සිතමතා කකුල පෑගීම, වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ තමාගේ ලිංගික අවයව ඇතිල්ලීම මෙන් ම වාචික හා දෘෂ්‍යමය ක්‍රියා ද හඳුනා ගැනුණා. සමීක්ෂණයේ සොයාගැනීම්වලින් දක්නට ලැබුණේ මුහුණ දෙන ලද ලිංගික හිංසනයන්ගෙන් බහුතරයක් ශාරීරික වූ බවයි. 74%ක් දෙනා සිතාමතා ශරීර කොටස් ස්පර්ශ කිරීම සිදු වන බව තහවුරු කළා. 

මා සිතනවා මාධ්‍යවේදීන් ඔබ සියලුදෙනා ස්ත්‍රී පුරුෂභාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත ය කියා. ස්ත්‍රී පුරුෂභාවය යනු මිනිසා විසින් උපතින්ම රැගෙන එන ජීව විද්‍යාත්මක ලක්ෂණයි. එහිදී ප්‍ර‍ධාන වෙන්නේ පිරිමියෙකු ලෙස හා කාන්තාවක ලෙස බාහිරට ප්‍රදර්ශනය වන ලක්ෂණ යි. දරුවකු බිහිකිරීමේ සහ පෝෂණය කිරීමේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා කාන්තාවක් හැඩගැසී ඇති අතර ප්‍රජනන කාර්යය සඳහා වැඩි ශක්තියක් පිරිමියාට අවශ්‍ය බැවින් පිරිමියා වැඩි ශක්තියකින් යුතුව නිර්මාණය වී තිබෙනවා. මෙම ලක්ෂණ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් මත සිදු වෙනවා. 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ කිසියම් සමාජයක් විසින් ගැහැණුන්ට හා පිරිමින්ට සුදුසු යයි නිර්ණය කර ගත් චර්යාවන්, පිළිවෙත් හා කාර්යභාරයනු යි. කාන්තාවක හා පිරිමියකු තුළ තිබිය යුතු ලක්ෂණ මේ අන්දමින් විය යුතු යයි සමාජය විසින් තීරණය කර තිබෙනවා. උදාහරණයක් විදියට කාන්තාවන් සියුමැලි විය යුතු යි, පිරිමින් හැඩිදැඩි විය යුතු යි කියා සමාජය පිළිගන්නවා. 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය කියන්නේ යමෙකු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීමේ හේතුව නිසා ම කිසියම් ආකාරයක හිංසනයට භාජනය වීමයි. බොහෝ විට මෙයට ලක් වන්නේ කාන්තාවනුයි. වෙනත් ආකාරයක ප්‍ර‍චණ්ඩත්වයන් වගේ නෙමෙයි, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය ප්‍ර‍සිද්ධියට පත් වන්නේ නැහැ. එය සැඟවී පවතින්නක්. එයට හේතු වන්නේ සමාජයීය හා සංස්කෘතික ආකල්පයි. පුරුෂත්වය හෝ ස්ත්‍රීත්වය පිළිබඳ ගොඩනැගී ඇති අදහස් නිසා එය වරදක් ලෙස සලකන්නේ නැහැ. එය සාධාරණත්වය ඉටු කිරීමට එරෙහි බලපෑමක්. 

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සහ ආසියා රටවල් කිහිපයක කෙයාර් ආයතනය සහ එක්සත් ජාතීන් එක්ව සිදු කරන ලද පර්යේෂණයක් වන Broadening Genter Identities; Why Masculinity Matters යන වාර්තාව මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදු වන ප්‍ර‍චණ්ඩත්වය කෙරෙහි ආකල්ප, චර්යා හා දැක්මක් සම්බන්ධයෙන් ප්‍රාමාණික තොරතුරු හෙළිදරව් කළා. එහි නිරීක්ෂණ තුළින් මතු වන කරුණු දෙකක් ගැන සඳහන් කරන්නට මා කැමතියි. 

1. ලිංගික ප්‍ර‍චණ්ඩත්වයේ යෙදුණු බොහෝ පිරිමින් පැවසුවේ ඔවුන්ට සමාජයීය වශයෙන් පැවරී ඇති ලිංගික හිමාකම එසේ සිදු කිරීමට ආධාරක වූ බවයි.

