පෙරාපු රත්තරං වගේ සිසුන් ටිකකට විතරක් සෙත සලසන පහේ ශිෂ්‍යත්වය

by Ajith
05-Oct-2017

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මෙවර සිසුන් 350,462ක් පෙනී සිටිය හ. මේ අතරින් ශිෂ්‍යත්ව හා ජනප්‍රිය පාසල් සඳහා සුදුසුකම් ලබන්නේ 15,000ක පමණ පිරිසක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දින වකවානුවක් රහිතව දැක්වෙන මෙම පුවතෙන් පෙනී යයි. ඒ අනුව ඒත්තු ගත හැක්කේ 5%ක්වත් සිසුන් ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් නො ලබන බවයි.

“5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ලෙස සලකනුයේ එක් පත‍්‍රයකට ලකුණු 35 ට වඩා වැඩිපුර ලබා ගෙන මුඵ ලකුණු 200 න් 70 ට වඩා ලබාගත් සිසුන් වන අතර එම සිසුන් සියලු දෙනා ශිෂ්‍යත්වයෙන් සමත් සිසුන් ලෙස සලකා සහතික පත‍්‍ර ද ප‍්‍රදානය කෙරේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 333,672 ක් වන අතර ඉන් ශිෂ්‍යත්වය සමත් සංඛ්‍යාව 254,690 ක්, එනම් ප‍්‍රතිශතයක් ලෙස ශිෂ්‍යත්වයට පෙනී සිටි අයගෙන් 76.33‍% සමත් ලෙස සැලකේ," යි ඉහත පුවතේ දැක්වෙන මුත්, එය යථාර්ථයක් නො වේ."

මුළු ලංකාව ම පහේ ශිෂ්‍යත්වය සමත් යයි සලකන්නේ ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලැබීමට අදාළ ලකුණු සීමාව පසු කරන අයයි. සෙසු අයගේ ප්‍රතිඵලයෙහි සමත් බවක් දැක්වෙන්නේ හෝ නැත. දැක්වෙන්නේ සුදුසුකම් ලබා නැති බව පමණි. එහෙයින් 70ට වඩා ලකුණු ගත් සිසුන් සමත් යයි කීම ඇත්තක් නො වේ. එය කිසිවෙකු පිළි ගන්නේ ද නැත.

මෙවර පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු 200න් 160ට වඩා ඉහළ ය. කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, ගාල්ල වැනි ප්‍රධාන දිස්ත්‍රික් රැසක කඩඉම් ලකුණ 164කි. ඒ අනුව, මෙම විස්මිත විභාගයෙන් සමත් වන්නට මුළු ලකුණුවලින් 82%ක්වත් ගත යුතු ය. ඉන් පහළ ලකුණු ගන්නා දක්ෂ දරුවන් රැසක් ශිෂ්‍යත්වය අසමත් අය ලෙස සලකා මානසිකව බිඳ දමනු ලැබේ.

මේ වන විට පහේ ශිෂ්‍යත්ව විභාගය වනාහි ශිෂ්‍යත්ව ලබා දීමට වඩා දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සඳහා පවත්වන තරග විභාගයක් වී තිබේ. ඒ පසුපස ටියුෂන්, ප්‍රකාශන ආදිය අලෙවි වන දැවැන්ත වෙළඳපොළක් ද, සමාජ සංස්කෘතියක් ද නිර්මානය වී තිබේ. මේවා අතිශය ගැඹුරු කාරණා ය.

පහේ ශිෂ්‍යත්වය හැර, ගම්වල හා නගර පරිවාරයේ දක්ෂ දරුවන්ට වැඩි පහසුකම් සහිත ජනප්‍රිය පාසල්වලට ප්‍රවේශය සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීම සඳහා වෙනත් කිසිදු ක්‍රමයක් නැති තරම් ය.

පාසල් අතර පවත්නා දැඩි විෂමතා හා ඇතැම් සමාජ ආකල්ප වෙනස් වන තෙක් පහේ ශිෂ්‍යත්වයට විකල්පයක් සැපයීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි.