2. ඊට වඩා භයානක කරුණ වන්නේ අපරාධකරුවන්ට සුදුසු දඬුවම් නොලැබීමේ සංස්කෘතියක් පැවතීමයි. 

තවද, මෙම සමීක්ෂණයට සහභාගි වූ පිරිමින් බහුතරයක් සඳහන් කළේ පිරිමින් විසින් ලිංගික ආකාරයෙන් කරන විහිළු තහලු ස්ත්‍රීන් විසින් පිළිගත යුතු බවයි. 

අප විසින් කරන ලද සමීක්ෂණයට සහභාගි වූ බහුතරයක් ගැහැණු ළමයින් හා කාන්තාවන් පැවසුවේ ඔවුන් පොදු ප්‍ර‍ාහනය පාවිච්චි කරන්නේ තම එදිනෙදා අවශ්‍යතාවලට බවයි. 50%ක් දෙනා වැඩට යාමට හා ඒමටත්, 12%ක් දෙනා ඉගෙනීම සඳහා යාමට ඒමටත්, 12%ක් දෙනා පෞද්ගලික අවශ්‍යතා සඳහාත් පොදු ප්‍ර‍වාහනය භාවිතා කළා. සමීක්ෂණයට සහභාගි වූ අයගෙන් 54%ක් ම අඳින ඇඳුම, ගමන් යන වෙලාව, යන මාර්ගය ආදිය වෙනස් කිරීම ඔස්සේ අමතර පරිස්සමකින් අතවර වළක්වා ගැනීමට උත්සාහ කර තිබෙනවා. හිංසනයට ලක් වූ අයට මෙය අමතර හිරිහැරයක් හා බරක් වෙනවා. එමගින් ඔවුන්ගේ අවස්ථා ගිලිහී යාම ද සිදු විය හැකියි. එමගින් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ද වෙනවා. 

සමීක්ෂණයෙන් හෙළිදරව් වූ තවත් වැදගත් කාරණයක් වන්නේ 82%ක් දෙනා වෙනත් අය ලිංගික හිංසනයට ලක් වන ආකාරය දැක ඇති බවයි. එසේම, ඔවුන් ඒවා වැළැක්වීමට කිසිදු මැදිහත් වීමක් කර නැහැ. එයට ප්‍ර‍ධාන හේතුව ලෙස ඔවුන් පැවසුවේ ගැටුමකට සම්බන්ධ වන්නට තිබෙන අකැමැත්ත හා තමා අනවශ්‍ය අවධානයකට ලක් වේ ය යන බියයි. මෙම නිහඬතාව අතවර කරන්නන්ට ඒ සඳහා අවකාශය පුළුල් කර දෙනවා. අවට සිටින්නන්ට අතවර වැළැක්වීමට හැකියාවක්, වගකීමක් හා යුතුකමක් තිබෙනවා. එමගින් මෙවැනි හිංසන ක්‍රියා අවම කරන්නට පුළුවන්. 

බස්වල තදබදය, අවශ්‍යතාවන්ට යෝග්‍ය සේවාවන් නොතිබීම, සමහර බස් රථවල රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ අවිනීත හැසිරීම හා ක්‍රියා කලාපයන් හිංසන ක්‍රියා සිදුවීමට බලපාන බාහිර සාධක වේ. 

මේ සඳහා විසඳුම් ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග මෙසේ යි:

  • ප්‍ර‍තිපත්තිමය වෙනස්කම් ජාතික වශයෙන් සිදුකිරීම 
  • හිංසනයට ප්‍ර‍තිචාර දැක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම
  • අතවරයට ලක් වූවන්ට එරෙහි වීමට තිබෙන අයිතිය ගැන ඔවුන් දැනුවත් කර බලසතු කිරීම
  • මෙම ගැටලුව සම්බන්ධයෙන් රියදුරු, කොන්දොස්තර මහතුන් අතර සංවේදීභාවය ඇති කිරීම
  • මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ පණිවුඩය රැගෙන යාම

 

Views:
197