වම් පැත්තේ ඇති රූපයෙන් දැක්වෙන්නේ වසර දහයක් තුළ පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු වෙනස් වූ ආකාරයයි. තරගකාරිත්වය කොයි තරම් දැඩි වුණා ද යන්න එයින් සිතාගත හැකියි.

ජනප්‍රිය පාසල් තරගය උග්‍ර‍ වීමට හේතු ගණනාවක් තිබේ. ඒවා මෙසේ ලැයිස්තු ගත කළ හැකි ය.

  • ජනප්‍රිය නො වන පාසල්වල භෞතික පහසුකම් හිඟ වීම
  • ජනප්‍රිය නො වන පාසල්වල ඇති ගුරු හිඟය
  • ජනප්‍රිය නො වන පාසල්වල සිසුන්ට ඉගෙනීම සඳහා පිරිනමනු ලබන විෂය විවිධත්වය අවම වීම
  • ජනප්‍රිය නො වන පාසල්වල ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගි වීමට තිබෙන අවස්ථා අවම වීම
  • ජනප්‍රිය නො වන පාසල් සඳහා තිබෙන සමාජ පිළිගැනීම අඩු වීම
  • ජනප්‍රිය පාසල් සිසුන්ට පෞද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේදී වැඩි අවස්ථා ලැබීම
  • පාසල් සංස්කෘතීන්හි ඇති වෙනස්කම්
  • 13වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අධ්‍යාපනය පළාත් සභාවලට අයත් විෂයක් වුවත්, රේඛීය අමාත්‍යාංශය සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 3%ක් පමණ වන පාසල් 342ක් මධ්‍යම ආණ්ඩුව යටතට පත් කරගෙන වැඩි පහසුකම් ලබා දෙමින් පවත්වාගෙන යාම
  • ජනප්‍රිය පාසල්වල පැරණිකම හා ඒවායින් බිහි වූ කීර්තිමත් පුද්ගලයන් නිසා එම පාසල්වලට ඇති ඉහළ පිළිගැනීම

කෙසේ වෙතත්, ජනප්‍රිය ලෙස හැඳින්වෙන පාසල්වලින් දෙමව්පියන් අපේක්ෂා කරන දේ දරුවන්ට ලැබේ ද යන්න ද ගැටලුවකි.

ජනප්‍රිය පාසල්වල පංති අධික ලෙස තදබද වී තිබේ. ශ්‍රී ලංකාවේ පාසලක පංතියක අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් වන මුත්, ජනප්‍රිය පාසල්වල මෙම සංඛ්‍යාව 60 ද ඉක්මවා යන අවස්ථා දැකිය හැකි ය. එබැවින් සිසුවකුට අවශ්‍ය මූලික පහසුකමක් වන අවකාශය හා වාතාශ්‍ර‍ය පවා ජනප්‍රිය පාසල්වලින් දරුවන්ට නො ලැබේ.

ග්‍රාමීය හා අඩු වරප්‍ර‍සාද සහිත ප්‍රදේශවල ජීවත් වන මව්පියන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා තිබෙන එක ම මාර්ගය පහේ ශිෂ්‍යත්ව විභාගයයි. එබැවින් ළමා මනසට කොයි තරම් අයෝග්‍ය තත්වයක් වුවත්, පහේ ශිෂ්‍යත්ව විභාගය නැවැත්වීම ද කළ නො හැකි දෙයක් වී තිබේ.

මෙම ප්‍ර‍ශ්නයට කෙටි කාලීන විසඳුම් නැති බවක් පෙනෙන මුත්, පහේ ශිෂ්‍යත්ව විභාගය දිගට ම පවත්වාගෙන යාමෙන් අනාගත පරම්පරාවලට සිදු වන හානිය සුළුපටු නො වේ.

මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙන ගමේ පාසල හොඳම පාසල යන සංකල්පය ඔස්සේ මෙම ප්‍ර‍ශ්නයට විසඳුම් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. එමගින් අරමුණු කරන්නේ ග්‍රාමීය හා අඩු වරප්‍ර‍සාද සහිත පාසල් සංවර්ධනය කිරීමයි.

(කවරයේ රූපය ගිහාන් ඩි චිකේරාගේ කාටුනයකි)

Views:
331